නව වසරට ආධ්‍යාත්මික විග්‍රහයක්

ජනවාරි 6, 2023

නව වසර පිළිබඳ පුරෝකථන සඳහා වෙන කවරදාටත් වඩා අද වන විට අවධානයට යොමු වී තිබේ. සාමජීය වශයෙන් අප සිටින්නේ දැවැන්ත සමාජ ආර්ථික පීඩාවකය. බිඳ වැටුණු අපේක්ෂා සහිත බොහෝ දෙනා නව වසරකට එළැඹෙන්නේ යහපත් අපේක්ෂා සහිතවය. භාවනාවෙන් ප්‍රගුණ කරගත් අධ්‍යාත්මික දැනුමක් සහිතව සම්ප්‍රදායික නක්ෂත්‍ර කියැවීම්වලට වඩා වෙනස් දැක්මකින් ස්වභාවධර්මයේ හැසිරීම් රටා විවරණය කරන රේකි ආචාර්ය, ෆෙන්ෂුයි, වාස්තු විද්‍යාඥ හා ටැරෝට් සහ ඔරකල් විශ්ලේෂක කනීෂ එච්. තාරුක සහ රේඛි ආචාර්ය, විශේෂිත මැණික් හා පළිඟු ආශ්‍රිත සුවකිරීම් විශේෂඥ, ශාර්මනිසම් ශ්‍රාස්ත්‍රඥ, ටැරෝට් සහ ඔරකල් විශ්ලේෂක කුෂාන් ලහිරු හෙට්ටිආරච්චි සමඟ අප විශේෂ සංවාදයක යෙදෙන්නේ මේ නව වසර ශ්‍රී ලංකාවට බලපාන්නේ කෙසේදැයි යන්න පිළිබඳ ඔවුන්ගේ අධ්‍යාත්මික විවිරණය දැනගැනීමටය.

 

අලුත් ජීවයක, නවපද්ධතියක ආරම්භයක්

මෙම වසර පුද්ගල අධ්‍යාත්මික ශක්ති ප්‍රභව ස්වරූප සහ ග්‍රහ පිහිටීම අනුව සුබ අසුබ වෙනස් විදිහට දැනෙන්නට සහ අපේක්ෂා කිරීමට හැකි වූවත් සමස්තයක් වශයෙන් සිදුවන සමාජීය බලපෑම් යළිත් වක්‍රාකාරව පුද්ගල මට්ටමෙන් බලපැත්වෙන නිසා නව වසරේ සිදුවීම් ද වෙනස් වීම් ද පොදුවේ සියලු දෙනාටම එක ලෙස බලපාන බව පෙනේ.

පසුගිය දස වසරක කාලය ගෙන බැලුවහොත් මේ එළැඹුණු නව වසර අලුත් ජීවයක, නව පද්ධතියක ආරම්භයක් පෙන්නුම් කෙරෙයි. නව අදහස් පහළ වෙමින් අලුත් දේ කිරීමට පෙළැඹවීමක් ඇති කරයි. පුද්ගලයන් තුළ තිබෙන්නාවූ ශක්තිය වැඩි කරයි. ජීවිතය පිළිබඳ සැහැල්ලුවෙන් සිතන්නට හැකි, සියලුම දේ අලුතින් පටන් ගත හැකි පර්වර්තනීය කාලයක් ලෙස 2023 හැඳීන්විය හැකිය. රටක් ලෙස පෙර උගත් පාඩම්වලින් ආකල්පමය වශයෙන් වෙනස් වෙමින් එය ප්‍රායෝගික කරන්නේ නම් ලංකාවට ඉතා යහපත් සහ සශ්‍රීක අනාගතයක් ගොඩනඟා ගත හැකි අවස්ථා උදාවේ.

 

ආර්ථිකය

මේ වසරේ විටෙන් විට රටේ ආර්ථිකය යම් මට්ටමකින් අස්ථායී සහ අසමතුලිතබවක් පෙන්නුම් කළද විවිධ ක්ෂේත්‍රවලින් ලංකාවට නව අයෝජන ලැබෙන, අන්තර්ජාතික ව්‍යාපාරවල නිරත වන අයට විදේශ විනිමය උත්පාදන දියුණු කර ගත හැකි ඉතා සුබ වසරකි. අලුත් දේ සිතීමෙන් නව නිර්මාණශීලී ප්‍රවේශ හඳුනා ගෙන අන්‍යෝන්‍ය අවබෝධයකින් යුතුව වෙනස් පාර්ශ්ව හා ගනුදෙනු කරන ව්‍යාපාරික සහ ආයෝජක ප්‍රජාවට මෙම වසරේදී යහපත් ප්‍රගතියක් අත් කර ගත හැකි වේ.

දේශපාලනය

උදාවූ 2023 වසරේ දී ලෝකය දෙස බලනවිට ලොවම එක් නායකත්වයක් යටතට ගැනීම සඳහා වූ සැලසුම් දියත් වේ. ලංකාවද ලෝක සම්මුති සමඟ ඒකමතික වීමේ අවස්ථාව වැඩිය. මෙහිදි රටක පුරවැසියන් ලෙස සිය පුද්ගල ශක්තතීන් සමඟ බුද්ධිමත්ව තීරණ ගත යුතු කාලයක් එළැඹේ. පෙර සඳහන් කළ පරිදි රටේ ඉතිහාසයෙන් උගෙනගත් පාඩම් අනිවාර්යයෙන් ප්‍රායෝගික කර ගනිමින් එම අතීත අත්දැකීම් විශේෂයෙන් දේශපාලනිකව, සමාජයීයව ප්‍රායෝගික කළහොත් යහපත් අනාගතයක් උදා කර ගත හැකි වෙයි. මේ වසර ජනතාව අතරින්ම සුදුසු පුද්ගලයින් ඉදිරියට එන වකවානුවකි. ඒ අනුව පෙබරවාරි සහ ඔක්තොම්බර්වලදී රටේ පරිවර්තනීය දේශපාලනික සන්ධිස්ථාන ඇති විය හැකිය.

 

සෞඛ්‍යය

රෝග පීඩා තරමක් ඇති කරයි. ඒ නිසාම ලබන වසරේ ශරීර සෞඛ්‍ය කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතුය. මූලික සෞඛ්‍ය පහසුකම් අඩුවන කාලයක් බැවින් බෙහෙත් හේත් අඩුවීම වැනි ඇති විය හැකි ප්‍රායෝගික ගැටලු යටතේ දේශීය වෛද්‍ය ක්‍රම වැඩිදියුණු කර ගැනීමට වඩාත් යහපත් වේ.

අධ්‍යාත්මිකව ද සුවිශේෂි වන මෙම 2023 වසරේදී තමන්ගේ මිය ගිය ඥාතීන් සහ සමීපතමයින්ගේ බලපෑම් වැඩි විය හැකිය. අපේ රටට සේම ලොවටම බලපාන කරුණක් වන මෙයට ප්‍රධාන හේතුව වෙන්නේ 2023 වසර ලෝකයේම නව ජවයක් උපදින නිසාවෙනි. එලෙස ඇති වන නව ජවය සමඟ මිය ගිය ප්‍රාණයන්ගේ ද යළි පිබිදීමක් ඇති වේ. මෙය අප හඳුන්වන්නේ පුනර්ජීවනයේ කොටසක් ලෙසයි. අධ්‍යාත්මික කියැවීමේ දී මෙය ඉතා යහපත් දෙයක් ලෙස සැලකුව ද පුද්ගල දෛනික ජීවිතවලට මේ නිසා බාධා ඇති විය හැකිය. එම නිසාම ඔවුන්ගෙන් ඇති විය හැකි සෘණාත්මක බලපෑම් ඉවත් කර ගැනීමට මියගිය ඥාතීන් වෙනුවෙන් පින් අනුමෝදන් කිරීමේ වතාවත් ආගමානුකූලව සිදුකිරීම යහපත්ය.

 

පිළියම්

තම තමන්ගේ ආගමානුකූල කටයුතුවල නිරත වී ඒ ඇසුරින් ආශීර්වාදය ලබා ගනිමින් නව වසර පිළිගැනීම යහපත්ය. මේ එළැඹෙන්නේ කුබේර දෙවියන්ගේ ආශීර්වාදය ලබා ගැනීමට සුදුසුම කාලයකි. හින්දු ධර්මයට අනුව කුබේර දෙවියන් සැලකෙන්නේ ධනය රඳවා ගත හැකි දේව භාන්ඩාගාරය භාරව කටයුතු කරන දෙවියන් ලෙසය. ඔබ කුමන ආගමික ඇදහීමක සිටිය ද කුබේර දෙවියන් වෙනුවෙන් වෙනම ස්ථානයක පහනක් දැල්වීම, එම දෙවියන් වෙනුවෙන් මුදලක් එකතු කර වර්ෂ අවසානයේ දී කුබේර දෙවියන් සිහි කර පුණ්‍ය කටයුත්තක් සඳහා යොදා කුබේර දෙවියන්ගේ ආශිර්වාදය සහ යහපත් ප්‍රතිඵල අත්කරගත හැකිය.

කුබේර දෙවියන් වෙනුවෙන් මුදලක් වෙන්කරන්නේ නම් එම මුදල මොනම අවශ්‍යතාවකට හෝ පුද්ගලික පරිහරණයට යොදා නොගත යුතු බව තරයේ අවධානයේ තබා ගත යුතු වන්නේ එයින් අනාගතයේ ගැටලු ඇති විය හැකි බැවිනි.

ඔබ බෞද්ධ ධර්මය අනුගමනය කරන්නේ නම් ජනවාරි 01 වැනිදා සිට බෝධි පූජාවක් කර, සතරවරම් දෙවියන්ට පින් අනුමෝදම් කර ආශීර්වාද ලබා ගැනීමෙන් මේ වසර ඔබට සුබ කරගත හැකිය. ක්‍රිස්තු භක්තික ජනතාව ඒරියල් සහ යුරියල් යන අග්‍රදේවදූතයන් සමඟ සම්බන්ධ වී සෞභාග්‍යයේ ශක්තිය ලබා දෙන මෙන් ආයාචනා කිරීම හා යාඤ්ඥා කිරීමෙන් සෞභාග්‍යයේ ආශිර්වාය ලබා ගත හැකිය.

2023 වසර වඩාත් සාර්ථක වසරක් වන්න ගණ දෙවියන්ගේ සහ ලක්ෂ්මී මෑණියන්ගේ ශක්තියට විවෘතවීම, ඔවුන්ට ස්තුති කර පූජා පැවැත්වීමෙන් සුබපල උදා කර ගත හැකි වෙයි.

ෆෙන්ෂුයි ශාස්ත්‍රයට අනුව ජල හාවාගේ වර්ෂය

ව්‍යවහාරික දින දර්ශනයේ ජනවාරි 01 වැනිදා නව වසර ලැබුව ද චීන දින දර්ශනයට අනුව ජල හාවාගේ වර්ෂය ලෙස නව වසර එළැඹෙන්නේ ජනවාරි 21දාය. ජල හාවාගේ වර්ෂයේ විශේෂත්වය නම් මුදල් සහ ඒ ආශ්‍රිත ආකර්ෂණ ශක්තිය ඉහළ අගයකින් ලබා ගත හැකිවීමයි. බොහෝ ධනය උපයා ගන්න අවස්ථා උදා වූවත් එයට අවශ්‍ය සම්පත් හිඟ විය හැකි බැවින් අවබෝධයකින් යුතුව අවශ්‍ය සම්පත් පරිහරණයට ඵලදායි සැලසුම් සැකසීමට අවධානය යොමු කිරීම සුදුසුය. තවත් විසඳුම් ලෙස පළිඟු භාවිත කර සෞභාග්‍යයේ ආකර්ෂණය වැඩි කර ගැනීම, ෆෙන්ෂුයි සහ වාස්තු විද්‍යාත්මක නියම අනුව සිය නිවෙස ද සකසා අන්තරීක්ෂ ශක්තියෙන් සුබ ඵල උදා කර ගැනීමට ද පුළුවන.

අනාගතය පිළිබඳ මෙවැනි විවරණවලින් අප අවබෝධ කර ගත යුත්තක් තිබේ. එනම් දැන් මේ ලොවට, මානව සමාජයට අවශ්‍ය වනු ඇත්තේ අධ්‍යාත්මික නැඹුරුවක් සහිත ගැඹුරු විරාමයක් බවය. එය අවබෝධයෙන් කටයුතු කිරීමෙන් පැතිරී ගිය සාමයක් ජීවිතයට ළඟා කරගත හැකිවනු ඇත.

 

ටානියා මෝසස්

 

ඡායාරූප - ගයාන් පුෂ්පික

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.