ඔබ ධනු ලග්නයේ නම්

ජනවාරි 20, 2023

 

චරිත ලක්ෂණ රැකියාව විවාහය රෝගාබාධ මරණය මෙසේ විය හැකියි.

 

 

දුන්නකින් ඉලක්කයට විදීමට සැරසෙන මිනිසෙකු සංකේතවත් කරන ධනු රාශිය රාශි චක්‍රයේ නමවෙනි රාශියයි. යම් අයෙක් යම් කාර්යයක් ඉලක්කයට කිරීම යහපත් සිතිවිල්ලකි. ඒ අනුව ධනු ලග්නය යහපත් මානසික තත්ත්වයක් හඳුන්වාදීම සඳහා එම සංකේතය යොදා ගන්නට ඇතැයි අපිට සිතාගත හැකියි. ධනු රාශිය අග්නි හෙවත් ගිනි රාශියකි. ධනු, මීන යන රාශි දෙකෙහිම අධිපතිකම දරන්නේ ගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයා ය. ධනු ලග්නයෙන් උපන් අයගේ පාලක ග්‍රහයා වනුයේ ගුරු නිසා ගුරුට හිමි ලක්ෂණ ඔවුන් කෙරෙහි දැකිය හැකිය.

චරිත ලක්ෂණ

 

ධනු ලග්නයෙන් උපන් අයගේ සිරුර පැහැපත් පෙනුමකින් යුක්තය. ධනු ලග්නයෙන් උපන් කාන්තාවෝ ද රූමත් ය. ඔවුන්ගේ මුහුණ වටකුරුය. සිත් ගන්නා සුලුය. උස් වූද, පළල් වූද, කැපී පෙනෙන නළල් තලයක්ද, දුඹුරු වර්ණයට හුරු ඇස් ද පූර්ණව වැඩුන ලස්සන නාසයක්ද උසින් හා මහතින් විධිමත්ව සකස් වූ ශරීර අවයවයෝද ඔවුන්ට හිමිය. පිරිපුන් දේහයකට හිමිකම් කියන ධනු ලග්න හිමියෝ තම වයස හෙළිකිරීමට වැඩි කැමැත්තක් නොදක්වති. හැමවිටම තරුණ බවින් සිටීමට උත්සාහ කරයි.

 

ගති ගුණ

 

පරිත්‍යාගශීලී ගුණය මොවුන් කෙරෙන් දක්නට ලැබෙන තවත් විශේෂ ලක්ෂණයකි. තමන්ගේ සැප සම්පත් අන් අය වෙනුවෙන් කැපකිරීමට තරම් සැබෑ මිනිස් ගතිවලින් පිරි චරිතයක් ඔවුන් හට සහජයෙන්ම පිහිටා ඇත. අයුක්තිය, අසාධාරණය ඉවසීම නොහැකි ඔවුන් අනුකම්පාවක් නොදක්වා හෝ යුක්තිය ඉටුකිරීමට උත්සාහ ගනිති. එක මොහොතකට සටන්කාමී බවක් පෙන්නුම් කලත් තවත් අවස්ථාවකදී ඔවුන් තුළදී දැකගත හැක්කේ සාමකාමි බවකි. බාරගත් කාර්යය කුමක් වුවත් එය හරියටම නිවැරැදිව කිරීම ධනු ලග්න හිමියාගේ ලක්ෂණයකි. යමක් කරන්නට පෙර කියන්නට පෙර එය නුවණින් සිතා බලා කීම, කිරීමද ඔවුන්ගේ සිරිතය. ශිල්ප ශාස්ත්‍ර දර්ශන ආදී උසස් දේ ඉගෙන ගැනීමට ඔවුන් ඉතා දක්ෂය.

ධනු ලග්නයෙන් උපන් අයගේ ලග්නයේ නැතිනම් පළමුවැන්නේ ගුරු පිහිටීම ඉතා බලවත් බුද්ධිමත් පිහිටීමක් ලෙස සැලකේ. පස්වැන්නේ කුජ ද නම වැන්නේ රවිද, එවැනිම බලවත් පිහිටීමකි. එහෙත් හතේ රාහු කුජ, ශනි යෝගය වාසනාවන්ත නොවේ. එවැනි අයට අනිවාර්යයෙන්ම සිත්වේදනා ඇතිවේ. ධනු ලග්න හිමියන් අන් ලග්න හිමියන්ට වඩා ඉක්මනින් කෝපයට පත්වෙති. එහෙත් ක්ෂණිකවම එය පාලනය කර ගනී. අයුක්තියට, අසාධාරණයට කිසිම විටෙක හිස නොනමයි.

ධනු ලග්නය හිමි බොහෝ දෙනෙක් අන් අයගේ භාර්යාවන්ට හෝ සැමියන්ට බෙහෙවින් ඇලුම් කරයි. එහෙයින් සමහරුන්ගේ විවාහ ජීවිත අවුල් වෙයි.

 

රැකියාව

 

ධනු ලග්න හිමියෝ ජනපි‍්‍රයවීමට වැඩි කැමැත්තක් දක්වන අතර දේශපාලනයට වැඩි නැඹුරුතාවයක් පෙන්නුම් කරයි.

අන් අය යටතේ සේවය කිරීමට අකමැති ඔවුහු තම නිදහස හැමවිටම අගය කරති. ආගම දහමට ඉතා ලැදියාවක් දක්වන අතර ඔවුන් කිසිම විටෙක රැවටීමටද හැකිනොවේ. නිහතමානි ගතිගුණයෙන් සපිරුණු ධනු ලග්න හිමියන් තරමක් ආඩම්බරය. මොනරලීලාවෙන් ගමන් කරන ධනු ලග්න හිමියෝ සමාජයේ ඉහළින් ජීවත්වීමට ආශාකරන අතර චාම් බවද අගය කරන්නකු වෙයි. අන්‍යයන්ගේ සිත් රිදවීමට අකමැති, ඇත්ත වශයෙන්ම අවිංසාවාදී චරිතයකි. කපටි ගති හා උපායශීලීබව පිහිටා ඇත්තේ ඉතා අඩුවෙනි.

ඉහත සඳහන් ගතිගුණවලට ප්‍රතිවිරුද්ධ ගතිගුණ පිහිටා ඇති ධනුවෙන් උපත ලද පුද්ගලයන්ද සමාජයේ දැකගත හැකිය. ඔවුන් ආත්මාර්ථයෙන් ඔද වැඩුණු අයවේ. ඔවුන් තමාසතු දෙයක් යමකුට දීමට අකමැතිය. ධනු ලග්නයෙන් උපන් අයට සුදුසු රැකියාවන් වන්නේ ගුරු වෘත්තිය, උපදේශක, ආචාර්ය, මහාචාර්ය, නීතිඥ, හෙද, හෙදි, වෛද්‍ය සේවය හා ඉන්ජිනේරු සේවා වැනි වෘත්තීන්ය. වයස අවුරුදු 36ට පසු ඔබේ ජීවිතයේ දියුණුව ආරම්භ වේ. අප රටේ ප්‍රසිද්ධ වියත් පණ්ඩිත හිමිවරුන් මෙන්ම උගතුන් රැසක්ම බිහිව ඇත්තේ ගුරු ග්‍රහයාට හිමි ධනු ලග්නයෙන් වීම විශේෂත්වයකි.

 

රෝගාබාධ

 

සෞඛ්‍ය තත්ත්වය අනුව ධනු ලග්න හිමියන් කුඩා කාලය හා තරුණ කාලය නීරෝගි සුවයෙන් ගත කළත් අවුරුදු හතළිහ පමණ වන විට සුළු වශයෙන් ඇතිකරන අසනීපයන් අවුරුදු කීපයකින් පසු උග්‍ර තත්ත්වයකට පත් කරවයි. ඔවුනට සෑදෙන අසනීපයන් අතර මධුමේහය හෙවත් දියවැඩියාව මුල්තැන ගැනීමට බෙහෙවින් ඉඩ ඇත. මාංශ පේශි දුර්වලතා, පේශි පෙරළීම හෝ විකෘතිය, රක්තවාතය පීඩා ගෙනදෙන රෝග වෙති. ධනු ලග්න හිමියන් දිවීමේ දී හා පැනීමේදී දණ හිස් ආබාධවලට බොහෝවිට මුහුණ පායි. දණ හිසෙහි කිසිදු පීඩාවක් සිදුනොවූ ධනු ලග්න හිමියෙක් ඇත්නම් ඒ කලාතුරකිනි.

 

මරණය

 

ධනු ලග්න හිමි අයගේ මාරක ග්‍රහයන් වන්නේ ශනි, සිකුරු හා සඳු ය. මෙම ග්‍රහයන්ගේ දශා, අන්තර්දශා කාලවලදී ධනු ලග්න හිමියන් මෝටර් රථ වාහන, ගින්දර, ඉන්ධන, විදුලිය වැනි දේවලින් ප්‍රවේශම් වීම වැදගත් ය. විශේෂයෙන් ගින්දර හා විදුලිය දරුණු ලෙස ඔවුන්ට බලපායි. ධනු ලග්න හිමියන්ගේ ජයග්‍රාහි දින බදාදා සහ සිකුරාදා වේ. සඳුදා, අඟහරුවාදා අශුභයි. සුබ අංක 3, 5, 6, 8 සුබ වර්ණ සුදු හා ළා නිල්ය.

 

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.