ඉක්මන් දියුණුව සොයා හඹා යන මකර ලග්න හිමියෝ

චරිත ලක්ෂණ රැකියාව විවාහය රෝගාබාධ මරණය මෙසේ විය හැකියි.
ජනවාරි 27, 2023

 

රාශි චක්‍රයේ 10 වැනි රාශිය මකරයයි. පොළොව හෙවත් මිහිතලය පාලන කාරකය කරගත් මකර ලග්නය චර රාශියකි. සෞරග්‍රහ මණ්ඩලයේ දුකට අධිපති සෙමින් ගමන් යන කාල වර්ණ සෙනසුරු මකර ලග්නයට හිමිකම් කියයි. ගොඩබිම ජීවත්වන සතුන් තිදෙනකුගේ ශරීර කොටස් ද ජලයේ ජීවත් වන සතුන් දෙකොටසකගේ කොටස්ද ඒකරාශී කරමින් පියවි ඇසට මෙතෙක් හමු නොවූ සත්ත්ව රූපය මකර ලග්නයේ සංකේතයයි. මකර රාශියේ ඇති ගුප්ත බලය හා නොසැලෙන බව පඨවි ගුණය පිළිබිඹු කිරීම සඳහා මෙම සංකේතය යොදා ඇතැයි විශ්වාස කරයි. 10 වැන්න විශ්ව කේන්ද්‍රයේ මුදුන් රාශියයි. බලවත් රාශියයි. ඒ නිසා මකර ලග්නය බලවත් රාශියක් වේ.

 

චරිත ලක්ෂණ

මකර ලග්නයෙන් උපන්නෝ දුක සැප එක ලෙස විඳීමට අති දක්ෂයෝ වෙති. දුර දක්නා නුවණින් යුක්තය. සකසුරුවම් ලෙස කටයුතු කරන අතර, කරුණා ගුණයෙන් පූර්ණය. යුක්තිය, නීතිය අවිහිංසාව, විශේෂ ගුණාංග වේ. පොතපතින් ලබන දැනුමට වඩා අත්දැකීමෙන් ලත් පුළුල් දැනුමක් ඇත. උත්සාහවන්තයි. එසේම තැනට සුදුසු ලෙස කටයුතු කරන මකර ලග්න හිමියෝ සමාජයට සුදුසු ආකාරයෙන් කටයුතු කිරීමට ද අතිදක්ෂ වෙති.

රැකියාව

කරන දෙය සැලසුමකට ක්‍රමවත්ව කැපවීමෙන් කරන බැවින් පරිපාලනයට මෙන්ම නායකත්වයට ද සුදුස්සෝය. භාරගත් වගකීම කෙසේ හෝ ඉටු කිරීම මකර ලග්න හිමි අයගේ සුවිශේෂ ගුණාංගයකි. ස්ව උත්සාහයෙන් දියුණුව ලබති. ගේ දොර ඉඩකඩම්වලට මහත් ආශාවක් දක්වන නිසාම කෙසේ හෝ උසස් තත්ත්වයට වඩා උසස් තත්ත්වයක් හිමි කර ගැනීමට හැකි අය වෙති. බාධක නොසලකා ඉදිරියට යාම නිසා සාර්ථක ප්‍රතිඵල නෙළා ගනී. විශාල ව්‍යාපාර ආරම්භ කිරීමට, පාලනයට, සංවිධානයට දක්ෂයෝය.

ගතිගුණ

මකර ලග්නයෙන් උපන් අයට නිකරුණේ ගත කිරීමට කාලයක් නැත. ගෙවී යන සෑම තත්පරයක්ම ඔවුන්ට ඉතා වැදගත්ය. ඔවුන් ඉපිද ඇත්තේ කාලය කෑමට නොව කාලයෙන් උපරිම පල නෙළීමට යැයි ඔවුන් නිතරම සිතන්නේ ඒ නිසාය. කාලය කළමනාකරණය කර ගනිමින් වැඩකටයුතුවල නිරතවීමට මකරයෙන් උපන් අය අතිදක්ෂය. සිත සිතා සිටීමට ඔවුන්ට කාලයක් නැත. සිතීමට ගත කරන කාලයද ඔවුන් යොදා ගනුයේ වැඩකටයුතුවල නිරත වීමටය. එය විශේෂත්වයකි. දවසේ පැය විසි හතර ඔවුනට මදි තරම්ය. ඔවුන් සිතන්නේ කාලය යනු මුදල් කියාය. ඔවුන්ගේ ඒකායන ප්‍රාර්ථනය වනුයේ කෙසේ හෝ ඉක්මණින් දියුණු වූ ඉහළ සමාජ තත්ත්වයක් ලබා ගැනීමටය. එය ඉටුකර ගැනීම සඳහා රැය දහවල් නොතකා කයට සැපක් විවේකයක් නොදෙමින් දැඩි වෙහෙසක් දරමින් වැඩ කටයුතු කිරීම ඔවුන් තුළින් දැකගත හැකි විශේෂ ලක්ෂණයකි. ඉහත කරුණූ පිළිබඳ අධ්‍යයනය කිරීමේදී ඔවුන් පිළිබඳ එක් දෙයක් පැහැදිලිය. එනම් ඔවුන් දැඩි ආත්ම ශක්තියකින් හා ආත්ම අභිමානයකින් කටයුතු කිරීමට නැඹුරු වූ අය බවය.

ජයග්‍රහණ ඉදිරියේ වේගයෙන් ඉදිරියට යන අතර පරාජය අවාසිය හමුවේ උපායශීලිව ඉන් මඟහැර නිහඬ වීමද මකර ලග්න හිමියන් තුළ කැපී පෙනෙන තවත් ලක්ෂණයකි. එසේ නිහඬ වූවත් අවස්ථාව උදාවූ විගස වහා ක්‍රියාත්මක වෙයි. මිනිස් ගුණධර්ම අගයන අතර නිර්දෝෂිත්වය ද අගය කරයි. නිතරම ගැඹුරින් සිතයි. ඒ නිසා ලෝකයේ බිහිවී ඇති ශ්‍රේෂ්ඨ උගතුන්, දාර්ශනිකයන්, ලේඛකයින්, සුප්‍රකට ඡ්‍යෝතිෂවේදීන් මකර ලග්නයෙන් උපන් අය වී ඇත. දයාව, අනුකම්පාව ඇති වුවත් තරමක මුරණ්ඩු ගතියකින්ද කටයුතු කරති.

විවාහය

මකර ලග්න හිමියන්ගේ විවාහය බොහෝ විට ප්‍රමාද විය හැක. එහෙත් ගෘහ ජීවිතයට ඇතුළු වීමෙන් පසු සිය යුතුකම් නොපිරිහෙළා ඉටුකිරීමට වෙහෙසෙයි. මකර ලග්න හිමියකුට විවාහයේදී මකර ලග්න හිමි කතක්ම හිමි වීම ඔවුන්ගේ ජීවිත වඩාත් ඵලදායි එකක් වීමට හේතුවක් වනු ඇත. එසේ නොමැතිනම් ජල රාශි වන කටක, මීන, වෘශ්චික, ලග්න හිමියන්ද පඨවි රාශි වන වෘෂභ, කන්‍යා ලග්න හිමියන්ද වඩාත් ගැළපේ. සිකුරු ග්‍රහ තරුව මකර ලග්න හිමි අයට රාජයෝග කරක ග්‍රහයා වේ. සිකුරු, බුධ සංයෝගය ධර්ම කර්මාධිපති රාජ යෝගයයි. ඒ නිසා සිකුරාදා දිනය මකර ලග්න හිමියන්ට ඉතා සුබය. අඟහරුවාදා දිනද මකර ලග්න හිමි අයට ශුභදායක වේ. සඳුදා, බ්‍රහස්පතින්දා ශුභ නොවේ.

රෝගාබාධ

දණහිස් රෝග, හමේ රෝග, හන්දි රෝග, ආහාර දිරවීමේ ඉන්ද්‍රිය පද්ධතියේ දුර්වලතා, හෘදයාබාධ මකර ලග්න හිමියන්ට බලපාන රෝග පීඩා වේ. භූමි සම්පත්වලට හිමිකම් කියන මකර ලග්න හිමියෝ ගස් කොළන්, රන් රිදී, මුතු මැණික් හා සතුන්ට වැඩි ආශා කරති. වගා කටයුතු වල යෙදුණොත් වඩා ප්‍රතිඵල ළඟා කරගත හැකි වේ. නීල වර්ණය ඉතාම ශුභදායක වර්ණය වන අතර කහ සහ ක්‍රීම් වර්ණ ශුභ නොවේ. 6,8,9 ජය අංක වේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.