අඟහරු හෙවත් සෙන්පති කුජ

පෙබරවාරි 10, 2023

 

විශ්ව කේන්දරය හෙවත් ලෝක කේන්දරය මේෂය වූ විට එහි ලග්නාධිපති කුජ හෙවත් අඟහරු වෙයි. විශ්ව කේන්දරයේ අටවැන්නාධිපති වන්නේ ද කුජයි. ග්‍රහතරු අතරින් පෘතුවියට සමාන ගතිගුණ ඇති එකම තරුව කුජයි. ඡ්‍යෝතිෂයේ දී භූමිපුත්‍ර ලෙස හඳුන්වයි. කුජට පෞරුෂය පිළිබඳ හිමිකමක්ද වෙයි. එසේ වන්නේ විශ්ව කේන්දරයේ ලග්නාධිපති කුජ වන බැවින් ලග්න කේන්දරයේ පළමු රාශියෙන් හිස නියෝජනය වන බැවිනි.

 

කුජ සම්මත පාප ග්‍රහයකු ලෙස ඡ්‍යොතිෂයේ දී සලකයි. කුජ සෙන්පති වේ. මනුෂ්‍යයාගේ ධෛර්යය, ශක්තිය, එඩිතරබව, නිර්භීතබව, ආත්ම විශ්වාසය, තේජවන්ත බව, ස්ථිර ගතිය, තීක්ෂණ අවබෝධය, උසස් ගතිගුණවලට කුජ ප්‍රධාන වෙන බව පෙන්වා දී තිබේ.

කුජ ජන්ම කේන්දරයක රෝග ස්ථානය වන 6 වැන්නට හෝ 6 වැන්න අධිපතිට සබඳකමක් වේ නම් තුවාල සිදුවීමට ඇති ඉඩ කඩ වැඩිය.

කුජ පාප පීඩිතව යෙදුණහොත් ඔහු හෝ ඇය දුර්වල වේ. එමෙන්ම දරුණු උෂ්ණ රෝගවලටත් හදිසි අනතුරු, බරපතල තුවාලවලටත් භාජනය වෙයි.

කුජ ලග්නයෙහි වූ ජන්මීන්ට දරුණු විපත්වලට මෙන්ම දරුණු මරණවලට මුහුණ පාන්නට සිදුවන බව ඡ්‍යෝතිෂයේ සඳහන් වෙයි. හිසට තුවාල සිදුවීමද විය හැක. කුජ මිනිස් සිරුරේ නළල, නාසය, රහස් ස්ථානය, ලේ හා මස් පිඬු ආදියට අධිපති වෙයි.

කුජ සහෝදරකාරක ග්‍රහයාද වෙයි. යමකුගේ වැඩිමහලු සහෝදරයා පිළිබඳ නියෝජන අයිතිය කුජට හිමි වෙයි. කුජ බලවත්ව කේන්දරයක පිහිටියහොත් හෝ සහෝදරස්ථානය වන තුන්වැන්න බලවත් නම් උසස් සහෝදර හිමිකම් ලැබේ.

කුජ මේෂ සහ වෘශ්චික ලග්න දෙකට අධිපති ග්‍රහයා වෙයි. මකර රාශියේ දී කුජ උච්ච වෙයි. කටක රාශියේ දී නීච වෙයි. මීන, ධනු රාශිවල දී මිත්‍රවන අතර මිථුන, කන්‍යා රාශිවලදී සතුරු වෙයි. වෘෂභයට හා කුම්භයට සමවෙයි. කුජ ග්‍රහයා රාහු සහ කේතු සමඟ යෝග වීම යහපත් නොවන බව ඡ්‍යෝතිෂයේ දී පිළිගැනෙයි. කුජ 10 වැන්නට හෙවත් දකුණු දිශාවට බලවත් ය. කුජට හිමි නැකැත් වනුයේ සිත, මුවසිරස හා දෙනට ය.

කුජ හා සඳු සංයෝග වීමෙන් චන්ද්‍ර මංගල යෝගය ද කුජ ශනි සංයෝගවීමෙන් ශනි මංගල යෝගයද කුජ ගෙන් රුචක යෝගයද ඇතිවේ. යම් ග්‍රහයකු කුජ හා ශනි දෙදෙනාට මැදිවුවහොත් පාප කර්තරී යෝගය ඇතිවන බව ජ්‍යෝතිෂයේ දී පෙන්වා දී ඇත.

කුජ - රවි සංයෝගය

මෙම ග්‍රහයන් දෙදෙනාම උෂ්ණය. මිනිසාගේ ලේ ධාතුව ශරීරය උෂ්ණ කරවයි. තද උෂ්ණ රෝග පහසුවෙන් හටගත හැක. ජන්මියාගේ චිත්ත ධෛර්යය වැඩිවේ. ඥානවන්ත වේ. පාප දෘෂ්ටි ලද විට පවිටු අදහස් ඇතිවිය හැක.

කුජ - චන්ද්‍ර සංයෝගය

 

මෙම යෝගය සුබ ස්ථානයක ඇති වූ විට ජන්මියාට යහපත් ප්‍රතිඵල ලබාදෙයි. ශක්තිමත්, නිර්භීත, සෞඛ්‍ය සම්පන්න අයකු වෙයි. ත්‍යාගවන්ත බව ඉහළයයි. සැඟවීම්, හොර රහස් නොමැත. නරක ස්ථානයක සිටියොත් ලෙඩ දුක් හදිසි විපත් ආදියට මුහුණ පෑමට සිදුවේ.

 

කුජ - බුධ සංයෝගය

 

කුජ - බුධ සංයෝගය යහපත් තැනක සිටිවිට උපන් අය ඉතාම ක්‍රියාශීලීන් වෙයි. නිරතුරුවම ඥානයෙන් හා කාර්යක්ෂමභාවයෙන් අග තැන්පත් වේ. විද්‍යාව, ගණිතය, දුටුවන යමක් කිරීමට හැකි ධෛර්යය වන්තයින් වේ. නරක තැනක පිහිටි විට පාප දෘෂ්ටියට ලක් වූ විට බොරුව හා වංචාව බහුලවෙයි.

කුජ - ගුරු සංයෝගය

 

යහපත් ස්ථානයක, යහපත් දෘෂ්ටි ලදුව ජන්මියකුගේ කේන්දරයේ පිහිටි විට ඉතා යහපත් පිහිටීමක් බව ඡ්‍යෝතිෂයේ සඳහන් වෙයි. ඉදිරියට යන බව නිදහස් මත දරන බව පැවැසේ. ඕනෑම අයකු තම වචනයට, වසඟයට නම්මවා ගත හැකිය. ඉගෙනීම් කටයුතුවලින් මුදල් උපයයි. හිංසා පීඩා නොකරන අතර අන් අයගෙන් හිංසා පීඩා ලැබීමට ද අකමැත්තෙකි. නරක තැනක මේ සංයෝගය යෙදුණොත් ඉහත කී සියල්ල අනෙක් පසට සිදුවෙයි.

කුජ - ශුක්‍ර සංයෝගය

 

සමාදානය අගයන අයෙකි. ශරීර ශක්තිය ගෙන දෙන කාමාශාව අධික සංයෝගයකි. පී‍්‍රතියෙන් හා සෙල්ලක්කාරකමින් වාසයට පි‍්‍රය වේ. ධෛර්යවන්තව තම කටයුතු ඉටු කරගනියි. ව්‍යාපාර කටයුතුවලින් ලාභ උපයයි. මිතුරන් අතර ප්‍රමුඛයා වෙයි. නරක තැනක මේ යෝගය පැවතියහොත් නාස්තිකාරයකු වේ. සමාජයෙන් ගැරහුම් ලබන්නකු වෙයි.

කුජ - ශනි සංයෝගය

 

යහපත් ගතිගුණ හා උසස් සිතුවිලි ඇත්තෙකි. නීරෝගි වෙයි. ඕනෑම අසීරු කාර්යයක නියැලෙන්නේ තමා සතුව පවතින කාර්යශූරත්වය හේතුවෙනි. නිර්භීතය. සුබ තැනක මෙම සංයෝගය යෙදුණහොත් උසස් ඉගෙනීමක් ලබයි. දියුණුවට පත්වෙයි. නරකට යෙදුණු විට ගතිගුණ දුර්මුඛවෙයි. සැරපරුෂ අයකු වෙයි. සමාජය භයානක කෙනකු ලෙස හඳුන්වයි. රෝගාදියෙන් පීඩා විඳියි.

 

 

ඡ්‍යෝතිෂවේදී,

ජී.ටී. ආරියරත්න

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.