සතුරෙකුටවත් ද්‍රෝහි නොවන මීන ලග්න හිමියෝ

චරිත ලක්ෂණ රැකියාව විවාහය රෝගාබාධ මරණය මෙසේ විය හැකියි.
පෙබරවාරි 10, 2023

රාශි චක්‍රයේ අවසාන රාශිය මීනයයි. මසුන් දෙදෙනකුගේ රූපයෙන් සංකේතවත් කර ඇති මීන රාශිය ආපෝ රාශියක් ද වෙයි. මීන යනු මාළුවායි. මීන රාශියට අයත් තරුපෙළ මසුන් දෙදෙනකුගේ ආකාරයෙන් දිස්වෙන බැවින් එය මේ නමින් හඳුන්වනු ලබයි.

 

මීන රාශියට අධිපතිවනුයේ ගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයායි.

චරිත ලක්ෂණ

මීන ලග්නයෙන් උපන් අය ප්‍රසන්න පෙනුමකින් යුක්ත වෙයි. පළල් උරහිස්වලින් යුත් ඔවුනට සමහරවිට ලොකු ඇස් දෙකක් ඇතිවිය හැකි ය. මෙම ලග්නයෙන් උපන් කාන්තාවෝ ද රූමත් වෙති. සාමාන්‍යයෙන් ඔවුනට රැලි සහිත දිගු කොණ්ඩයක් හිමිය. අත්පා දිගය. දිගැටි නෙත් යුවළක් ඇත. මීන ලග්නයෙන් උපන් අය ජලයට දක්වන්නේ විශේෂ ළැදිකමකි. ඔවුහු ඉක්මනට කෝප වුවත් ඒ බවක් පිටතට නොපෙන්වයි.

ගතිගුණ

මීන ලග්නයෙන් උපන් අය කරුණාව, දයාව, අනුකම්පාව ආදී උසස් ගුණධර්මවලින් පිරිපුන්, සාධාරණ, යුක්තිය අගයකරන, වගකීම්වලින් තොර නිදහස් ජීවිත ගත කරන්මෝ වෙති. සැඟවුණු හා සඟවන අදහස්වලින් යුතු අය වෙති. එක එල්ලේ එකවර තම අදහස් ප්‍රකාශ කිරීමට මැළිකමක් දක්වන මීන ලග්න හිමියෝ වරින්වර සිය හැඟීම් වෙනස් කරති. විනෝදයත් නිදහසත් අගය කරන ඔවුහු සෞන්දර්යයට පි‍්‍රයතාවක් දක්වති. ජලජ රාශියක් නිසාම වැනෙන ප්‍රතිපත්තීන්ගෙන් යුක්තය. හැමවිටම හැඟීම්වලට වහල්වීමේ ගතිය වැඩි නිසාත් වරින් වර දුකට හා සැපතට ලක්වෙන චරිත වෙති. බොහෝවිට තමන් ඇසුරු කරන සමාජ වටපිටාව අනුව තම ජීවන ගමන හැඩගස්සවා ගනී.

සමාව දීම මීන ලග්න හිමියන්ගේ තවත් විශේෂ ලක්ෂණයකි. සතුරකුටවත් ද්‍රෝහිකමක් කිරීමට නොපෙලඹේ. කරුණාව, දයාව ඔවුන් තුළ නිතර රැඳී පවතින නිසා සතෙකු වුවත් දුක්වෙනවා දකින්න ඔවුහු කැමති නොවේ. බොහෝවිට ඔවුනට පිහිටවෙමින් කටයුතු කරයි. හැදෙන ගහක් වැලක් පවා කැපීමට මැළිවෙයි. ඔවුන්ගේ යහපත් ගතිගුණ අන් අයට හැඟවීමට උත්සාහ නොකරයි. එය තමාගේම සතුට පිණිස භුක්ති විඳී. අසරණ අය, දුගී අය ආබාධිත අය කෙරෙහි දැඩි දයාවක්, කරුණාවක් දක්වනවා පමණක් නොව අසල්වාසීන්, මිත්‍රාදීන් කෙරෙහි ද සුහදතාවයෙන් කටයුතු කිරීමට වෙහෙස දරයි. කිසිම අයකුගේ සිත් රිදවීමට අකමැති වෙයි.

මීන ලග්නයෙන් උපන් අය කපටි, දුෂ්ට අපරාධකාරයන්, දූෂිතයෝ නොවෙති. සාමකාමි සදාචාර ගතිපැවතුම්වලින් යුතු අය වෙති.

රැකියාව

මීන ලග්න හිමියන් කුමන ආකාරයේ රැකියාවක යෙදුනත් එය ඉතා ඕනෑකමින්, වගකීමකින් යුතුව ඉටු කිරීමට දක්ෂ වෙයි. බොහෝවිට, චිත්‍ර, සංගීතය, රඟපෑම හා සෞන්දර්ය කලාවට වඩාත් පි‍්‍රය කරයි. ඔවුහු කලා ක්ෂේත්‍ර අධ්‍යාපන ආයතන, සෞඛ්‍ය සේවා, බැංකු කටයුතු ආදී නිතර ජනතාව සමඟ ගැටෙමින් කරන රැකියාවලින් වැඩි ප්‍රයෝජනයක් ලබති. සුරතල් සතුන් ඇති කිරීම, මල් වැවීම හා වගා ව්‍යාපාරවලට ද වැඩි උනන්දුවක් දක්වති. නිතරම ශරීරය පවිත්‍රව තබා ගැනීමට උනන්දු වන අතර ජලාශි‍්‍රත දේවලටද පි‍්‍රය කරති මීන ලග්න හිමියන්ට යෝග්‍ය රැකියා වනුයේ නීතිඥ වෘත්තිය, පරිපාලන සේවය, ගුරුවෘත්තිය හා සෞන්දර්ය අංශයේ වෘත්තීන් වේ. මිනිස් ගුණධර්මවලින් පිරිපුන් අය නිසා වෛද්‍ය වෘත්තියටද සුදුස්සෝ වෙති. .

යම් දෙයක් කරනු දැකීමෙන්ම එය ඉගෙන ගැනීමේ දක්ෂතාවයක් මීන ලග්න හිමියන් සතු ය. මෙහෙකරුවන්ගෙන්, නෑදෑයින්ගෙන් හා විරුද්ධ ලිංගිකයන්ගෙන් ගරු බුහුමන් ලැබීමට ද මීන ලග්න හිමියෝ වාසනාව ලබති. යහපත් භාර්යාවක් හෝ පුරුෂයකු ලැබීමට ද හිමිකම ඇත. ඔවුන්ගේ ගෘහ ජීවිතයද සාමකාමි අයුරින් ගෙවෙනු ඇත.

විවාහය

මීන ලග්න හිමියන්ට විවාහය සඳහා වඩාත්ම ගැළපෙනුයේ මීන, කටක, වෘශ්චික ලග්න හිමි අයයි. එම අය හා විවාහ වුවහොත් විවාහ ජීවිතය වඩාත්ම සාර්ථක වේ. මීන ලග්න හිමියාගේ ලග්නයේ හෙවත් පළමු වැන්නේ ලග්නාධිපති වූ ගුරු ග්‍රහයා පිහිටියහොත් ඉතා වාසනාවන්ත යෝගයක් වූ ගුරු හංස යෝගය උදා වෙයි. මෙවැන්නෝ සියලු සැප සම්පත්වලින් යුතු අය වෙති. බුද්ධිමත් මෙන්ම ඥානාන්විත වේ. ඉගෙනීමෙන් උසස් තත්ත්වයකට පත්ව රටේ ලෝකයේ කීර්තිමත් අය වෙති. මීන ලග්නයෙන් පස්වැන්න කටක රාශියයි. කටක රාශිය ගුරු ග්‍රහයාට උච්ච රාශිය වෙයි. එමෙන්ම ත්‍රිකෝණස්ථානයයි. මේ නිසා එබඳු පිහිටීම් ඇති අය ආදරය, කරුණාව දයාව ආදී යහපත් ගුණධර්මවලින් යුතු අය වෙති. තම ආගමට, දහමට සිත ඇදී යයි. ගුරුවරු, දෙමව්පිය, වැඩිහිටි අයට ගරු කරති. එහෙත් ලග්නයේ හෝ හතේ රාහු ශනි යෝගය ඔවුනට අවාසනාව ගෙන එයි. එමෙන්ම මීන ලග්නයෙන් උපන් අයට අටේ කුජ, ශනි යෝගද එතරම් යහපත් නොවේ.

රෝග

මීන ලග්නයෙන් උපන් අයට විශේෂයෙන් ජලයෙන් ඇතිවෙන රෝග බලපායි. සෙම් රෝග, පෙණහලු රෝග උදරාබාධ ආදිය පහසුවෙන් වැලඳිය හැකි ය. මෙම ලග්න හිමියන්ට මාරක ග්‍රහයන් වන්නේ සිකුරු, රවි හා ශනි ය. මෙම ග්‍රහයන්ගේ දශා, අතුරු දශා කාලවලදී මීන ලග්න හිමියන් මෝටර් රථවාහනවලින් ගංගා, ළිං, වැව්, මුහුදු වැනි ස්ථානවලදී ප්‍රවේශම්වීම වැදගත් ය.

මීන ලග්න හිමියන්ට ඉතාම සුබ දිනය බ්‍රහස්පතින්දා ය. අඟහරුවාදා, සඳුදා, බදාදා ශුභ දිනයන් වන අතර සිකුරාදා සහ සෙනසුරාදා අශුභඵල උදා කරන දිනයන් වේ. රතු, කහ සහ රඹ වර්ණ ශුභදායක වන අතර නිල් සහ සුදු අශුභ වර්ණයන් වේ.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.