අද සිකුරු - යුරේනස් යුධ වදිද්දී බුධ කුජ හිමි මේෂයට යහපත් කාලයක ඇරැඹුමක්

මාර්තු 31, 2023

 

2023 මාර්තු 31 අලුයම 3.56ට ඇතිවන ග්‍රහ සටනින් සිකුරු යුරේනස් පරදවා අභිමානයෙන් යුතුව සිය නිවෙසක් වන වෘෂභ රාශිය කරා ගමන් කරයි. මේෂ රාශියේදී මෙම ග්‍රහ සටන සිදුවේ. බෙරණ නැකතද පවතී. එය සිකුරුගේ නැකතකි. මේෂ රාශිය කුජගේ ය. කුජ සෙන්පතිය. ඒ අනුව මෙම සටනින් ඔබට, අපට රටට ලෝකයට සුබ අසුබ පල දෙකම ලැබේ. විශ්ව කේන්ද්‍රයේ ලග්නය මේෂය යි ලංකා කේන්ද්‍රයේ තුන්වැන්න මේෂය යි. විදේශ ලැබීම් ඇතිවේ. වික්‍රමය පැතිරේ. සංගීත කලා ක්ෂේත්‍රවල දියුණුව, ගව සම්පත දියුණුවේ. ධාන්‍ය වර්ගවල අස්වැන්න යහමින් ලැබේ. කාන්තාවන්ට ජය, අශ්ව පාලකයන්ට පීඩා ඇතිවේ. මසුරු ධනවතුන්ට පීඩා ගෙන දෙයි. ගිනිබිය ඇතිවීමටද ඉඩ තිබේ. මාස හයක් තුළ සුබ අසුබ පල ගෙන දෙයි. මෙම ග්‍රහ ගැටුම ලග්නවලට බලපාන අයුරු.

 

මේෂ

අධික ලෙස විනෝදකාමි වැඩවලට යොමුවීම නිසා ඉගෙන ගන්නා අයගේ ඉගෙනීම්වලට බාධා ඇති විය හැක. ලැබීමේ වාසනාව උදාවේ. හිතුවක්කාර කටයුතු නිසා අපහසුතාවයන්ට පත්විය හැක. හිත මිතුරන් නිසා දියුණුවට බාධා යෙදිය හැක.

වෘෂභ

ආත්ම ගෞරවයට මෙන්ම මිල මුදල්වලට හානි ඇතිවීමට ඉඩ තිබේ. සාධාරණ ලෙස කටයුතු කිරීමෙන් තත්වය ආරක්ෂා කර ගත හැක. විදේශ ගමන් යෙදුනත් ඵල ප්‍රයෝජන අඩු විය හැක. නපුරු ගති ද ඇතිවේ. නඩුහබ සුදුසු නැත.

මිථුන

යහපත උදාවේ. ඉගෙනීම්ද දියුණු වේ. ගේ දොර වාසස්ථාන ලාබ හිමිකම්වලටද ඉඩ තිබේ. ධනය, දියුණුව රැකියා දියුණුව ඇති කරයි. කාන්තා පක්ෂයෙන් උදව් උපකාර ලැබේ. ඕනෑ නැති ලෙස බලාපොරොත්තු ඇතිකර ගැනීමෙන් හිතට අසහන ගති ඇතිවේ.

කටක

අත්‍යවශ්‍ය නොවන දේවල්වලට සිත වැඩියෙන් යොමු විය හැක. රැකියා කටයුතු මෙන්ම වෙළඳ ව්‍යාපාර කටයුතු ද සාර්ථක ලෙස දියුණුවේ. වාසස්ථාන ලාබ ලැබේ. ආර්ථිකය ස්ථාවර වේ. සුබයි.

සිංහ

කැපවීමෙන් කටයුතු කරන අතර, කීර්තිය, ප්‍රසිද්ධියද උදාකර ගනී. විනෝද ගමන් වන්දනා ගමන් යෙදේ. හිසේ ලේ දෝෂයන් යෙදෙන රෝග පීඩා ඇති විය හැක. අධික සිතුවිලි හේතුවෙන් හිතට කරදර ඇති විය හැක.

කන්‍යා

රහස් මාර්ගවලින් බලාපොරොත්තු නොවූ ලෙස ධනය ලැබීමට ඉඩ තිබේ. පොළොවෙන් ලැබෙන ධනයටත් හිමිකම් ඇතිවේ. සංගීත, චිත්‍ර, කලා වැනි අංශ දියුණු ූවේ, සෙම් දෝෂ පීඩා ද ඇති විය හැක. ඉගෙනීමට බාධාවේ.

තුලා

අධික බලාපොරොත්තු ඇති කර ගැනීමෙන් හිතට අසහනය ඇති විය හැක. හවුල් ව්‍යාපාර කටයුතුවලින් ලාබ ලැබිය හැක. සතුරු කරදර ද, උෂ්ණ රෝග පීඩා ද ඇතිවිය හැක.

වෘශ්චික

උෂ්ණාධික රෝග පීඩා, උදරාබාධ මානසික පීඩා ඇති විය හැක. බාධක පැමිණියත් ඒවා මැඩ ගෙන ඉදිරියට යාමේ ශක්තිය ද ඇතිවේ. ක්‍රීඩා හා ව්‍යායාම වලට උනන්දු වේ. ශරීර වර්ධනයට බාධාද ඇතිවිය හැක. පුද්ගලික දියුණුවට සිත යොමුවේ.

ධනු

සාහිත්‍ය කලා සංගීත ක්ෂේත්‍රවල නියුතු අයගේ එම අංශ දියුණුවට පත්වේ. සහජ දක්ෂතා මතුවී දියුණුව ඇති කරයි. වෙළඳ ව්‍යාපාර කටයුතු දියුණුවේ. අලංකාරයට හේතුවන කටයුතුවලින්ද ධනය ලැබිය හැක. තැනට සුදුසු නුවණින් යුතුව කටයුතු කළ හැක.

මකර

නොසිතූ ලෙස යම් යම් ලැබීම් ඇතිවීමට ඉඩ තිබේ. ඉගෙනීම්වලට දක්ෂතා ඇතිවේ. රැකියා අංශවල දියුණුව ඇතිවේ. ගේ දොර යානවාහන ලැබීම්වලටද වාසනාව මතු කරයි. ඉගෙනීම රැකියා, ගෙදර දොර දියුණුව ඇති කරයි.

කුම්භ

ගමන් බිමන් යෙදෙන අතර, ඒවායින් සාර්ථක ප්‍රතිඵලද ලැබිය හැක. කලා අංශවල දියුණුව ඇතිවේ. ඒවාට සහජ දක්ෂතා ඇතිවේ. රැස්කර ගැනීමේ අදහස් අඩු බැවින් දියුණුව ප්‍රමාද විය හැක. අනවශ්‍ය දේවල් පිළිබඳව සිහින මැවීම නිසා හිතට අසහන ගති ඇතිවේ.

මීන

කතාව යහපත් වේ. යහපත් මිතුරු මිතුරියන් ඇතිවේ. උගුරේ බෙල්ලේ සෙම් දෝෂ පීඩා ඇතිවේ. ආත්ම ගෞරවය, රැකගෙන කටයුතු කළ හැක. උනන්දුව, උත්සාහය බලවත් නිසා වැඩ කටයුතු වලින් ජයග්‍රහණ අත්පත් කර ගත හැක. විනෝදකාමි වැඩවලටද සිත යොමු වේ.

 

කලාභූෂණ ප්‍රවීණ ඡ්‍යෝතිෂවේදී

සෝමපාල විජේසූරිය

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.