වසරේ පළමු ඡායා චන්ද්‍රග්‍රහණය වෙසක් පුර පසළොස්වක පෝදා

මැයි 5, 2023

කාලගුණික – දේශගුණික – පාරිසරික ලෙස පීඩාකාරි තත්ත්වයක්

දැඩි සුළං නිසා සයුර වියරු වීමෙන් ධීවර බෝට්ටු, යාත්‍රාවලට දැඩි හානි

ගම්බිම් සිසාරා ජලගැලීම් නිසා ජනතාවට අපහසුතා

ගුවන් හමුදාව – නාවික හමුදාව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට වැඩ වැඩි වේ

බෝවන රෝග ශීඝ්‍ර ලෙස පැතිර යයි

උතුරු – උතුරු මැද – මධ්‍යම පළාත් ආශි‍්‍රත ජල වේල්ලකට ආපදා

ළමා, කාන්තා අපචාර සමාජ අඬදබර වැඩි වීම්

 

මේෂ – මිථුන – කටක – සිංහ – කන්‍යා – තුලා – ධනු – මකර – කුම්භ ලග්න හිමියන්ට සුබ ඵල

 

වෘෂභ – වෘශ්චික – මීන ලග්න හිමියන්ට අසුබ ඵල

 

 

මේ වසර තුළ අප රටට චන්ද්‍ර ග්‍රහණ දෙකක් හා සූර්ය ග්‍රහණ දෙකක් සිදු වෙයි. ඉන් පළමු සූර්ය ග්‍රහණය අපේ‍්‍රල් 20 වැනි දින 09.48ට එදින මධ්‍යය කොටගෙන මේෂ රාශියේ අස්විද නැකතේ දෙවැනි පාදය ආශි‍්‍රතව සිදු විය.

මේ අතර, මේ වසරේ පළමු චන්ද්‍ර ග්‍රහණය මැයි මස 05 වැනි දින 22.55 මධ්‍යය කොටගෙන තුලා රාශි‍්‍රයේ විසා නැකතේ පළමු පාදය ආශි‍්‍රතව සිදු වෙයි.

ස්වයං දීප්ත වස්තුවක් වන සූර්යයාගෙන් ආලෝකවත් වන පෘථීවිය හා චන්ද්‍රයා සිය මවු ග්‍රහයා වන සූර්යයා වටා ගමන් කිරීමේදී එම වස්තූන් ත්‍රිත්වය එක පෙළට පිහිටි කල චන්ද්‍රයා පෘථීවියේ සෙවණැල්ල හෙවත් ඡායාවට හසුවීමෙන් චන්ද්‍ර ග්‍රහණය සිදු වෙයි.

නිරතුරුවම වැසි සුළං සහිත වන වෙසක් මාසය තුළ සිදු වන මේ ඡායා චන්ද්‍ර ග්‍රහණය නිසා වෙනදාටත් වඩා කාලගුණික, දේශගුණික, පාරිසරික වශයෙන් සිදු විය හැකි ආපදා තත්ත්වයන් දෙගුණ, තෙගුණ වන්නට පුළුවන. කෙසේ වෙතත් ග්‍රහණයක් සිදු වීමට දින තුනකට පෙරත් සිදු වී දින තුනක් පසුවන තුරුත් විශ්වයේ විසමතා මතු වන බව ඡ්‍යොතිෂ ආචාර්ය මතයයි.

ඒ අනුව රට පුරා ගිගුරුම් සහිත තද වැසි, නාය යාම්, සුළං ආපදා , සුනාමි තත්ත්වයක් නැතත් සයුර වියරු වීම් නිසා ධීවර, බෝට්ටු, යාත්‍රාවලට දැඩි හානි සිදු වීමටද පුළුවන. ජල ගැලීම් නිසා ගම්බිම්වල වෙසෙන ජනතාවට පීඩා මෙන්ම ජීවිත හානිද සිදු විය හැකිය. මේ අනුව ගම්බිම්වල වෙසෙන විපතට පත් වූවන්ට සහන සැලසීමේදී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට, ගුවන් හමුදාවට, නාවික හමුදාවට වෙසෙසින්ම කාර්ය බහුල කාලයක් වනු ඇත. රජයටද ඒ වෙනුවෙන් විශාල කැපවීමක් වියදමක් දැරීමට සිදු වෙයි. සමාජ සංස්ථාව තුළ බිඳ වැටීම් නිසා එකිනෙකා අතර අසමගිතා, වියවුල් මානසිකත්වයක් හා අඬදබර සිදු වීමේ තත්ත්වයක්ද පෙන්වයි. රෝග පැතිරීම අතින් බෝවන රෝග පැතිරීමටද පුළුවන. ඒ අතර, මැලේරියාව , ඩෙංගු හා වයිරස් රෝග මේ අතර මුල් තැනක් ගැනීමට පුළුවන. රෝහල් ආශි‍්‍රත කටයුතුවලදී වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍යය කාර්ය මණ්ඩලවලට වැඩ වැඩි වනු ඇත. බොහෝ විට විවාහ දෙදරායාම් මනුෂ්‍ය ඝාතන, ළමා කාන්තා අපචාර හා වෙනත් අපරාධ මේ අතර, සිදු වන්නට පුළුවන. සුළි සුළං තත්ත්වයක් නොවුවද , ධාරානිපාත වර්ෂාව නිසා උතුරු – උතුරු මැද– මධ්‍යම පළාත් ආශි‍්‍රත ජල වේල්ලකට ආපදා සිදු වීමේ තත්ත්වයක්ද පෙනෙන්නට ඇත.

ඒ කෙසේ වෙතත් මේ ආපදා තත්ත්වයන් සමනය වීමත් සමඟ “වැස්සක් වැටී පෑවුවාසේ” යන මතය සනාථ කරමින් රටේ කෘෂිකර්මාන්තයේ දියුණුවත් ගොවි ජනපදවල ජලය නිසි ලෙස ලැබීමත් නිසා සරු සාරවත් වගාවක් ජලය, විදුලි බලාගාර ආශි‍්‍රත ජලවිදුලිය, නිසි ලෙස කළමනාකරණය කර ගැනීමට හැකි වීමෙන් ඉදිරියේදී විදුලි බිලේ අඩුවීමක් අපේක්ෂා කළ හැකිය. මේ ආපදා තත්ත්වය නිසා දෙස් – විදෙස් මට්ටමින් අප රටට ලැබෙන ආධාර, උපකාර නිසා ඒවා පොදු කටයුතුවලට යොදා ගැනීමට හැකි වීමෙන් ජනතාවට යහපත් කාලයක් උදා වනු ඇත. මේ සියල්ල චන්ද්‍රග්‍රහණ තත්ත්වය පහව යාමෙන් පසු සිදු වනු ඇත. ජනතාව අතර සමගිය, සාමය, දේශපාලනික හා ජාතික, ආගමික වශයෙන් පිල් නොබෙදී යහපත් ජන සමාජමය එකමුතුකමට එක දේශපාලනික ධාරාවකට පිවිස කටයුතු කිරීම නිසා පවතින රජයට එය මහත් අස්වැසිල්ලක් වනු ඇත.

 

 

සුබසෙත හිටපු කර්තෘ,

ප්‍රවීණ ජ්‍යෝතිෂවේදී

අජිත් ධර්මසිරි

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.