වර්ෂ 2024 ක්වූ November 29 වැනිදා Friday
ඡ්‍යොතිෂ ශාස්ත්‍රයේ තුන්කල් දුටු බලංගොඩ ආනන්ද මෛත්‍රෙය නාහිමි
වසර 1869 අගෝස්තු මස 24 වැනි දා බලංගොඩ කිරිඳිගල කුඩා ගම්මානයට විශේෂ වූ දිනයක් විය. එහි දිවි ගෙවූ මද්දුමහාමි හෙවත් නාරංගොඩ ආරච්චිගේ මෙතියස් අප්පුහාමි සහ බෙන්තර ආරච්චිගේ හීන්මැණිකේ දම්පතීන්ට දාව පින්වත් කුල කුමරුවකු මෙලොව එළිය දුටුවේය.
මේ පින්වත් බිලිඳා උපදින මොහොතේ නැඟෙනහිර අහස් සිතියමේ උදාව පැවැතියේ වෘෂභ රාශියයි. කුලුදුල් පුතුගේ උපත පිළිබඳ තතු විමසා වේලාපත්කඩය සාදා ගැනුමට මද්දුමහාමි මුදලාලි මහතා දිව ගියේ එම ප්‍රදේශයේ දක්ෂතම නක්ෂත්‍රකරුවා වූ පණ්ඩිත සේකරයන් වෙතයි. වේලාපත්කඩය අනුව මේ දරුවාගේ ගුරු ආත්මකාරක ස්වක්ෂේත්‍ර රවි සමඟ සිංහ රාශි ගතව සිටීමද එහිම කේතු රැඳී සිටීමත් ශනි හය වැන්නේ යෙදීමත් යනාදී ග්‍රහබලය අනුව අධ්‍යාත්මික අවබෝධය ලබා ගැනීම, පූජනීයත්වයට පත්වීමේ මහා බලයක් මේ දරුවාට පිහිටා තිබුණි. පණ්ඩිතසේකර ඡ්‍යොතිෂවේදියා පුස්කොළයේ කේන්ද්‍රය ලියා සාදා පැවැසූ අනාවැකි කිහිපය නිසාම මද්දුමහාමි මුදලාලි මහතාගේ සිත සතුටු වීමට හේතු කාරණා විය.
“මේ උපන් වේලාවේ හැටියට මේ කේන්දරය හිමි දරුවා ගිහි ජීවිතයේ හිටියොත් කවදා හරි නීතිඥයකු හෝ නඩුකාරවරයකු වෙනවා. නමුත් මේ දරුවාට ගිහිගෙය හැරයාමේ බරපතළ පැවිදි යෝගයකුත් පවතිනවා. පැවිදි වුවහොත් මහා දැන උගත් හාමුදුරුනමක් වෙනවා. රටට ලෝකයට ඵලදායි සේවයක් කරන රටේ ප්‍රසිද්ධියට පත්වන පුද්ගලයකු වනවා.” මේ නක්ෂත්‍රකරුවා පැවැසු අනාවැකිය සත්‍යයක් බවට පත්වන්නේ, මේ දරුවා බලංගොඩ ආනන්ද මෛත්‍රෙය නමින් පැවිදි දිවියට එක්වීමත් සමඟය. පසුකලෙක උන්වහන්සේ තුළ පැවැති අසීමිත ශීලවන්ත බව සහ පින් මහිමය නිසාම ලෝකවාසී සෑම බෞද්ධයකුගේම වන්දනාවට පූජෝපහාරයට පාත්‍ර වූහ.
අධ්‍යාපනය
බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය හිමියන්ගේ ළමාවිය පිළිබඳ කතා කරත්දී, තමා ඉපදී දින 14කින් තම මව මිය ගිය බවත් තමන් හැදී වැඩුණේ මවගේ වැඩිමහල් සොහොයුරිය ළඟ බවත් මවගේ අභාවයෙන් පසුව තම පියා ද තමාව වැඩිමහල් සොහොයුරාට සහ සොහොයුරියට භාරදී වෙනත් ගමකට ගොස් සිය ව්‍යාපාර කටයුතු සිදු කළ බවත් උන්වහන්සේ පසුකලෙක පුවත්පතකට ප්‍රකාශ කර තිබිණ. ඒ අනුව, ‘‘වයස අවුරුදු හය වන විට මා ළඟම තිබෙන කතෝලික පාසලට යැව්වා. ‘වොලින්’ කියන පූජකතුමාගෙන් ඉගෙන ගත්තා. ඉන්පසුව මගේ තාත්තාගේ තුඹගොඩ තිබුණ වෙළෙඳසළේ නැවැතී බලන්ගොඩ රජයේ කුමාර විද්‍යාලයට ගියා. ඒ වෙළෙඳ හලේ ආතා කෙනෙක් හිටියා. කඩුපිටි මාදම්පේ හේරත් මුදියන්සේලාගේ බණ්ඩප්පුහාමි කියලා. ඔහු නිසා දහමට යොමුවෙන්න මට හැකි වුණා. නිතර සිල් ගන්න. පන්සලට යන්න එහෙම. මේ ආභාසය නිසාම පසු කලෙක බ්‍රහ්මචාරි වන අදහස මට ඇති වුණා. එයට තව දෙයක් බලපෑවා. ඒ එවකට රටේ පැවැති සමාජ, දේශපාලනික වාතාවරණය, වලිසිංහ හරිශ්චන්ද්‍ර, අනගාරික ධර්මපාලතුමා වැනි අයගේ දේශනා මට අහන්නට ලැබුණා. ඒ අනුව මට සිත් දුන්නා බුදුදහම දියුණූු කරන්න නම් පැවිදි විය යුතුයි යන්න. ඒ අනුව ගෙදරින් යම් යම් විරෝධතා නැඟුණත් පසුව ඔවුන්ගේ කැමැත්ත මත මම පැවිදි දිවියට ඇතුළත් වෙනවා.” උන්වහන්සේ තම ළමා වියත්, අධ්‍යාපනයත් පැවිදි වීමත් එලෙස ගෙන හැර දක්වති.
පැවිදි දිවිය
1911 මාර්තු මස 02 වැනි දා උඩුමුල්ලේ ශ්‍රී නන්දාරාමයේ දී විනයාචාර්ය අතිපූජ්‍ය සෙනිහේනේ සීලානන්ද නාහිමියන් යටතේ බලංගොඩ ආනන්ද මෛත්‍රෙය නමින් පැවිදි දිවියට පත් වූ උන්වහන්සේ 1910 දී බලංගොඩ ඕලුගල උදකුඛේප සීමාමාලකයේ දී උපසම්පදාව ලැබූහ. ඒතැන් පටන් උන්වහන්සේ මෙරට ශාසනයට මෙන්ම සමාජ, සංස්කෘතියට සිදු කළ සේවය අපමණය.
සංස්කෘත, ඉංගී‍්‍රසි, සිංහල, පාලි, භාෂාවන් පිළිබඳ හසළ දැනුමක් මේ කාලසීමාවේදී උන්වහන්සේ වෙත ලැබිණි. අනතුරුව 1920 වසරේ මුල් භාගයේදී පමණ උන්වහන්සේ කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත් වන්නේ භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් එහි ආරම්භ වූ පන්තියට සහභාගි වීමටය.
එහිදී ඉතා උසස් ලෙස තම ඉංගී‍්‍රසි දැනුම විදහා දැක්වූ ආනන්ද මෛත්‍රෙය හිමියන්ගේ මූලිකත්වයෙන් ආනන්ද විද්‍යාලයේ දරුවනට සංස්කෘත භාෂාව ඉගැන්වීම අරඹන ලදී. ඉන්දියාවෙන් ගෙන්වා ගත් සංස්කෘත හා ඉංගී‍්‍රසි පත පොත ඇසුරින් උන්වහන්සේ මෙලෙස තම ඉගැන්වීම් කටයුතු සිදු කළහ. මෙකල උන්වහන්සේ සංස්කෘතය හා බැඳුණු ඡ්‍යොතිෂය විෂය කෙරෙහි ද මහත් උනන්දුවක් දැක්වූහ. කොළඹ ආනන්දයේ උගන්වන සමයේ නාලන්දා විද්‍යලයත් ඊට සමගාමීව ආරම්භ කිරීමේ කටයුතු සූදානම්ව පැවැතිණි. ඒ සඳහා ඍජුව මැදිහත්වීමට ආනන්ද මෛත්‍රෙය නාහිමියන්ට අවකාශ ලැබුණි. ඒ අනුව සුබ ගණ පිහිටුවමින් ‘නාලන්දා’ යන නම එම විදුලහට ලබාදීමත් එහි ප්‍රමුඛ අවවාද පාඨය වූ “අපදාන සෝභිනි පඤ්ඤා” යන පාඨය ලියැවුණේද උන්වහන්සේගේ උතුම් වූ සුරතිනි. ආනන්ද මෛත්‍රෙය නාහිමියන්ගේ ඡ්‍යොතිෂ ශාස්ත්‍රීය දැනුම තවදුරටත් පුළුල් වන්නේ භාරතීය යෝගීන් සමඟ තමා ගත කළ සමයේ බව උන්වහන්සේගේ අදහසයි. ගුප්ත විද්‍යා බලය, ක්‍රිෂ්ණ මූර්ති ඡ්‍යොතිෂ ශාස්ත්‍රය, ශ්‍රීපති ඡ්‍යොතිෂ සිද්ධාන්තය, නාඩි වාක්‍ය වැනි විශේෂ ඡ්‍යොතිෂ සිද්ධාන්තයන් පිළිබඳ උන්වහන්සේ මෙහිදී වඩාත් ගැඹුරට පර්යේෂණ කරමින් ක්‍රිෂ්ණ මූර්ති පඬිතුමා, ඊ.ඩබ්ලිව්.අදිකාරම්තුමා වැනි උගතුන් හා සමීපව ඇසුරු කරමිනි. උන්වහන්සේ ඡ්‍යොතිෂ ශාස්ත්‍රයේ විවිධ පැතිකඩ පිළිබඳ ඥාණනීය ගවේෂණ ද සිදු කොට තිබේ. ඉන්දියාවේ සිටි බලසම්පන්න යෝගියකු වූ රමණ මහර්ෂි පිළිබඳ උන්වහන්සේ බොහෝ කරුණු ප්‍රකාශයට පත් කර ඇත.
1968 වසරේදී බරණැස ඉසිපතනයේ විහාරාධිපති ලෙස ඉන්දියාවට වැඩම කළ ආනන්ද මෛත්‍රෙය හිමියන් ඉන්දියාවේ විවිධ ප්‍රදේශවල සංචාරය කරත්දී ඡ්‍යොතිෂයේ තවත් පැතිකඩක් වන නාඩි වාක්‍ය පිළිබඳ තොරතුරු ද මුල්වරට ශ්‍රී ලාංකිකයන්ට හෙළිකරන ලදී. නාඩි වාක්‍ය යනු කාකභුජන්ධර, නන්දිකේශ්වර, කමලමුනි, විශ්වාමිත්‍ර, වාශිෂ්ට වැනි ඍෂිවරු සිය අනාගතය දැකීමේ ඥානයෙන් විටින් විට ලොව පහළ වන මහා පුරුෂයන් පිළිබඳ තොරතුරු ලියා තැබූ සටහන් බව ආනන්ද මෛත්‍රෙය නාහිමියන් පැහැදිලි කර තිබුණි. මේ නාඩි වාක්‍ය ඔස්සේ මහ නාහිමියෝ ද තමාගේ ජීවිතයේ බොහෝ තොරතුරු කල් තියා දැන ගත්හ. ඉන් සමාජයේ ප්‍රචලිතව ඇති අනාවැකියක් වන්නේ ආනන්ද මෛත්‍රෙය නාහිමියන් හා ජේ. ක්‍රිෂ්ණමූර්ති පඬිතුමා සහ ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම්තුමා පෙර ජන්මයක දී සහෝදරයන්ව සිටි බවයි. මේ නාඩි වාක්‍ය මඟින් බුදුන් වහන්සේගේ ද සුවිශේෂි කාරණා එළිදරව් වී ඇති බව ආනන්ද මෛත්‍රෙය නාහිමියන් පවසා තිබේ. උන්වහන්සේ “අරුම පුදුම නාඩි වාක්‍ය” නමින් ලිපි පෙළක් රචනා කරමින් මේ බව හෙළිදරව් කර තිබේ.
“ආනන්ද මෛත්‍රෙය නාහිමියෝ පෙරදිග ශාස්ත්‍රඥානයේ පිළිබිඹුවකි. පෙරදිග ඥානයේ අංග වූ ඡ්‍යොතිෂයද නක්ෂත්‍රයද, භූත විද්‍යාවද, මෝහන විද්‍යාවද, යෝග ක්‍රමද, ආයුර්වේද විද්‍යාවද, පේ‍්‍රත විද්‍යාද, මළවුන් පිළිබඳ විද්‍යාව ද උන්වහන්සේ දැන සිටියහ. ඒ සැම විෂයයක් පිළිබඳ තමන් සතු විශේෂඥ දැනුම් සම්භාරය ප්‍රායෝගික අත්දැකීම් ද සහිතව ගෙන හැර පෑමට උන්වහන්සේ පසුබට නොවූහ. මේවා පිළිබඳ උන්වහන්සේ බොහෝ අවස්ථාවල තම අදහස් පවසා සිටියහ.
උන්වහන්සේ වරක් මෙලෙස පවසා තිබේ.
“මං ආනන්ද විද්‍යාලයේ උගන්වන සමයේ දී එක දරුවෙක් සිගරැට් එකක් බීලා. ඒ ශිෂ්‍යයාට මම දඬුවම් කළා. ඒ දරුවා මට හොර ගණයා, තට්ටයා කියලා බණින බව ආරංචි වුණා. පස්සේ මම අත්හදා බලන්නත් එක්ක ඒ ළමයාගේ පක්ෂියා මර අවස්ථාවේ රූපෙ ඇඳලා කටුවකින් ඇන්නා. අනේ ඒ ළමයා ඒ වෙලාවේදිම කෝච්චියෙන් වැටිලා අතක් තුවාල වෙලා තිබුණා.
ඇත්තටම මේ ශාස්ත්‍රයෙන් හොඳට වගේම නරකට වැඩ ගන්න පුළුවන් වටිනා ශාස්ත්‍රයක්.
මං කළ වැඩේ ගැන මා කම්පා වෙනවා. ඊට පස්සේ කවදාවත් මම ඒවා අත්හදා බලන්න ගියේ නැහැ”
භාව කේන්දර ක්‍රමයේ තවත් එක් සිද්ධාන්තයක් වන ශ්‍රීපති සිද්ධාන්තය පිළිබඳ මහා දැනුමක් බලංගොඩ ආනන්ද මෛත්‍රෙය හිමියන් සතුවිය. උන්වහන්සේ මේ පිළිබඳ පර්යේෂණ සිදු කළහ. එහි වටිනාකම ඡ්‍යොතිෂවේදයට ගෙන එන්නට උන්වහන්සේ නොතිත් උත්සාහයක යෙදුණහ.
තවද ආනන්ද මෛත්‍රෙය නාහිමියන් තමාට ළඟම හිතවත් වූ ප්‍රභූන්ගේද හඳහන් පරීක්ෂා කොට පලාපල කථනය කර තිබේ. ඡ්‍යොතිෂ ශාස්ත්‍රයට නව මුහුණුවරක් ගෙන ඒමට ආනන්ද මෛත්‍රෙය නාහිමියන් කටයුතු කළ බව පැවැසුවහොත් එය නිවැරැදිය.
ඡ්‍යොතිෂය යනු දැනුම නම් මහා සාගරයෙන් එක් දිය බිඳුවක් පමණක් බව ලොවට පසක් කළ ආනන්ද මෛත්‍රෙය සංඝරාජ මහෝත්තමයාණන් වහන්සේ වසර 102කට ආසන්න කාලයක් ආයු වලදා දැයෙන් සමුගත්ත ද උන්වහන්සේ හඳුන්වාදුන් ඡ්‍යොතිෂ සිද්ධාන්ත ඡ්‍යොතිෂයේ උන්නතිය උදෙසා හේතු වී ඇත.
තුෂාරි නේරංජා වික්‍රමසිංහ