විසා නැකත වෙසක් පොහොය සහ සම්බුදු තෙමඟුල

මැයි 24, 2024

ලොව අන්තර්ජාතික සම්මත වර්ෂ වන ක්‍රිස්තු වර්ෂ ප්‍රමාණයෙන් මේ 2024 වර්ෂයේ වෙසක් මස පුර පසළොස්වක පොහොය මැයි මස 22 වැනි බදාදා දින ඔරලෝසු වේලාවෙන් සවස 06.46 සිට 23 වනදා බ්‍රහස්පතින්දා දින සවස 07.20 දක්වා පවතී. මේ කාලය පැය 24 විනාඩි 30කි. සිංහල හැට පැය ක්‍රමයට අනුව එම කාලය පැය 61 විනාඩි 15ක කාලයකි.

22 වැනිදා බදාදා දින උදේ 07 පසුවී විනාඩි 47ට පූර්ණ චන්ද්‍රයා ගමන් කරන සා නැකත ගෙවී විසා නැකත ලබයි. විසා නැකැත ගෙවෙන්නේ 23 වනදා බ්‍රහස්පතින්දා දින උදේ, 9.00 පසුවී විනාඩි 14ටය. එවිට විසා නැකැතේ මුළු කාලය පැය 25 විනාඩි 27කි. විසා නැකැත උදාවන්නේ 22 දින උදේ 07.47ට බැවින්ද වෙසක් පුර පසළොස්වක උදාවන්නේ සවස 06.46ට බැවින්ද, විසා නැකත උදාවී පැය 10 විනාඩි 59කට පසු වෙසක්පුර පසළොස්වක පොහොය ලබයි. එවිට වෙසක් පුර පසළොස්වක පොහොය උදාවන්නේ විසා නැකැත පවතින විටදීය. විසා නැකැතේ නාමය අනුගත වී වෙසක් යනුවෙන් එම චන්ද්‍ර මාසය නම් වී ඇති බව ඉන් පැහැදිලිය. විසා යනු නැකත් පන්තියේ 16 වැනි නැකත වේ. එහි හැඩය තොරණක ස්වරූපය ගනී. මේ නැකැතේ ඉන්දියානු නම ඍඪඵචඬඩච වේ. තාරකා විද්‍යා නාමය ඹ්ඪඡපච ලෙස නම් කර ඇත.

සෑම වෙසක් පොහොයක්ම උදාවන්නේ විසා නැකතිනි. එය වෙනස් නොවන සිද්ධාන්තයකි. කලියුග වර්ෂ 2478 වෙසක් මස පුර පසළොස්වක තිථිය ලත් කුජ දින (ක්‍රිස්තු පූර්ව 623 වැන්නෙහි) මධ්‍යාහ්නයේ කටක ලග්නය පවතිද්දී සිංහල පැය ක්‍රමයට පහළොස්වන පැයට ලම්බකව දඹදිව කපිලවස්තු පුර ලුම්බිණි නම් සල් උයනේදී සල් ගසක් යට අසිරිමත් දරු උපතක් සිදු විය. ඒ එසේ මෙසේ කෙනෙකු නොවේ. සුමේධ තාපස කාලයේ සිට තමාගේ සැපය සඳහා නොව පරහිතකාමීව ලෝකවාසී ජනයාගේ යහපත සැනසීම සැපත සදා දෙන පරම පිවිතුරු අධිෂ්ඨානයෙන් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා තම අදහස මුදුන් පමුණුවාගෙන දෙවියන් බඹුන් සහිත තුන් ලොවේ සැමටද ලෝකවාසී සත්ත්වයාට ද සුවය, අර්ථ සිද්ධිය හිතානුකම්පාව වැඩ පිණිස මෙතෙක් ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම, උත්තම මනුෂ්‍ය රාජ කුමාරයකු ලෙස මේ මහ පොළව මත බිහි විය. ඒ මහාමායා දේවියගේ හා සුද්ධෝදන මහ රජතුමාගේ පුත් කුමරු වන සිද්ධාර්ථ කුමරුන්ය. එදින මිහිකත සැනසිල්ලෙන් සිටි දවසකි. කුමරුගේ උත්පත්තිය සිදුවන විටම නෙළුම් මල් හතක් පුබුදුවා මිහිකත විසින් හෘදයාංගමව කුමරු පිළිගත්තාය. එම නෙළුම් මල් හත මත කුමරු පියවර හතක් තබා ඉදිරියට ගොස්

“අග්ගෝ හමස්මි ලෝකස්ස

ජෙට්ඨෝ හමස්මි ලෝකස්ස

සෙට්ඨෝ හමස්මි ලෝකස්ස

අයමන්ති මා ජාති නත්ථිදානි පුනබ්භවෝච” “මම ලොවට අග්‍ර වෙමි. මම ලොවට ජ්‍යෙෂ්ඨ වෙමි. මම ලොවට ශ්‍රේෂ්ඨ වෙමි. මේ මාගේ අන්තිම ඉපදීමය. නැවත ඉපදීමක් නැත.” යනුවෙන් අභීතව සිංහ නාද පැවැත්වීය. මේ උතුම් කුමරු උපත ලද මොහොතේ “විසා නැකත” පැවති අතර එදින වෙසක් පුර පසළොස්වක පොහොය දිනයක් බව කවුරුත් සරලව දන්නා කරුණකි.

ඇලීමේ ස්වභාවයෙන් තොරව සියල්ල අත්හැර දැමීමට හැකි තත්ත්වයට කෙනෙකුට පත්විය හැකි නම් එම පුද්ගලයාට පාරිශුද්ධ කෙනෙකු විය හැකි බව වයස අවුරුදු 29 වන විට සිදුහත් කුමරුට තදින් අවබෝධ වී තිබිණි. සත්වයාගේ පැවැත්ම හෙවත් ජීවත්වීම විවිධ වූ දුක් සහිත බවත් දුක නැති කිරීමට මඟක් තිබිය යුතු බවත් තදින් වටහාගෙන, ඒ මඟ සොයා ගැනීමේ පරම පවිත්‍ර වූ අපේක්ෂාවෙන් වයස අවුරුදු 29දී එනම් ක්‍රිස්තු පූර්ව 594 දී එතුමාණෝ ගිහි ගෙයින් නික්මුණාහ.

නිශ්කාමී සැහැල්ලු පැවිදි ජීවිතයක් ගෙවීම මඟින් සංසාරික අභියෝග ජය ගැනීමට පහසු විය හැකිය යන්න කුමරුට අවබෝධ විය. ඒ අනුව පැවිදි දිවියට ඇතුළත් වූ සිදුහත් කුමරු වසර හයක කාලයක් සිය කය කටුක ලෙස වෙහෙසමින්, සිත විවිධ ලෙස මෙහෙයවමින් පර්යේෂණ කරමින් ඉතා ගැඹුරින් කරුණු අධ්‍යයනය කළේය. හේතුව හා ඵලය සෙවීය. “වසර හයක් දුෂ්කර ක්‍රියා කළ සේක” යනුවෙන් හඳුන්වන්නේ එම පර්යේෂණ කාලයයි. එම කාලයේදී බුද්ධත්වය යනු විශ්වයේ පවතින ඉතාම ප්‍රබල උසස්ම මානසික දැනුමය යන්න සිදුහත් තවුසාණන්ට අවබෝධ විය. උරුවෙල් ජනපදයේ නේරංජනා ගං තෙර ගයා බිම් තීරයේ වූ ඇසතු බෝ රුක මුල සොත්ථිය බමුණා විසින් පිළිගැන්වූ වජිර තණ හෙවත් කුසතණ මිට අට එළා සකසා ගත් වජ්‍රාසනය මත වැඩහිඳ තම අභිමතාර්ථය ජයග්‍රහණය කරමින් ක්‍රිස්තු පූර්ව 588 හෙවත් කලියුග වර්ෂ 2513 වෙසක් මස පුර පසළොස්වක තිථිය ලත් බුධ දින අලුයම් කාලයේදි සියල්ල දත් නුවණින් යුතුව (සර්වඥතා ඥානය) කෙලෙසුන් නසා බුද්ධත්වය ලද සේක. එවිට උන්වහන්සේට වයස අවුරුදු 35ක් විය. එදින බුද්ධත්වය ලබන මොහොතේද වෙසක් පුර පසළොස්වක තිථිය සමඟ “විසා නැකත” පැවතිණ.

එදින ලොවට නව දර්ශනයක් බිහි වූ දවසකි. ලෝකවාසී සියලුම සත්ත්වයන් ඉදිරියට ඇදගෙන යන කෙලෙස් නැමති ශක්ති ප්‍රවාහය සදහටම නිවාලනු ලබන සත්‍යය සොයා ගත් දවසයි. සිද්ධාර්ථ තවුසාණෝ බුද්ධත්වය ලබාගත් ඒ අසිරිමත් මොහොත වනාහී මේ මුළු මහත් ලෝකවාසී සත්ත්වයන්ටම පමණක් නොව මුළු විශ්වයටම සැනසීමක් ලබා ගැනීම සඳහා එතෙක් මෙතෙක් ලැබුවා වූ අගනාම ශ්‍රේෂ්ඨතම ශුභ මුහුර්තයයි. එය මුළු විශ්වයටම බුද්ධිය උදාකර දෙනු ලැබුවාවූ අගනාම ශ්‍රේෂ්ඨතම ශුභ මුහුර්ථයයි.

මෙහි ශක්තිය තුන්ලෝකයේම කිසිවෙක් කිසිවක් සමඟ ආකර්ෂණය නොවන චෛතසික තත්ත්වයක් හදා ගැනීම නිසා මතු වූ ප්‍රබල චිත්ත ශක්තියකි. කිසිවක් හා නොබැඳුණු සිත සියලු බැමිවලින් නිදහස් වී අසීමිතව උච්චස්ථානයට පත්ව ක්‍රියාත්මක වේ. එය මුළු මහත් තුන් ලෝකය පිළිබඳව වැටහීමක් ලබන අවස්ථාව වෙයි. එම බුද්ධි ශක්තියට හසුකර ගැනීමට නොහැකිවන දෙයක් මේ ලෝක ධාතුවේම නොමැති නිසා එය සම්මා සම්බුද්ධිය යනුවෙන් හඳුන්වනු ලබයි.

සංසාරයේ, අනන්ත අප්‍රමාණ කැප කිරීමකින් යුතුව දැඩි වෙහෙසක් දරා ලබාගත් එම සම්මා සම්බුද්ධිය ලැබීමේ සතුට හේතුකොට ගෙන සිතේ ඇතිවන පී‍්‍රතිය නිසා උන්වහන්සේගෙන් නිරායාසයෙන්ම උදාන වාක්‍යයක් පිටවිය. තමාගේ අභිමතාර්ථය ඉටුවීම නිමිත්තෙන් මෙතෙක් ලොව යම් දාර්ශනිකයෙක් උදාන වාක්‍යයක් ප්‍රකාශ කර ඇද්ද? ඒ කර තිබෙන සියලුම උදාන වාක්‍යයන් අතුරෙන් මහා උදාර වූ උදානය ගෞතම බුදු හිමියන්ගේ ශ්‍රී මුඛයෙන් පිටවූ ඒ උදානයයි.

“අනේක ජාති සංසාරං – සන්ධා විස්සං අනිබ්බිසං

ගහකාරකං ගවේසන්තෝ – දුක්ඛා ජාති පුනප්පුනං

ගහගාරක දිට්ඨෝසී – පුනගෙහං න කාහසි

සබ්බා තේ ඵාසුකා භග්ගා – ගහ කූටං විසංකිතං

විසංකාරං ගතං චිත්තං - තන්හානං භය මජ්ජගාථි”

‘සංසාරයේ නැවත නැවත ඉපදීම දුකකි. මේ පංචස්කන්ධ නමැති ගෙය තනන වඩුවා නොදැකීම නිසා ඔහු සොයමින් මම මෙතෙක් කල් සසර සැරි සැරීමි, තණ්හා වඩුව, මම තොප දිටිමි. තොප ගෙය මම නැවත නොසා දන්නෙහිය. තොප ගෙයි කෙලෙස් පරාල හා අවිද්‍යා කැණි මඬල කඩා විසුරුවන ලදිමි. මගේ සිත නිවීමට පත්විය. තණ්හාව මුළුමනින්ම ක්ෂය විය.’ එම උදාන වාක්‍යය අර්ථය එයයි.

එතැන් පටන් වසර 44ක කාලයක් බුදු හිමියෝ ලොවට කළ සේවය අනන්තය, අප්‍රමාණය. දෙවියන්, බඹුන් සහිත වූ තුන් ලොවටම උන්වහන්සේ යහපත සැලසූ සේක. වෙනත් කිසිම කෙනෙකුට එවන් යහපත් වූ සමාජ මෙහෙවරක් කවර ආකාරයෙන්වත් මෙතෙක් ඉටු කළ නොහැකි විය. තමන් වහන්සේ ඉටුකළ යුතු යුතුකම් සියල්ල අදාළ අයට නොපිහෙලා ඉටු කළ සේක. ලෝකවාසී සත්ත්වයාට පෙන්වා දුන් එම දර්ශනය, අංග සම්පූර්ණය, අකාලිකය.

ගෞතම බුදු හිමිගේ මේ උතුම් දර්ශනය ලෝකවාසී ජනතාවගේ හිත සුව පිණිස ඉදිරියට පවත්වාගෙන යාමට සත්‍ය අවබෝධ කරගත් සංඝ පරම්පරාවක් ක්‍රමානුකූලව සංවිධානාත්මකව විනයානුකූලව ඇති කළහ. කලියුග වර්ෂ 2557 හෙවත් ක්‍රිස්තු පූර්ව 544 වැන්නෙහි වෙසක් මස පුර පසළොස්වක තිථිය ලත් දින හෙවත් වෙසක් පොහොය දින කුසිනාරා නුවර මල්ල රජ දරුවන්ගේ උපවත්තන නම් සල් උයනේ සල් ගස් දෙකක් යට පනවන ලද අසුනක් මත සැතපෙමින් සිට සියල්ල අනිත්‍යය යන ධර්මතාවය ලොවට උදාහරණ සහිතව පෙන්වා දෙමින් උන්වහන්සේ පිරිනිවන් පෑ සේක. ඊට සුළු මොහොතකට පෙර

“නන්දදානී භික්කවේ – ආමන්තයාමි වෝ

වයධම්මා සංඛාරා – අප්පමාදෙන සම්පාදේථ”

‘මහණෙනි සියලු සංස්කාර ධර්මයෝ නැසෙන සුළු වෙති. නොපමාවම කුසල් දහම්හි යෙදෙන්න’ යනුවෙන් වදාළ සේක. ඒ උන්වහන්සේගේ අවසාන බුද්ධ වාක්‍යයි. එය උදාර වූ සත්‍ය ධාර්මික අවවාදයකි.

එදිනද එම අවස්ථාවේ විසා නැකතම පැවති අතර වෙසක් පුන් පොහෝ දිනයක්ම විය. බුදු හිමියන්ගේ ආයු කාලය චන්ද්‍ර වර්ෂ 79ක් වන අතර පිරිනිවන් පෑම සිදුවූයේ වසර 80 සපිරෙන දවසේය. එතැන් පටන් ලොව බෞද්ධ ජනතාව ශ්‍රී සම්බුද්ධ වර්ෂය නැමති වර්ෂ ක්‍රමය පවත්වාගෙන යනු ලබන අතර මෙවර අප සමරන්නේ 2568 වැනි සම්බුද්ධ වර්ෂයයි. ඉපදීම, බුදුවීම, පිරිනිවන්පෑම සිදුවූයේ එකම දිනයක් වන වෙසක් පුන් පොහොය දිනයේය. එමෙන්ම එම තෙමඟුල සිදුවූයේද එකම නැකත වන විසා නැකතිනි. උන්වහන්සේගේ උපත බුදුවීම හා පිරිනිවීම සිදුවූයේද ගස් සෙවණේදීය. නක්ෂත්‍රයේ සඳහන් වන අන්දමට ග්‍රහයන් අතරින් ඉතාම ශුභ ග්‍රහයා වන බ්‍රහස්පති හෙවත් ගුරු ග්‍රහයාට අයත් විසා නැකතත්, කෙනෙකුගේ චිත්ත ශක්තියට අධිපති සඳු ග්‍රහයා පූර්ණත්වයෙන් සපිරි පසළොස්වක පොහොය දිනයන් බුදු හිමියන්ගේ ජීවිතය හා ඉතාම තදින් බද්ධ වී තිබිණ. එවැනි අසිරිමත්වූ සිදුවීම් දාමයක් ලොව කිසිම මනුෂ්‍යයෙකුට උරුම නැත. ඒ අයුරින්ම එකම ක්‍රමයේ සිදුවීම් පෙළක් යම් මිනිසකුට යළි කවදා හෝ උදාවෙන්නේ නම් ඒ කලියුගයට ලොව පහළ වී තිලොවට තිලක වන මෛත්‍රි බුදු හිමියන්ට පමණකි.

ඡ්‍යොතිෂ විදුරවි

මාතලේ – නා උල

ටිකිරි බණ්ඩාර හේරත්

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.