වර්ෂ 2024 ක්වූ December 06 වැනිදා Friday
සෙනසුරු ඒරාෂ්ටකයේ බලපෑම පිළිබඳ
සෙනසුරු ඒරාෂ්ටකයේ දී ජන්ම හිමියාට අත්වන සුබ අසුබ තත්ත්වයන් පිළිබඳ සුබසෙතට ගල්ලෑල්ලේ සෝමා මහත්මිය එවූ ලිපියට ඡ්‍යොතිෂවේදීනි ගීතිකා සමරතුංග මහත්මිය සුබසෙතට ලබා දුන් පිළිතුරයි.
සෙනසුරු ඒරාෂ්ඨකය තුන් ආකාරයකට සිදු වේ.එනම් ලග්න ඒරාෂ්ටකය, ජන්ම ඒරාෂ්ඨකය, අෂ්ටම ඒරාෂ්ටකය යනුවෙනි. මේ තුනෙන් ජන්ම ඒරාෂ්ටකය බලවත් වන අතර ලග්න ඒරාෂ්ටකය ද සුබ අසුබ දෙකින්ම මිශ්‍ර වෙයි. අෂ්ටම ඒරාෂ්ටකය අසුබ පල උදාකර දෙයි.
ජන්ම ඒරාෂ්ටකය යනු චන්ද්‍රයා උත්පත්තියේදී සිටි රාශියට ශනි ග්‍රහයා (සෙනසුරු) පැමිණීමයි. ඒ පැමිණීමේදී චන්ද්‍රයා සිටි රාශියට 12 වැන්නට සෙනසුරු පැමිණි විට ජන්ම ඒරාෂ්ටකයේ මුල පටන් ගනියි. චන්ද්‍රයා තැන්පත් රාශියට සෙනසුරු පැමිණි විට ජන්ම ඒරාෂ්ටක කාලයේ මැද බලවත් කාලය වෙයි. චන්ද්‍රයා සිටි රාශියෙන් අග රාශියට පැමිණි විට ඒරාෂ්ටකයේ අවසාන වර්ෂ දෙකහමාර වේ. මේ රාශි තුන පසු කිරීමට සෙනසුරු ග්‍රහයාට වර්ෂ හතහමාරක් ගතවේ. මෙය තීරණය වනුයේ, ලග්න කේන්ද්‍රයේ චන්ද්‍රයා සිටින ස්ථානය අනුවයි.
ලග්න ඒරාෂ්ඨකය සෙනසුරු ලග්න කේන්ද්‍රයේ 12 වැන්නටත්, ලග්නයටත්, දෙවැන්නටත් පැමිණෙන කාලය වෙයි. එයද සාමාන්‍යයෙන් අවුරුදු හත හමාරකි. ජන්ම ඒරාෂ්ටකය තරම් මෙය සෑම විටම බලවත් නොවෙයි. සමහරවිට අධික අසුබ පල දෙන අතර සමහරවිට එපමණ අසුබ පල නොදෙයි.
අෂ්ටම ඒරාෂ්ටකය යනු කේන්දරයේ 8 වැන්නට සෙනසුරුගේ පැමිණීමයි. මෙහිදී සලකා බලනුයේ සෙනසුරු අටවැන්නේ සිටින අවුරුදු දෙකහමාරක කාලය පමණි. එතැනදී ඉතා බලවත් අශුභඵල ගෙන දෙයි.
චන්ද්‍රයා උපතින් අටවැන්නේ තැන්පත්ව සිටියහොත් ජන්ම හා අෂ්ටම ඒරාෂ්ටක දෙක එකවර යෙදේ. චන්ද්‍රයා ලග්නයේ සිටියහොත් ජන්ම ලග්න ඒරාෂ්ටක දෙක එක විට යෙදේ.
ජන්ම හා ලග්න ඒරාෂ්ටක දෙක එකට යෙදුණහොත් එම වර්ෂ හත හමාරක කාලය බලවත් අපල කාලයක් වෙයි. සාමාන්‍යයෙන් 12වැන්න හා 2 වැන්න ශනිට එතරම් සුබ නැති බැවිනි.
කටක ලග්නයෙන් උපන් අයෙකුගේ චන්ද්‍රයා ලග්නයේ නම් එම චන්ද්‍රයාට බලවත්ව කේන්ද්‍රගත වූයේද ශනි පමණක් නම් එම චන්ද්‍රයා පෙනුනේත් ශනිට පමණක් නම් එසේ යෙදෙන ඒරාෂ්ටකය සියලු අසුබ පල දීමේ ඉතාම බලවත් එක වෙයි. ඒ කාලයට චන්ද්‍රයාගේ මහ දශාව අතුරු දශාව පැමිණ තිබේ නම එය ඉතාම තදබල වෙයි. ශනිද රාශියේ හා අංශකයේ නම් තවත් බලවත් වෙයි.
කටක ලග්නයේ ඉපදී චන්ද්‍රයා ලග්නයෙ සිටීම සෙනසුරු ග්‍රහයා අටවැන්නේ ගමන් කිරීම නිසා ලග්න අෂ්ටමය හා ජන්ම අෂ්ටම යන ඒරාෂ්ටකතත්ත්වයන් දෙකටම මුහුණ දීමට සිදුවේ.
භාවයකදී නම් එතරම් තදබල අපල නොදෙයි.
ඡ්‍යොතිෂවේදිනී ගීතිකා සමරතුංග
-------------------
ස්ත්‍රී මර යෝග භංගවන අයුරු පිළිබඳ
කමල් රණවීර - රාගම
කර්තෘතුමියනි,
2024 ඔක්තෝබර් 04 වැනි දින සුබසෙත පත්‍රයේ පළවූ “පුරුෂ මර යෝග“ ගැන සඳහන් ලිපිය කියවා දැනුමක් ලැබුවෙමි.
“පුරුෂ කේන්ද්‍රයක ඇති ස්ත්‍රී මර යෝග“ භංග වන අයුරු සම්බන්ධවද අපව දැනුවත් කරන්නේ නම් බෙහෙවින්ම කෘතඥ වෙමි.
------------------------
රවි ග්‍රහයාගේ බලපෑම පිළිබඳව
කුමාරි - පුස්සැල්ල
කර්තෘතුමියනි,
ඉහත නම් සඳහන් වන මා හට රවි ග්‍රහයාගේ බලපෑමෙන් ජන්ම හිමියකුට මුහුණ දෙන්නට සිදුවන සුබ අසුබ තත්ත්වයන් පිළිබඳ ඡ්‍යොතිෂ සිද්ධාන්ත අනුව සුබසෙත පුවත්පත මගින් පිළිතුරක් බලාපොරොත්තු වෙමි.