ඔහු නම් ජීවමාන සුර දූතයෙක්...

ජනවාරි 18, 2019

සිය දැවැන්ත අසිපත් අමෝරාගෙන මහාසිද්ධ මහ රජතුමන් මරා දැමීමට ඉදිරියට ආ අමානුෂික ලුන්ඩා ගෝත්‍රිකයින් හට හර්ෂදේවයන් පෙනී ගියේ තමාගේ මග අවුරා ලන අඟුටුමිට්ටෙකු මෙනි. කුහුඹුවකු වැනි මේ ක්ෂුද්‍රජීවියා තනි අසිපත් පහරකින් විනාශ කළ හැකි යැයි ඔවුන් සිතුවා විය හැකිය. එහෙත් ලුන්ඩා වරුන්ගේ ඒ සිතුවිල්ල උඩු යටිකුරු වී වෙනස් වී යන්නට ගත වූයේ තත්පර ගණනක කාලයකි.

අසිපත් අමෝරාගෙන දැවැන්ත ලුන්ඩා යෝධයින් වේගයෙන් දිව ආවේ කැටයම් කරන ලද ගල් පඩිපෙළ මත සිටගෙන සිටි ස්වර්ණමය සන්නාහයකින් යුත් පුද්ගලයා, එනම් හෙළයේ මහ රජතුමන් කීතු කීතු කර කපා හෙළන්නටය. එහෙත් එයට වඩා හර්ෂදේවයන් ශීඝ්‍රතරව ක්‍රියා කළේය. ඉදිරියෙන්ම පැමිණි ලුන්ඩා ගෝත්‍රික සෙනෙවියාගේ අසිපත සමඟම දකුණත කපා හෙලූ හර්ෂදේවයන්, හිටි තැන ගුවනට පනිමින් එල්ල කළ කතිරාකාර අසිපත් පහරින්, කඳීන් වෙන් වුණු ලුන්ඩා සෙනෙවියාගේ හිස හඬ නඟමින් බිම ඇද වැටුණු අතර, හිස සුන් කවන්ධ සිරුර රුධිරය අහසට විදිමින් ඉදිරියට විසිවී බිම පෙරළී ගියේය. සිය නායක සෙනෙවියා බිම වැටෙනු දුටු අනෙක් ලුන්ඩා සෙබළුන් මෘගයන් ලෙසින් උගුරින් ගොර හඬ නඟමින් කඩා පැන්නේ මේ විනාශකාරී හෙළ අසිපත්ධාරියා තුරන් කරන්නටය. එහෙත් එය සිතනවාට වඩා බොහෝ අපහසු කාර්යයක් විය.

තමා දෙපසින් අවි අමෝරාගත් සෙබළුන් කඩා පනිත්ම හර්ෂදේවයන්, තමා අත වූ තියුණු අසිපත් යුගළය සුළි සුළඟක් ලෙස සිරුර වටා වට කිහිපයක් කරකැවූයේ ඇසිපිය ගසනා වේගයෙනි. අනාදිමත් කාලයක පටන් පැවත ආ බළන්ගොඩ වානේ වාත්තු කිරීමේ සම්ප්‍රදායෙන් පණ පොවා, කැටයම් කපා සකස් කර තිබූ ඒ පාරම්පරික ඉතිහාසගත අසිපත් යුගළය, පුරාණ ගෝරාවරයෙක් වූ හර්ෂදේවයන්ගේ මුත්තණුවන් වෙතින් හර්ෂදේව වෙත ලැබුණු පාරම්පරික දායාදයක් වීය. ප්‍රෞඪ බල මහිමයකින් යුතු ඒ පුරාණ අසිපත් යුගළය, හෙළ දෙරණට අභියෝග කරන්නට පැමිණි විජාතික සහ විදේශික සතුරන් සිය ගණනකගේ රුධිරයෙන් සේදී තිබුණේ වරක් දෙවරක් නොවේ. එය ලුන්ඩා ගෝත්‍රිකයන් සමඟ කෙරුණු මේ සටනට ද සර්ව සාධාරණ විය.

දෙපසින් කඩා පැන්න ලුන්ඩා යෝධයන් දස දොළොස් දෙනෙකුගේම දැවැන්ත අසිපත් සහිත හස්තයන්, වැළමිටි සහ මැණික් කටු අසලින් වෙන් වන්නට කැපී යද්දී, ගොදුරකට කුරුමානම ගන්නා කළු දිවියෙකුගේ ආකාරයක් ගත් හර්ෂදේවයන් ඊළඟ පහරවල් සියල්ල එල්ල කළේ සිය දැවැන්ත සතුරන්ගේ දෙපා වල සන්ධි ආශ්‍රිත බල නහර වලටය. මිනී කන ලුන්ඩා යෝධයින් ගණනාවකගේ දෙපා වල වළළුකර සහ කළවා සන්ධිවල බල නහර තියුණු අසිපත් තල වලින් වෙන් වන්නටම කපා හෙලූ හර්ෂදේවයන්, ඉන් පසුව හිටි තැනම වැර ගෙන ගුවනට පැන්නේ කවාකාරව ගුවනේ හරස් අතට කරකැවෙමිනි. තියුණු අසිපත් තල දෙකෙන් තම දැවැන්ත සතුරන්ගේ හිස් ගෙඩි කිහිපයක් ක්ෂණිකව කැපී හෙළ දෙරණ මත ඇද වැටෙද්දී, ඊළඟ ලුන්ඩා යෝධයාගේ ගෙලට පයක් තැබූ හර්ෂදේවයන් ඇසිපිය ගසන සැණින් සතුරාගේ හිස කපා හෙළමින් පිටුපස ගුවන් කරණමෙන් සුරක්‍ෂිතව පොළවට පැන්නේය. ඉන්පසුව ඉතා අලංකාර සටන් ඉරියව්වකට පත් වූ හර්ෂදේවයෝ, සුරතේ වූ රුධිරයෙන් නැහැවුණූ අසිපත, හරේරාගේ මුහුණ දෙසට දිගු කළේ “පුළුවන් නම් ඉදිරියට වර” යන්න නිහඬව කියාපාන්නාක් මෙනි. හර්ෂදේවයන්ගේ දිගු කෙස් කළඹ මුහුණ දෙපසින් ලාලිත්‍යවත්ව රැළි දෙමින් ගලා හැලුණේ, දෙවුර වසා පැවතියේය.

මේ මොහොතේ හර්ෂදේවයන් සිටියේ හොඳ සිහියෙන් නොවේ. අසිපත් කලාවේ පරතෙරට පැමිණ සිටි හර්ෂදේවයෝ, තමා හට ගෝරා පුහුණුව ලබාදුන් ප්‍රබල ගුරු කුලය යටතේ ඇදහූ අසිපත් කලාවේ යක්ෂ ගෝත්‍රික ආත්ම සමඟ සම්බන්ධ වී සිටියහ. ඔහුට පෙනී ගියේ සතුරන්ගේ රුධිරය පමණි. කපන්න කපන්න මුවහත් වන අසිපතක් මෙන්, මිය යන සතුරු සෙබළෙකු පාසා හර්ෂදේවයන්ගේ සිරුරට ආරූඪ වූ අමනුශ්‍ය ශක්තිය වර්ධනය වී ගොස් තිබුණි. එම නිසා තමා ඉදිරියට පිවිසෙන සතුරන් සංඛ්‍යාව හෝ සතුරාගේ ශරීර ප්‍රමාණය ඔහුට අදාළ වූයේම නැත. තමා හට මුහුණදීමට තරම් සතුරු සෙබළෙකු ඒ දක්වා ඔහුට මුණ ගැසී තිබුණේ ද නැත.

තම සෙබළුන් රාශියක් තනි මිනිසෙකු විසින් විසින් කපා හෙළනු දුටු හරේරා වහාම සංඥා කළේ ලුන්ඩා යෝධයින් හට පසු බසිනා ලෙසය. කුතුහලයෙන් යුතුව මිනී කන හමුදාව සෙල්මුවා පියගැට පෙළෙන් පසුපසට යද්දී, එම ගල් පඩිපෙළ අසල පෙති පෙති කැපී මියගියා වූද, මරණාසන්නව දඟලමින් සිටියා වූද දැවැන්ත ලුන්ඩා ගෝත්‍රික සිරුරු තිහකට වැඩි ප්‍රමාණයක් වීය.

තනි අසිපත්ධාරියෙකු එවන් වූ ශිල්පීය දක්ෂතාවයක් දක්වනු දුටු ජාගෙන් මවිත වීය. ඔහු තමා හා සටනේ යෙදී සිටි හෙළ සෙබළා නොමරා, ඔහුට පා පහරක් දී බිම හෙළා පසු බැස්සේය. ඉන් පසුව තමාගේ සෙබළුන් හට මුසු වූ ඔහු සිය තියුණූ දෙනෙතින් බලා සිටියේ හර්ෂදේවයන්ගේ හාස්කමක් වැනි හෙළ සටන් ශිල්පීය දක්ෂතාවයයි.

“ඔහු නම් ජීවමාන සුර දූතයෙක්... යක්ෂ සේනාවට තනිවම මුහුණදෙන මිහිබට දේව දූතයෙක්”

හර්ෂදේවයන් දෙස බලා සිටි ජාගෙන් නිහඬව තොළ මතුළේය. හෙළ අසිපත් කලාවේ එවන් වූ දක්ෂයින් සිටිතැයි ඔහු කිසිදාක අසා තිබුණේ හෝ නැත. සැබවින්ම හර්ෂදේවයන් යනු කවරෙක්ද? මුලින් තමාට විරුද්ධව පැමිණි අසිපත්ධාරීන් නව දෙනෙක් නිරායුධව මරා දැමුවා වූද, දැන් සිය තියුණූ අසිපත් යුගළය දෑතට ගෙන හුදෙකලාව තමා මෙන් දෙගුණයක් විශාල සතුරන් තිස් ගණනක් හුදෙකලාව නසා දැමුවා වූද, සිය මහ රජතුමන්ගේ ආරක්?ෂාව වෙනුවෙන් දිවි හිමියෙන් කැප වූද, මේ අසහාය පුරුෂයා නම් සැබවින්ම හෙළ දෙරණට පහළ වූ සම්පතක් යැයි ජාගෙන් හට සිතුනි.

මෙහිදී හර්ෂදේවයන් හට ද යම් කිසි වෙනසක් දැනී ගියේය. සතුරු සේනාව මධ්‍යයේ සිටි කිසියම් ප්‍රබල තැනැත්තෙකු තමා දෙස ඇසිපිය නොහෙළා බලා සිටිනු ඔහුට යාන්තමට දැනී ගියේ ඉවෙන් මෙනි. ඒ පුද්ගලයා කවරෙක් වුවද, ඔහු තමාට බෙහෙවින් හුරු පුරුදු තැනැත්තෙක් බවට හැඟීමක් හර්ෂදේව හට දැණුනි. දෙපක්ෂයේම සෙබළුන් එකිනෙකා සමඟ සටන් කරමින් සිටියදීම හර්ෂදේවයෝ තීක්ෂණ බැල්මෙන් එම සෙනඟ සිසාරා බැලීමේදී කාල වර්ණ සන්නාහයක් පැළඳ ගත්තා වූද, රන්වන් කේශ කලාපයකින් සැදුම් ලද්දා වූද, නිල්වන් තීක්ෂණ දෙනෙතකින් ද යුතු වූද, තියුණු අසිපත් යුගළයක් කතිරාකාරව පිටෙහි රඳවාගත් ප්‍රතාපවත් පුද්ගලයෙකු තමා දෙස බලා සිටිනු පෙනී ගියේය. ඔහු කවරෙක් වුවද, මෙහි සිටින අනෙක් සතුරන්ට වඩා වෙනස් පුද්ගලයෙකු බව හර්ෂදේවයන් හට වැටහී ගියේ කිසියම් සවැනි ඉන්ද්‍රියකින් මෙනි. රණකාමී වූද, ප්‍රබල වූද, සුන්දර මද හසක් ඒ සැණින් හර්ෂදේවයන්ගේ දෙතොලග ඇඳී යද්දි, ඔහු දෙස බලා සිටි බටහිර දිශාවේ ඔටුන්න හිමි කුමරුවා වූ ජාගෙන් ගේ මුවෙහිද එවැනිම වූ මන්ද හාසයක් මතු වූයේ නිරායාසයෙනි. සෙල් රුවක් මෙන් නිසලව මේ රණ ශූරයන් දෙදෙනා එකිනෙකා ගේ මුහුණු දෙස බලා සිටියේ මෝහනය වූවාක් මෙනි. අවට සිටි සෙබළුන්ට පවා මේ වෙනස පෙනී නොගියේ නැත. එම නිසා බොහෝ සෙබළුන්ගේ අවධානය නොදැනුවත්වම ඒ වෙත යොමු විය.

එහෙත්... ඒ සමඟම දැවැන්ත ලුන්ඩා ගෝත්‍රිකයෙකු අසිපත ඇදගෙන නිහඬ පියවරකින් පැමිණ වේගයෙන් හර්ෂදේවයන් වෙත පිටුපසින් කඩා පැන්නේ මේ රණශූරයා දෙපළු කර දමන්නටය. එය දුටු ජාගෙන් ගේ දෙනෙත විශාල වී ගියේය. හර්ෂදේවයන් දෙසම බලා සිටි මහ රජතුමන්ගේ මුව මහත් සේ ඇයී ගියේය. නමුත් හර්ෂදේවයන් හට පහර දුන් සෙබළා හට නම් සියල්ල වැරදී ගොස් තිබුණි.

යෝධ සෙබළා තමා වෙතට කඩා පනිත්ම, සිතාගත නොහැකි තරම් වේගයෙන් දෑතේම අසිපත් තල දෙක කවාකාරව හරවන අතරතුර, එක දණක් බිම ගැසූ හර්ෂදේවයෝ දෙයාකාරයකට කැපූ කැපුම් දෙකකින් විදුලි වේගයෙන් පහර දුන්හ. අසිපත අල්ලාගෙන සිටි සතුරාගේ අත වෙන් වන්නට කැපී බිමට ඇද වැටෙද්දී, දැවැන්තයාගේ නිකට පහළින් ඇතුල් වී තිබූ අනෙක් අසිපත් තලයේ තියුණු තුඩ උඩු තල්ලත්, නාස් කුහරයත් සහිතව හිස් මොළ සිදුරු කරමින් හිසෙහි තෙල් වළ පසාරු කරගෙන අඩියක් පමණ හිසෙන් මතු වී තිබුණි. ඒ සමඟම කෙවෙණි වළවල් වලින් එළියට නෙරා ආ ඇස් ගෙඩි දෙක නහරවලින් ගැලවී බිමට ඇද වැටෙද්දී, කන් අඩි පුපුරා යමින් දෙපසට රුධිරය විදෙන්නට විය. සිහින් කෙඳීරියක් නැගූ ලුන්ඩා යෝධයා හර්ෂදේවයන් ගේ පාමුල දණ ගැසී, බිම පෙරළී ගියේය. ඒ සමඟම සිය මියගිය සතුරාගේ සිරුරින් අසිපත ඇදගත් හර්ෂදේවයන් ගේ මුවින් නැඟුණු රණ ඝෝෂාව, සියළුම හෙළ සෙබළුන් ප්‍රතිරාවය කළහ. මහාසිද්ධ මහ රජතුමන්ගේ දෙතොල සිය රණශූරයා වෙනුවෙන් නැඟුණු සාඩම්බර මද හසකින් ආලෝකමත් වෙද්දී, එවැනිම වූ ප්‍රබල මද හසක් සතුරු සේනාව මැද සිටි ජාගෙන් ගේ දෙතොලේද ඇඳී ගියේය.

මතු සම්බන්ධයි.

කතාව - හෙළසිරි ඉඳුනිල් මොරමුදලිආරච්චි

සිතුවම - සමන් ශ්‍රී කාන්ත

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.