අභියෝගය නුඹගෙයි. පළමු පහර දීම නුඹ සතුයි...

පෙබරවාරි 15, 2019

සිය මහරජතුමන් තමා පසුකර ද්වන්ද්ව සටන සඳහා ඉදිරියට යනු හර්ෂදේවයෝ, කඳුළින් නැහැවුණු දෙනෙතින්, බලාගත් බැල්මෙන් බලා සිටියහ. තමාට කිසිදාක නොදැනුණු අන්දමේ අස්වාභාවික අන්තරායක් පිළිබඳව දැන් දැනෙන්නේ ඇයි? ඔහුට එය තේරුම් ගත නොහැකි විය. කුඩා කල පටන් තමා හිස් මුදුනින් ගරු කළ මහාසිද්ධ මහ රජතුමන් පිළිබඳව එවන් හැඟීමක්, හර්ෂදේවයන් තුළ එදා මෙදා තුර කිසිදාක ඇති වී නොතිබුණි. එහෙත් අද තමාට දැනෙන ඒ ගුප්ත වූත්, අස්වාභාවික වූත් අන්තරායදායක හැඟීම කුමක් විය හැකිද? සතුරු සේනාවේ සෙනෙවියන් හෝ පරිවාර උප සෙනෙවියන් ඇතුළු කිසිදු සෙබළෙකුට, මුහුණට මුහුණ ලා කෙරෙන සටනකින් මහරජතුමන් ගේ කෙස් ගසකට වත් හානියක් කළ නොහැකි බව හර්ෂදේව දැන සිටියේය. එසේ නම් තමාට දැනෙන මෙම ආගන්තුක වූ භයංකර හැඟීම කුමක් විය හැකිද?

ඔහු සිය හිස හරවා ආපසු සූර්ය දේවාලය දෙස බැලීය. හර්ෂදේවයන් ගේ මුහුණ දකිත්ම, කිසිවක් වැරදී ගොස් ඇති බව දුටු ජයමාලී දේවියත්, පුත් කුමරුවන් ඇතුළු නැගෙනහිර බළකොටුවේ සෙනෙවියන් පිරිස වේගයෙන් සෙල්මුවා පියගැටපෙළ බැස, වහාම හර්ෂදේවයන් අසලට පැමිණියහ. කඳුළින් නැහැවුණු හර්ෂදේවයන් ගේ මුහුණ සිය ජීවිත වල ප්‍රථම වතාවට දුටු ඔවුන් ත්‍රස්ත වී ගියහ. ජයමාලී දේවිය වහාම හර්ෂදේවයන් අසලට පැමිණ දෑතින්ම තම රණශූරයාගේ උරහිස් වලින් තරයේ අල්ලා ගත්තාය. වැඩිමල් පුත් කුමරුවන් ද අසලට පැමිණ පුදුමයෙන් හර්ෂදේවගේ කඳුළින් සේදුණු මුහුණ දෙස බලා සිටියේය. “කියනු හර්ෂදේව... මගේ ස්වාමි පුත්‍රයා නුඹට මොනවාද කිව්වේ දරුවෝ? කිසියම් දෙයක් වැරදිලාද?”

සිය තීක්ෂණ දෙනෙතින් හර්ෂදේවයන්ගේ දෙනෙත දෙසම එක එල්ලේ බලාගෙන ඇය විමසුවාය. තම දරුවන්ට මෙන්ම සිය රණශූර දූ පුතුන් හටද මේ රාජකීය දෙපළ සැබෑ මාපිය යුවළක්ම වූහ. එම නිසා ඔවුන් තිළිණ කළ දාරක සෙනෙහසට පිළිතුරු වශයෙන්, මේ මහා හෙළ ගෝත්‍රයම ඔවුන් දෙපළට මාපිය සෙනෙහස පුද කළහ. දෙකොපුල් හරහා ගලාගිය ළවන් දිය දහර යළි යළිත් අලුත් වෙද්දී හර්ෂදේව ගොත ගැසීය.

“මා දන්නේ... නැහැ මෑණියන් වහන්ස... මට තේරෙන්නෙ නෑ. ලොකු අන්තරායක් මට දැනෙනවා. ඒ නිසාමයි මා මහරජතුමන්ගෙන් වරයක් ඉල්ලුවේ එතුමන් වෙනුවට මා හට ඔවුන් හතර දෙනා එක්කම සටන් කරන්න. ඒත් එතුමා කිව්වෙ දේවියත්, දරුවනුත්, නැගෙනහිර බළකොටුවත් රැක ගන්න කියා. ඒත් මට දැනෙනවා... මට......”

තව දුරටත් කථා කරගත නොහැකි වූ හර්ෂදේව දෝතින් මුහුණ වසා ගත්තේය. සංවේදීව ඔහු දෙස බැලු ජයමාලී, කිසිවක් තේරුම් ගත්තාය. මේ අවස්ථාව කඳුළින් විසඳීය හැක්කක් නොවේ. රාජ්‍යයට අභියෝගයක් වූ අවස්ථාවකි. එහෙත් සිය රණශූර හෙළ පුත්‍රයන් තුළ තම රාජකීය ස්වාමියා පිළිබඳවත්, තමා පිළිබඳවත් ඇති ආදරණීය භක්තිය ඇය තවදුරටත් තහවුරු කර ගත්තාය. කළ යුත්ත කඩිනමින් කළ යුතුය. නැතහොත් සිදු වන්නේ මහා විනාශයකි. තියුණු දෙනෙතින් යුතු හෙළයේ මහා රාජිණිය සිය රණශූරයාගේ හිස සෙමෙන් පිරිමැද්දාය.

“දුක් වන්නට එපා මාගේ පුත්‍රය... අපි එතුමන්ගේ සටනට සහයෝගය දෙමු. මේ අවස්ථාවේ අප මෙන්ම නුඹත් කොන්ද කෙළින් තබාගත යුතු අවස්ථාවක්...”

හර්ෂදේව සෙමෙන් හිස සැලීය. ඔහු කිසිවක් නොකියා නැවී, සිය මහා රාජිණිය ගේ දෙපා නැමද යළි නැගී සිටියේය. කළ යුත්ත ඔහු තීරණය කර හමාරය. ඔහු තමාගේ ඉදිරියේ සූර්යාලෝකයෙන් බැබළෙන ස්වර්ණමය රාජකීය සන්නාහයෙන් සැරසී රන් රුවක් මෙන් ප්‍රතාපවත් පියවරින් ඉදිරියට පිය මනින සිය අධිරාජ්‍යයා පසුපසින් නිහඬවම යන්නට වූයේ කිසියම් අරමුණකිනි. ඒ සමගම ජයමාලී දේවියත්, පුත් කුමරුන් ඇතුළු අනෙක් සෙනෙවියනුත් සපිරිවරින් හර්ෂදේවට මදක් පිටුපසින් ඉදිරියට යන්නට වූහ.

මහාසිද්ධ මහරජතුමන් ඉදිරියට පැමිණෙත්ම, ඒ මහා හෙළයේ සූර්ය පුත්‍රයාගේ දර්ශනයෙන්ම, සටන් බිම ඉදිරි පෙළ සිටි ලුන්ඩා ගෝත්‍රික යෝධයින් සහ හරේරාගේ කාන්තාරවාසී බළකායද සෙමෙන් පසුපසට වන්නට වූහ. කැණහිළුන් අබිසයට පිවිසෙන කේශර සිංහ රාජයෙක් නැතහොත්, ඌරන් කැළක් මැදට යන සද්දන්ත කුලයේ හස්ති රාජයෙක් මෙන් ඒ මහා සූර්ය පුත්‍රයා ප්‍රතාපවත් නිසල පියවරින් තමා අබියසට එත්ම, සිම්ජාගේ සුරතේ වූ දැවැන්ත අසිපත වෙවුලීම නිසා බිම නොවැටුණා පමණි. ඔහු හැකිතාක් තරයේ එම අසිපත අල්ලාගෙන සිටිත්ම සිරුර දහඩියෙන් තෙත් වනු ඔහුටම දැනී ගියේය. කරගත් මෝඩකම ගැන ඔහුට තේරුම් ගියත් දැන් පමා වූවා වැඩි බවක්ද ඔහුට දැණුනි. හරේරාගේ දෙදණ ද සෙමෙන් ගැහෙනු දැණුනි. සැලසුම තමාගේ වුවද, ප්‍රතිඵලය පිළිබඳව නම් දැන් ඔහුටද අවිනිශ්චිතය. ඉග්ලීස් රජු වශී වූවාක් මෙන් තමා ජීවිත කාලයේ සියැසින් දුටු ප්‍රබලම අධිරාජයා වූ මේ පෙරදිග ප්‍රතාපවත් සූර්ය පුත්‍රයාගේ තේජස දෙස බලා සිටි අතර, ජාගෙන් පමණක් මුවෙහි නැගුණු තුනී මදහසකින් යුතුව ඉමහත් භක්තියෙන් පිරී ගොස් තමා අබියසට පැමිණෙන ඒ මහා පුරුෂයාගේ තේජස දෙසම බලා සිටියේය.

තනි පුරුෂයෙකු වෙතින් තමා මුළු ජීවිත කාලය පුරාවටම දුටු අසමසම රාජකීය පෞරුෂත්වය දුටු සතුරු සේනාවේ පෙනෙන මානයේ සිටි සියලුම සෙබළුන් ඇසිපිය නොගසා, මහාසිද්ධ මහරජතුමන් දෙස බලා සිටියහ. තමා යුද්ධයට පැමිණියේ මෙවන් වූ උත්තරීතර ශ්‍රේෂ්ඨ ජාතියක් සමග දැයි සෙබළුන් රහසින් ඔවුනොවුන්ට කොඳුරා ගත්හ. හෙළ ගෝත්‍රය පිළිබඳව ඔවුන් බොහෝ පුරාවෘත්ත මෙයට පෙර අසා තිබුණත්, මෙවන් වූ උත්කෘෂ්ට වූ පෙරදිග ලෝකයේ ප්‍රබලම ගෝත්‍රය සමග යුධ වදින්නට ඔවුන් සිහිනෙන් හෝ බලාපොරොත්තු නොවූහ. හරේරා සහ සිම්ජා විසින් ඔවුන්ට ගොතා පවසා තිබූ සුරංගනා සිහින වල තරම සතුරු සෙබළුන් හට ඇස් පනාපිට පෙනෙන්නේ දැන්ය. අඩ නිරුවතින් සිටිනා රූමත් යුවතියන්, කුඩා පැල්පත් වල සිටින ගෝත්‍රික කණ්ඩායම් සහ නිරුවත් ළමා ළපටින් දකින්නට පැමිණියද, තමන් මුහුණ දෙන්නට යන්නේ තමන්ට වඩා ගව් ගණනක් ඉහළින් වැජඹෙන්නා වූද, මුළු මහත් පෙරදිග ලෝකයම තමාගේ දෙපා පාමුල දණ ගැස්වූද, ශිල්පීය ඥානයෙන්, යස ඉසුරින් සහ ගුණධර්ම වලින් පරිපූර්ණ වූද අසමසම වූ ශ්‍රේෂ්ඨ ජාතියකට බව සතුරු සෙබළුන් දැඩි කම්පාවෙන් යුතුව අවබෝධ කළහ.

නිසල වූත්, ස්ථීර වූත් පියවරින් සතුරු සෙනෙවියන් ඉදිරියට පැමිණි මහාසිද්ධ මහරජතුමෝ, සිය සන්සුන් වූත්, ප්‍රතාපවත් වූත් බැල්මෙන් සිම්ජාගේ දෙනෙත දෙසම බැලීය. මහාසිද්ධ මහරජතුමන් අසලින්ම පිටුපසින් පැමිණි හර්ෂදේවත්, සූදානම් ශරීරයෙන් යුතුව නතර විය. “මා සටනට සූදානම් තරුණයා. නුඹ මට අභියෝග කළේ කොන්දේසි විරහිත සටනකට. එය මට ගැටලුවක් නොවෙයි. ඒත් ඊට පෙර මා දැන ගත යුතුයි නුඹලා කවුරුන්ද, කාගේ කවුරුන්ද, කොයි දේශ වලින් ආවේද යන වග.”

මෙහිදී පිරිස අතරින් සිම්ජා සෙමෙන් ඉදිරියට ආවේය. ඔහු කථා කරන්නට පටන් ගත්තේය. “මාගේ නම සිම්ජා. බටහිර කාළවර්ණ සිම්ජා අධිරාජ්‍යයේ මීළඟ ඔටුන්න හිමි කුමාරයා මමයි. මාත් සමග මේ සිටින්නේ බටහිර කාන්තාරවාසී සංචාරක ගෝත්‍රික ප්‍රධානි රෂ්මාන් රජුගේ බාල පුත්‍රයා වන හරේරා. අර ඉන්නේ නැගෙනහිර ෆූනෝ දූපත්වල ඉග්ලීස් රජතුමා. මේ ඉන්නේ බටහිර ඩැන්මාරූ මහා දේශයේ සිංහාසනයට මීළඟ උරුමක්කරුවා වන ජාගෙන් කුමරු.”

සිම්ජා මෙසේ පවසත්ම, මහාසිද්ධ මහරජතුමන් ඒ එකිනෙකාගේ දෙනෙත් දෙස මාරුවෙන් මාරුවට බැලීය. ඒ සමගම ඔවුන් එකිනෙකාට දැනී ගියේ ඒ බැල්මෙන් ඔවුන් දෙපය දක්වාම සීතල වී ගිය බවකි. ඒ සමගම ජාගෙන් ගේ දෙනෙත යොමු වූයේ මහරජතුමන් පිටුපසින් සිටි රණශූර හර්ෂදේවයන් වෙතය. හර්ෂදේව ගේ දෙනෙත ද ජාගෙන් ගේ දෙනෙත සමග ගැටෙන්නට ගත වූයේ තත්පර ගණනක කාලයකි. ඔවුන්ගේ දෙනෙත මොහොතක් එකට ගැටී තිබූ අතර, දෙදෙනාගේම මුහුණු වල ප්‍රබල මන්දහාසයක් මතු වූයේ නිරායාසයෙනි. මේ ආගන්තුක රණශූරයා කවරෙක්ද? ඔහු පිළිබඳව දැඩි හුරු පුරුදු ගතියක් තමන්ට දැනෙන්නේ ඇයි? හර්ෂදේව තනිවම කල්පනා කළේය.

මේ අතර මහාසිද්ධ මහ රජතුමන්, ප්‍රබල කටහඬින් සිම්ජා ඇමතීය. “හොඳයි. ද්වන්ද්ව යුද්ධයට මා සූදානම්. ඉදිරියට එනු සිම්ජා. අභියෝගය නුඹගෙයි. පළමු පහර දීම නුඹ සතුයි...”

මහරජතුමන් මෙසේ පවසත්ම, දෙපාර්ශවයම සෙමෙන් පිටුපසට ගියහ. සතුරු සෙබළුන් කවාකාරව බිම හිඳගත් අතර, හෙළ බළ සේනාවද එසේම සටන් බිම වටා උක්කුටිකව බිම ඇන තබා ගත්හ. ඒ අතර සටන් බිම ආසන්නයේම හර්ෂදේවයෝ, අස්වාභාවික සූදානම් ඉරියව්වකින් සෙමෙන් බිම වාඩි වූහ.

මතු සම්බන්ධයි.

කතාව හෙළසිරි ඉඳුනිල් මොරමුදලිආරච්චි

සිතුවම - සමන් ශ්‍රී කාන්ත

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.