මහා ගෝරාවරුන් සත් කට්ටුව යුද්ධයට කැඳවිය යුතුයි...

අප්‍රේල් 19, 2019

සුදු පැහැති තිමිර පටලයෙන් ඒ ගම්මානයේ සියලුම නිවාස වෙළී පැටලී ගොස් තිබුණි. හාත්පස වූ අන්ධකාරය හරහා, නිවාසවල කුඩා කවුළුවලින් පිටතට විහිදුණු පහන් ආලෝකය මීදුම් පටලය තුළින් දිස්වූයේ කසාවන් සිලින්ඩරාකාර ආලෝක ධාරාවන් මෙනි. දැඩි තුෂාරයෙන් වැසුණු එම ගම්මානයේ හාත්පසින් පහත් හඬින්, සෙමෙන් කථාබස් කරමින් නිවාස අතරින් කාලවර්ණ අවතාර මෙන් නිහඬව ගමන් කළේ සන්නාහ සන්නද්ධ ගෝරාවරුන්ය. ගම්මානයේ හාත්පස දල්වා තිබූ සියලුම පන්දම් ඒ වන විට නිවා දමා තිබූ අතර, බොහෝ නිවාසවල දල්වා තිබූ පහන් ද, ඒ සීතල රාත්‍රියේ නිවා දමා තිබුණි.

මීදුම් පටලයෙන් එතී තිබූ ඒ ගම්මානයේ ඉහළට ගමන් ගත් කුඩා මාවතක් විය. පියවර සියයක් පමණ කඳුගැටය ඉහළට දිව ගිය එම මාවත අවසානයේ තිබුණේ තරමක් විශාල නිවසකි. මිහිදුමින් වැසුණු ඒ අන්ධකාර රාත්‍රියේ එම නිවසේ බොහෝ දෙනෙක් එක්රැස් වී සිටියහ. සිවිලිමේ සිට පහළට එල්ලා වැටුණු දම්වැල්වලින් යුත් පිත්තල තෙල් පහනක තිර අටක් දැල්වෙමින් මුළු කාමරයම ආලෝකමත් කළේය. පදම් කරන ලද ගඩොලින් තනන ලද ඒ විශාල කාමරයේ දැවමුවා ජනේල සියල්ල වසා තිබුණු අතර, එම කුටියේ වූ කළුවර දැවයෙන් කැටයම් කරන ලද පෞරාණික වූ පුටුවක ජයමාලී දේවිය හිඳ සිටියාය. එම කුටියේ වූ මදින ලද සිනිඳු ගල් පතුරු අල්ලා මනාව සකස් කරන ලද පොළව මත වූ ඝනකම් කළාලයක් මත පද්මාසනයෙන් යුතුව හිඳ සිටියේ සබරගමු අඩවියේ ගෝරාවරුන්ගේ ප්‍රෞඪ නායකයා වූ ධූරා ය. ජයමාලී දේවිය දෙපසින් බිම හිඳගෙන සිටියේ ධූරාගේ බිරිඳ වූ වජ්‍රපාණී සහ තවත් සහායක කාන්තාවකි. එම කුටියේ තැනින් තැන පද්මාසනයෙන් යුතුව බිම හිඳගෙන සිටියේ ධූරා විසින් නායකත්වය දෙනු ලැබූ අභිරහස් ගෝරාවරුන්ගේ බළකායේ අති ප්‍රබලතම හෙළ යක්ෂ ගෝත්‍රික සෙනෙවියන්ය. පහන් ආලෝකයෙන් සෙවණැලි මවා පෑ ඒ කුටිය, නිර්භීත මිනිසුන් සමුදායක් එක්රැස් වූ තෝතැන්නක් වී තිබිණ.

දැවමුවා ආසනයේ හිඳ සිටි ජයමාලී දේවිය, තමා අත වූ මහාසිද්ධ මහරජතුමන් ගේ රාජකීය ස්වස්තික මුදුව නිහඬව ධූරා වෙත දිගු කළාය. රාජකීය ආචාරයෙන් නමස්කාර කළ ධූරා, ගෞරව බහුමානයෙන් පිරී ගිය හදවතින් යුතුව එම ඝන නීල මාණික්‍යයෙන් කපා ඔප දැමූ අභිමානවත් ස්වස්තික මුදුව අතට ගෙන නළලේ ස්පර්ශ කර සුරතට ගත්තේය. “මාගේ ස්වාමි පුත්‍රයා මේ මුද්ද ඔබට දෙන්න කියා කිව්වා මගේ දරුවෝ. ඒක තමයි අවසන් වතාවට ඔහු කිව්වේ...”

ජයමාලී දේවියගේ රූමත් දෙනෙතින් ගලා ගිය ලොකු කඳුළු බිඳු දෙකක් ඇය හැඳ සිටි කාලවර්ණ සන්නාහයට ඇද වැටුණි. ඒ දෙස දැඩි බැල්මෙන් මද මොහොතක් බලා සිටි ධූරා, සිය සුරතේ වූ රාජකීය ස්වස්තික මුදුව වෙත දෙනෙත යොමු කළේය. “මේ මුදුව මා වෙත එව්වා කියන්නේ රාජ්‍යයට ප්‍රබලම අභියෝගයක් ආවා කියන එකයි මහා මෑණියන් වහන්ස...”

ධූරා, සිය තීක්ෂණ මෙන්ම පැහැදිලි කටහඬ අවදි කළේය. “මට දැනෙන විදිහට මේ ආක්‍රමණිකයන් මුළු හෙළ දේශයම වට කර අවසන්. අද සවස මහා භද්‍රජෝති මහසෘෂිතුමන් මට මානසික පණිවුඩයක් එව්වා. එයින් කියවුණේ මහරජතුමන් සහ වැඩිමහල් පුත් කුමරුවන් සමග මහ සෙනෙවි ජයබුද්ධි මහි අංගණ පුරවරයට සුරක්‍ෂිතව පැමිණියා කියලා. ඔබට බය වෙන්න කිසිම හේතුවක් නැහැ මහා මෑණියන් වහන්ස. අපේ මහරජතුමන් දැන් සුරක්‍ෂිතයි...”

මුවගට නගාගත් මදහසකින් යුතුව ධූරා ජයමාලී දේවිය දෙස බැලීය. මෙහිදී ජයමාලී දේවියගේ මුවට නැගුණු සිනාව, ඇය කෙතරම් සහනයක් ලැබුවාද යන්න කියා පෑ නිහඬ සාක්ෂියක් මෙන් විය. හෙළයේ අධිරාජයා යනු හෙළ ජාතියේ ප්‍රබල පාලකයා වූ බැවින්, ඔහු ගේ ගැලවීම යනු මුළු මහත් හෙළ දේශයේම අනාගතය සුරක්‍ෂිත බවට දුන් සාක්ෂියක් වීය. එසේම සිය ප්‍රබල ස්වාමි පුත්‍රයාගේ ජීවිතය සුරැකීම පිළිබඳව ආදරණීය බිසවගේ සිතට නැගුණු සතුට සීමා රහිත විය. එහෙත්, ධූරා සිය තීක්ෂණ දෙනෙතින් ජයමාලී දේවිය දෙස බලා සිටියේය. ඔහුට කීමට වෙනත් කථාවක් තිබිණ. “මට දැනෙන ආකාරයට මේ සටන සාමාන්‍ය සෙබළුන් හට කරන්නට අපහසුයි මහා මෑණියන් වහන්ස... මේ ආක්‍රමණය දැන් ඉතාම බැරෑරුම් අතට පත්වෙලා. ඒ නිසා මෙයට සාමාන්‍ය සෙබළුන්ට වඩා එහා ගිය තාක්ෂණයක් අවශ්‍යයි...”

මෙහිදී ජයමාලී බිසව තියුණූ දෙනෙතින් යුතුව ධූරා දෙස බැලුවාය. ආදරණීය බිසවගේ චරිතය, ක්ෂණිකව සටන් ශූර හෙළයේ මහ රැජින බවට පත් වූයේ නිරායාසයෙන්ය. “ඔව්... මාගේ පුත්‍රය. මහ රජතුමන් මට කිව්වේ මේ මුදුව ගෙනවිත් ඔබට භාර දෙන්න පමණයි. එයින් පසු ඔබ සියල්ල තේරුම් ගන්නා බව එතුමන් මට කිව්වා. දැන් මොකක්ද නුඹේ අදහස?”

සියල්ල තේරුම් ගත් නියායෙන් ධූරා මද වේලාවක් ස්වස්තික මුදුව දෙස බලාගත් බැල්මෙන් බලා සිටියේය. අවසානයේ ඔහු සිය හඬ අවදි කළේය. “මේ කාර්යය සඳහා අපගේ ඉහළ ආධ්‍යාත්මික යක්ෂ ගෝත්‍රික සටන්කරුවන් කැඳවන්නට සිදු වනවා මහා මෑණියන් වහන්ස. මට දැනෙනා ආකාරයට මේ යුද්ධයට මහා ගෝරාවරුන් සත් කට්ටුවම කැඳවිය යුතුයි.”

තියුණු දෙනෙතින් යුතුව ධූරා, ජයමාලී දේවිය දෙසම බලා සිටියේය. “මහා ගෝරාවරුන් සත් කට්ටුව...?”

ජයමාලී දේවිය කුතුහලයෙන් යුතුව විමසුවාය.

“එහෙමයි මහා මෑණියන් වහන්ස. අපගේ හෙළ සටන් ශිල්පයේ කාලයෙන් කාලයට පහළ වන ආධ්‍යාත්මික සටන් ශිල්පීන් සත් දෙනෙකු ගේ එකතුවක් බිහි වනවා. ඔවුන් සියලු දෙනාම අධිමානුෂික සටන් ශිල්පීන්. ආත්මයෙන් ආත්මයට පෙරුම් පුරාගෙන එන ඔවුන්, හෙළයේ යම් අයහපත් කාල වකවානුවලදී, හෙළ දේශයත්, හෙළ ජාතියත් රැක ගැනීම සඳහා මේ මහා හෙළ දෙරණේ උපදිනවා. ඒක අතීතයේත් සිදු වුණා. වර්තමානයේදීත් සිදු වනවා. අනාගතයේදීත් සිදු වනවා නිසැකයි.” සිය හිස නවා ගෞරව පූර්වකව ආචාර කරමින්, ධූරා ස්වස්තික මුදුව යළිත් ජයමාලී දේවිය අතට දුන්නේය. ජයමාලී දේවිය කුතුහලයෙන් යුතුව ධූරා දෙස බැල්මක් හෙළුවාය. “ගෝරාවරුන් සත් කට්ටුව දැන් සිටින්නේ කොහේද?” මෙහිදී ධූරා යළිත් ඒ පිළිබඳ විස්තර කළේය.

“ඔවුන් හෙළ දෙරණේ විවිධ ප්‍රදේශවල උපත ලබා, තම උරුමය ලබා ගැනීමට නිසි වයස පැමිණි පසුව එක ගුරු කුලයක් යටතට එක් වෙනවා මහා මෑණියන් වහන්ස. ඒ ගුරු කුලය කුමක් වුණත්, එයින් අතපොත් තැබුවාට පසුව ඔවුන් තවත් බොහෝ ආධ්‍යාත්මික ශිල්ප ක්‍රම සිය ආත්මීය උරුමයෙන් ලබා ගන්නවා. පසුගිය කාල වකවානුවේ එවන් වූ ගෝරාවරුන් සත් දෙනෙක් ගේ වසර ගණනාවක පුහුණුව සම්පූර්ණ වූවා. මාත් එයින් එක්කෙනෙක් මහා මෑණියන් වහන්ස. සබරගමුවේ ගෝරාවරුන්ගේ නායකයා මා බවට අපගේ මහා ගුරුවරුන් සහ සෘෂිවරුන් විසින් තෝරා ගනු ලැබුවා...”

හිස නවා, සිය ආචාරය ජයමාලී දේවිය වෙත පිරිනමමින් ධූරා යටහත් පහත් ලෙස පැවසීය. සිය රණශූර හෙළ දරුවන්ගේ අනභිභවනීය පුරාවෘත්තය ඇසුණු ජයමාලී දේවිය ගෞරව පූර්වක සෙනෙහසින් යුතුව ධූරා දෙස බලා සිටියාය. මෙහිදී නිවසේ පිටතින් කිසියම් පිරිසක් පැමිණෙන හඬ ඇසුණු ධූරා සෙමෙන් හිස හරවා ඒ දෙස අවධානය යොමු කළේය. ඔහු කිසිවිටකත් කලබල නොවූයේ මේ ගෝරාවරුන්ගේ ගම්මානයට කිසි විටක සතුරෙකුට පණ පිටින් පැමිණිය නොහැකි බව සහසුද්දයෙන්ම දන්නා බැවිනි. මෙහිදී පිටතින් ගෞරව පූර්වකව දොරට තෙවරක් තට්ටු කරන හඬ ඇසුණි. ධූරා මෙහිදී ජයමාලී දේවිය දෙස බැලීය.

“ඇතුළට එන්න කියන්න දරුවෝ...” මෙහිදී ධූරා හඬ නගා කථා කළේය. “දොර අරිනු... නුඹලාට එන්න පුළුවන්.”

මෙහිදී සෙමෙන් දොර ඇරී ගිය අතර, අසිපත්ධාරී ගෝරාවරයෙක් ඔවුන් ඉදිරියට පැමිණ ආචාර කර සිටියේය. ඔහු සෙමෙන් පිරිස ඇමතීය. “අවසරයි හෙළයේ මහා මෑණියන් වහන්ස... අවසරයි අපගේ නායකතුමනි... සතුරු සෙබළුන් අතරේ පණ පිටින් සිටි එකෙක් අප අල්ලා ගත්තා. ඔහු සෙබළෙක් නෙවෙයි. කැහුටු ගැහුණු පුද්ගලයෙක්...”

කෝපයෙන් ශ්වාසයක් පිට කළ ධූරා මෙහිදී කථා කළේය.

“ඌ මෙතනට අරන් වර...”

මෙහිදී ගෝරාවරුන් දෙදෙනෙකු දෙපසින් අල්ලාගෙන සිටි සිහින්දෑරි පුද්ගලයෙකු ඔවුන් ඉදිරියට ගෙන එන ලදී. පිරිස, බලාගත් බැල්මෙන් ඔහු දෙස බලා සිටියහ. එසේ ගෝරාවරුන්ගේ ග්‍රහණයට හසු වූයේ අන් කිසිවෙකු නොව සිම්ජාගේ ප්‍රධාන ගුප්ත විද්‍යාධාරියා වූ මෂ්පිණ්ඩි ගේ අතවැසියා වන ගාවුලා ය.

මතු සම්බන්ධයි.

කතාව හෙළසිරි ඉඳුනිල් මොරමුදලිආරච්චි

සිතුවම - සමන් ශ්‍රී කාන්ත

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.