හෙළ දෙරණේ සතුරන්ට උරුමය මරණයයි...

ජුනි 14, 2019

සිම්ජාගේ කඳවුරෙහි පැවතියේ වික්ෂිප්ත වූ ස්වභාවයකි. ජයමාලී දේවිය පසුපස හඹා ගිය අශ්වාරෝහක සේනාංකය, හෙළයේ රණ ශූරයන් අතින් සමූල ඝාතනය වීමත්, ඔවුන්ට මග පෙන්වූ ගුප්ත විද්‍යාධාරියා වූ ගාවුලාගේ මරණයත් නිසා සතුරන්ගේ සියලු සැලසුම් ව්‍යර්ථ වී ගියේය. ඔවුන් අපේක්‍ෂා කළ තරම් පහසුවෙන් හෙළ දෙරණ දිනා ගන්නට නොහැකි බව දැන් දැන් පෙනෙන ලකුණු වලින් විද්‍යමාන වූ බැවින් සිම්ජා සහ හරේරාගේ තීරණය වූයේ හැකි ඉක්මණින් සබරගමු අඩවියේ සමනළ පව්වට පහර දීමත්, එය යටත් කර ගැනීමෙන් පසුව හෙළයන්ගේ ඉතිහාසගත මාණික්‍යමය ස්වස්ථික ලාංඡනය විනාශ කර දමා, සිම්ජාගේ සිංහයෙකු ඩැහැගත් ගිජුළිහිණි ලාංඡනය සමනළ ගිරි ශිඛරයේ ස්ථාපනය කිරීමත්ය. ඉග්ලීස් රජු මෙහිදී ඕනෑවට එපාවට මෙන් පැවසුවේ සිම්ජාත්, හරේරාත් ගන්නා තීරණයකට එකඟ වන බවයි. සුපුරුදු ලෙස බටහිර ඩැන්මාරූ දේශයේ රණශූරයා වූ ජාගෙන් මෙහිදී ද මුණිවත රැක්කේය. සතර දිගින් හෙළ දෙරණට ගොඩ බට සේනාවන්, වේගයෙන් සිය ඉලක්කය කරා ළඟා වන බව ඔවුන්ට චර පුරුෂයන්ගේ මාර්ගයෙන් සහ මෂ්පිණ්ඩි ගේ අඳුනෙන් දැන ගන්නට ලැබුණු අතර, හැකි ඉක්මණින් එම සේනාවන් සමග සබරගමු අඩවියේ දී එක් වී, හෙළයන්ගේ බල සිඳලීමට සිම්ජා අපේක්‍ෂා කළේය.

ගාවුලා ගේ ඝාතනයෙන් පසු දින එම සැලසුම ක්‍රියාත්මක කිරීමට ඔවුන් සාකච්ඡා කළ අතර, එදින කල් වේලා ඇතිව සිය කූඩාරම් තුළට ගියේ මදක් විවේක ගන්නටය. කායිකව සහ මානසික වශයෙනුත් විඩාපත්ව සිටි සිම්ජාත්, හරේරාත් මත්පැන් පානය කිරීමෙන් පසුව නින්දට වැටුණහ. ඒ අතර, ඉග්ලීස් රජු කිසිදු බරක් පතලක් නැති ළදරුවෙකු මෙන් යහනට වැටුණු සැණින් සුව නින්දකට පත් විය. එහෙත් බටහිර දිග රණශූරයා වූ ජාගෙන් අසලකට වත් නින්ද නොආවේය. කිසියම් අස්වාභාවික සිදුවීමක් සිදු වන්නට යන බව ඔහුට සවැනි ඉන්ද්‍රියකින් මෙන් දැනී ගියේය. ඒ නිසා ඔහු සිය යහනේ වැතිරී සිටියද, දෙනෙත් පියාගත් වනම මනා පරීක්‍ෂාවෙන් යුතුව පසුවිය. එම කඳවුරේ සිටි සතුරු සේනාවේ සෙබළුන් සිය දහස් ගණන් බොහෝ දෙනෙකු වේලාසනින්ම නිදා ගත් නමුත්, ආරක්‍ෂාව සඳහා දෙසියයක රණශූරයින් පිරිසක් නොනිදා මුර කළහ. ඒ කෙසේ වුවද, එම මුර සෙබළුන්ගේ ඇස් හාරසියයටම හොරා ප්‍රබල අඳුරු සෙවණැලි දෙකක් සතුරු කඳවුරට උතුරු දෙසින් සෙමෙන් සෙමෙන් අවතාර මෙන් ඔවුන් දෙසට ළඟා වෙමින් තිබිණ.

පූර්ණ සන්නාහ සන්නද්ධ වූ කාලවර්ණ ඇඳුම් වලින් මුළු සිරුරම ආවරණය කරගත් ප්‍රබල දේහධාරී පුද්ගලයින් දෙදෙනෙකු ගේ ඡායාවන් දෙකක් මුර සෙබළුන්ට හොර රහසින් කඳවුරට ළඟා විය. ඔවුන් එකෙකු අත කාලවර්ණ රෙදි කඩකින් එතූ යම්කිසි පොදියක් වීය. තරමක් උස් බිමක තිබූ දැවැන්ත ගසකට නැග ගන්නට ඔවුන්ට ගත වූයේ තත්පර ගණනක කාලයකි. එම ගසේ හරස් අතට විහිදුණු අතු දෙකකට නැගුණු ඔවුන් එකිනෙකාට සංඥා මගින් කථා කරමින් පහත කඳවුරේ තත්වය මුළුමනින්ම අධ්‍යයනය කළහ. කූඩාරම් තිබූ ප්‍රදේශය අන්ධකාරයේ ගිලී ගොස් තිබූ අතර, ගිනි මැළ කිහිපයක් දල්වා තිබුණි.

තරමක් විශාල වූ සත්ව සමින් කරන ලද කාලවර්ණ කූඩාරමේ සිම්ජා නිදා සිටියේය. ඔහුගේ කූඩාරම වටා අසිපත්ධාරී සෙබළුන් විසි දෙනෙක් මුර කළ අතර, එම කූඩාරමට යාබදව අටවා තිබූ අනෙක් කූඩාරම් වල ඔහුගේ සගයෝ නිදා උන්හ. එම කූඩාරමේ දුර්වල තැන් මෙන්ම ශක්තිමත් තැන්ද, බාහිර මුරකාවල් සහිත ස්ථානයන්ද මනාව අධ්‍යයනයෙන් පසුව සගයෝ දෙදෙන නිහඬව සහ ක්‍ෂණිකව ගසෙන් බැස ගත්හ. මුළු ප්‍රදේශයම මූසල පාළු නිහඬතාවයක ගිලී ගොස් තිබිණ.

බාහිර මුර සෙබළුන් ගේ වළල්ලට ඔවුන්ට ළං වන්නට ගත වූයේ විනාඩි ගණනක කාලයකි. පඳුරු ගොන්නක් අසල පහත් හඬින් කථාබස් කරමින් සිටි සෙබළුන් දෙදෙනෙකු ඔවුන්ගේ ඉලක්කය විය. ඔවුන්ගෙන් එකෙක් අහස දෙස බලද්දී අනෙකා ඈනුමක් හරින්නට කට ඇරියා පමණි. විදුලි වේගයෙන් ඔවුන් අසලට ළං වූ ඡායාවන් දෙකක් වේගයෙන් එම සෙබළුන් දෙදෙනාගේ කටවල් තරයේ අතින් වසා පඳුරු ගොන්න තුළට ඇද ගත්තෙන් සියල්ල කලින් පැවති අන්දමින්ම නිහඬ වී ගියේය. මද මොහොතක දී අන්ධකාර පඳුරු ගොන්න තුළින්, කලින් සිටියාට වඩා ප්‍රබල සිරුරු වලින් යුතු සතුරු සෙබළුන් දෙදෙනෙකු ඉවතට පැමිණ, සිම්ජාගේ කූඩාරම දෙසට ප්‍රතාපවත් ගමනින් ගමන් කළ අතර, ඒ එකෙකු අත කිසියම් කාළවර්ණ රෙදි කඩකින් එතූ පොදියක් තිබිණ.

 

සිම්ජාගේ කූඩාරම අසලට එන්නට ඔවුන්ට ගත වූයේ සුළු කාලයකි. සතුරු සෙබළුන් නිදි කිරා වැටෙමින් මුර කළ අතර, ප්‍රබල දේහධාරී සගයින් දෙදෙනා දුටු නමුත් ඔවුන්ට ඒ ගැන වගේ වගක් තිබුණේ නැත. අලුත් සෙබළුන් දෙදෙනා මද මොහොතක් හාත්පස වෙන වෙනම ඇවිදිමින් අවට වටපිටාව නිරීක්‍ෂණය කළ අතර, ඉන්පසුව කූඩාරමේ පිටුපස සිටි සෙබළුන් දෙදෙනෙකුට සංඥා කොට ඔවුන් ඉවතට යවා අලුතින් පැමිණි සෙබළුන් දෙදෙනා එම ස්ථානවල ස්ථානගත වූහ. මෙහිදී කල් යල් බලා, සිම්ජාගේ කූඩාරම ළඟටම ගිය එක් අයෙක් සෙමෙන් කූඩාරමේ සම් රෙද්ද ඔසවා හීන් සීරුවේ තලගොයෙකු මෙන් බඩගාගෙන එයට ඇතුළු විය. අනෙකා කිසිවක් නොදන්නාක් මෙන් වටපිට බලමින් පසු විය.

කූඩාරමට ඇතුළු වූ වෙස් වළා සිටි හර්ෂදේවයෝ මද මොහොතක් අන්ධකාරයේම වටපිට බැලූහ. සිම්ජා ගොරවමින් තද නින්දේ පසු වූ අතර, දැණුනු මත්පැන් ගඳීන්, ඔහු හොඳහැටි පදම් වී සිටි බව හර්ෂදේවයන්ට දැනී ගියේය. දල්වන ලද විශාල ඉටි පන්දම් කිහිපයකින් කූඩාරම ඇතුළත ආලෝකමත්ව තිබිණ. සිම්ජාගේ ඇඳ අසලම ඔහුගේ අවි ආයුධ තිබූ අතර, වෙනත් වටිනා කිසිවක් එහි දක්නට නොලැබුණි. කූඩාරමේ සිම්ජාගේ යහන පාමුල දැවයෙන් තනන ලද පෙට්ටගමක් වීය. තියුණු දෙනෙතින් ඒ දෙස බැලූ හර්ෂදේවයෝ සෙමෙන් සෙමෙන් ඉතා නිහඬව ඒ දෙසට ඇදුණහ. වැසිය හැකි දැවමුවා පියනකින් යුතු වූ එහි යතුර, යතුරු කටෙහිම තිබූ අතර, හඬ නොනැගෙන ලෙස යතුර කරකවා, සෙමෙන් එහි පියන ඔසවා බලත්ම, ඉටි පන්දම් ආලෝකයෙන් එහි තිබූ සිම්ජාගේ රන්මුවා ආභරණ සහ කිණිස්සකුත්, සිලින්ඩරාකාර සඳුන් ලීයක ඔතන ලද තුනී රෙද්දකුත් පෙනී ගියේය. ඒ නම් ඔවුන් සොය සොයා සිටි සිතියම වීය.

ඒ දකිත්ම හර්ෂදේවයන්ගේ තියුණු දෙනෙත දිලිසෙන්නට විය. ඉතා සෙමෙන් එම රෙදිකඩත්, සිම්ජාගේ ආභරණ කිහිපයත් හඬ නොනැගෙන සේ අතට ගත් හර්ෂදේවයෝ, ඔහුගේ අතේ තිබූ කාළවර්ණ පොදිය අර පෙට්ටගම තුළට දමා සෙමෙන් පියන වසා අගුළ දැමූහ. ඉන්පසුව ඉතා සෙමෙන් ආපස්සට ඇදුණු ඔහු, කූඩාරමට ඇතුළු වූ තැනින්ම, ඉන් පිටතට ආවේය.

මෙහිදී ගිනි මැළ වල මද ආලෝකයෙන් කූඩාරම් රෙද්ද සෙලවෙනු දුටු එක් සතුරු සෙබළෙක්, කඩිනමින් කූඩාරමේ පිටුපසට ආවේය. තමාගේ සගයෙක් කූඩාරම් රෙද්ද තුළ සිට එළියට බඩ ගානු දුටු ඔහු බටහිර දේශවාසී බසින් ප්‍රශ්න කරමින් ඒ වෙත යත්ම, පිටුපසින් ආ තවත් කිසිවෙක් ප්‍රබලව සහ ක්‍ෂණිකව සතුරාගේ ගෙළට ගැටයක් යොදා අඹරා දැමූවෙන් සතුරු සෙබළාගේ මළ සිරුර ‘දඩස්’ ගා බිම ඇද වැටුණි.

ඒ හඬ ඇසුණු සෙබළුන් සය දෙනෙක් ඒ වෙත පැමිණෙත්ම දුටුවේ සිය සගයෙකු බිම වැටී සිටි ආකාරයත්, ප්‍රබල සිරුරින් යුතු තවත් සෙබළුන් දෙදෙනෙකු සිටගෙන සිටි බවත්ය. කිසිවක් වැරදී ගොස් ඇති බව දැණුනු ඔවුන් සිය අසිපත් ක්‍ෂණිකව ඇදගෙන පහර දෙන්නට ඉදිරියට පැන්න අතර, නිරායුධවම අර ප්‍රබල සෙබළුන් දෙදෙනා ඔවුන් ඉදිරියට පැන ක්‍ෂණිකව පහර දුන්හ. ඇසිපිය හෙළන කාලයක දී ප්‍රබලව සහ ක්‍ෂණිකව නිලස්ථාන වලට වැදුණු පහරින් සෙබළුන් සිව් දෙනෙකු එතැනම මැරී වැටුණු අතර, අනෙක් දෙදෙනා ආපසු හැරී ආධාර ඉල්ලා කෑ ගසමින් දුවන්නට වූහ. එහෙත් පියවර දහයක් දුවන්නටත් පෙර අහසින් ආ සප්‍රාණික හෙණ ගෙඩි මෙන් ඔවුන්ගේ ගෙලට පිනූ ප්‍රබල සෙබළුන් දෙදෙනා ඔවුන්ගේ ගෙලවල් දෙකම ක්‍ෂණිකව අඹරා දැමූහ. ඒ සමගම එකිනෙකාගේ මුහුණු දෙස බලා නිහඬවම කිසියම් සංඥාවක් කරගත් අතර, සතුරු සෙබළුන් ලෙස වෙස් වළා සිටි හර්ෂදේවයන් සහ උදකාභිරාක්‍ෂයන් වේගයෙන් කූඩාරම පිටුපස වනාන්තරය දෙසට දුව ගොස් ඝන අන්ධකාරයට පැන නොපෙනී ගියහ.

මෙවිට කූඩාරම වටා මුරට සිටි අනෙක් සෙබළුන් සියලු දෙනාම එම හඬ අවදි වී, අසිපත් ඇදගෙන කෑ ගසමින් එකා මෙන් දිවගෙන ඒ වෙත පැමිණි අතර, ඒ සමගම නිදා සිටි සිම්ජා ඇතුළු සගයන් ද අවදි වූහ. ඉක්මණින්ම පන්දම් දල්වා ගත් සිම්ජාත්, සගයන් සහ සෙබළුන් එහි පැමිණියෙන් අතන මෙතන විසිර තිබූ මළ සිරුරු දැක ඔවුන් ත්‍රස්ත වී ගියහ. තමන්ට නොදැනෙන්නට තම කඳවුරට ඇතුළුවී මේ තරම් හානියක් කළේ කවරෙක්ද යන්න ඔවුන්ට ගැටලුවක් විය. කරන ලද කෙටි පරීක්‍ෂණයක දී ප්‍රබල සිරුරැති සෙබළුන් දෙදෙනෙක් පැමිණි බවත්, ඔවුන් දෙදෙනා අවට මදක් ඇවිද්ද බවත් දැන ගන්නට ලැබුණි.

මෙහිදී කිසිවක් වැරදී ගොස් ඇති බව දැනී ගිය සිම්ජා, අවලාදයක් නගමින් සිය කූඩාරම තුළට දිව්වේය. ඒ සමගම ඔහු පිටුපසින් හරේරාත්, ඉග්ලීස් රජුත්, ජාගෙන් සහ මෂ්පිණ්ඩිත් දිව ආහ. කූඩාරමේ තිබූ කිසිම දෙයක් වෙනස් වී තිබුණේ නැත. සිම්ජා නිදා ගන්නට පෙර පැවති ආකාරයෙන්ම සියල්ල පැවතුණි. අස්සක් මුල්ලක් නෑර කූඩාරම පරීක්‍ෂා කළ සිම්ජා සැනසීමෙන් යුතුව, සිය සයනය පාමුල වූ පෙට්ටගමේ පියන විවර කළේය. ඔහු දරුණු අවලාදයක් නැගීය. පෙට්ටගමේ තිබූ සියල්ල අතුරුදහන් වී තිබිණ. එහි තිබුණේ කාළවර්ණ රෙදි කඩකින් ඔතන ලද පොදියක් පමණි. අසභ්‍ය අවලාදයක් නගමින් එය අතට ගත් සිම්ජා, අර පොදිය පෙට්ටගමේ පියන මත තබා කාළවර්ණ රෙදිකඩ මහා කලබලයෙන් ළිහා දැම්මේය.

මෙහිදී රෙදි කඩ තුළ තිබූ දෙය දකිත්ම සිම්ජා අකුණු පහරක් වැදුණු තැනැත්තෙකු මෙන් පසෙකට පැන්න අතර, හරේරා සහ මෂ්පිණ්ඩි දෑත් අහසට ඔසවා ජිබ්ලා දෙවියන්ට යාඥා කරන්නට වූවෝය. ඉග්ලීස් රජු හිටි තැනම ගල් ගැසුණු අතර, ජාගෙන් පමණක් තරයේ පියාගත් දෙතොලින් ඒ දෙස බලා සිටියේය. කාළවර්ණ රෙදි කඩකින් ඔතා සිම්ජාගේ පෙට්ටගමට දමා ගොස් තිබුණේ මෂ්පිණ්ඩි ගේ අතවැසියා වූද, අශ්වාරෝහකයන්ට මග පෙන්වන්නා වූද, ගෝරාවරුන් විසින් අල්ලාගෙන, ධූරා විසින් සිඳ දැමුවා වූද භීතියෙන් පිරුණු මුහුණින් යුතු ගාවුලාගේ හිසයි.

 

මතු සම්බන්ධයි.

කතාව හෙළසිරි ඉඳුනිල් මොරමුදලිආරච්චි

සිතුවම - සමන් ශ්‍රී කාන්ත

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.