අපේ ඉලක්කය අපි ජය ගත්තා හූරා...

ජුනි 28, 2019


සිය සගයින් තිදෙනෙකු මරා දැමූ කාළවර්ණ පුද්ගලයින් දෙදෙනා විනාශ කරලීම සඳහා සතුරු සෙබළුන් කෝපයෙන් කෑ ගසමින් ආයුධ අමෝරාගෙන ඉදිරියට පනිද්දී හර්ෂදේවයෝ, සිය අසිපත සුළි සුළඟක් ලෙස සිරුර වටා කරකැවූහ.

ඒ සමගම ඔහු ඉදිරියට වේගයෙන් කඩා පැන්න සතුරු සෙබළෙකු හට වැදුණු එකිනෙකට වෙනස් අසිපත් පහර දෙකකින්, සෙබළාගේ අසිපත සහිත දකුණත කැපී වෙන්වී බිමට ඇද වැටෙද්දී, කඳීන් වෙන්වූ හිස තල් ගෙඩියක් ලෙස නැව් තට්ටුව මත වැටී පෙරළී ගියේය. ඒ සමගම හර්ෂදේවයෝ අනෙක් සතුරන් දෙසට හැරුණහ. සතුරාගේ රුධිරය දැකීමත්, රුධිර ගන්ධය දැකීමත් නිසා, සියලු සීමා මායිම් බිඳ දමමින් පුරාතන කළු දිවියා ගේ ප්‍රබල ශක්තිය හර්ෂදේවයන් ගේ ආත්මය පුරා පැතිර ගියේ ඔහුගේ ප්‍රබල සිරුර තව තවත් ප්‍රබලත්වයට පත් කරමිනි. ඉදිරියට දිව එන්නාවූ සතුරු සෙබළුන් හට,තමන් දැවැන්ත කළු දිවියෙකු සමග නිරායුධව කාමරයක් තුළට දමා වසා ඇති සෙයක් හැඟී ගියේය.

ශිල්ප දක්වන්නට හර්ෂදේවයන් හට නැව් තට්ටුව ඉඩ මදි විය. ඉදිරියෙන් පැමිණි සතුරන්

දෙදෙනෙකු ගේ දෙපා, වේගවත් තනි අසිපත් පහරකින් කපා හෙලූ හර්ෂදේවයෝ, දෙවැනි අසිපත් පහරින් පසුපසින් ආ තවත් සෙබළෙකු ගේ වමත වෙන් වන්නටම කපා ලූවේය. මරහඬ තළමින් ඔහු දෙකට නැවෙද්දී, ක්‍ෂණික පියවරකින් සතුරු සෙබළාගේ පිටට පයක් තැබූ හර්ෂදේවයෝ අහසින් එන ජීවමාන කළු දිවියෙකු මෙන්, පසුපසින් ආ සතුරු සෙබළුන් මධ්‍යයට පැන්නේය. වානේ සන්නාහ ලා ගත් සතුරු සෙබළුන් හට කිසිවක් කරකියා ගන්නට වත් කලින් වැදුණු ප්‍රබල අසිපත් පහරවල් වලින් තිදෙනෙකු වෙන් වන්නටම කැපී වැටුණු අතර, ඒ සැණින් හර්ෂදේවයෝ, අසල තිබූ පන්දම් තුනකට අසිපත් පහර එල්ල කළෙන් ඒවා උඩින් විසිවී ගොස් මුහුදට වැටුණි. ඒ සමගම නැවේ අනෙක් පැත්තෙන් ඉදිරියට පැන්න උදකාභිරාක්‍ෂයන්ද, අවට තිබූ තවත් පන්දම් සතරකට පහර දුන්නෙන්, නැව් තට්ටුව මත ඉතිරි වූයේ මධ්‍ය කුඹ ගසේ තිබූ කුඩා පන්දමක් පමණි.

නැව් තට්ටුව අඳුරින් වෙළී යද්දී, අන්ධකාරය මධ්‍යයේ ‘කිසි කිසි’ අනුකරණයෙන් වැදුණු ප්‍රබල

අසිපත් පහරවල් වලින් අත් පා කැපී වැටුණු සෙබළුන් මර ළතෝනි දුන්හ. නැවේ පහළ තට්ටු වල සිටි සෙබළුන් විසි දෙනෙක් පමණ මෙවිට ආයුධ රැගෙන නැව් තට්ටුවට දිව ආහ. වානයට වානය ගැටීමෙන් නැගුණු හඬින් වාතය පිරී ගිය අතර, හර්ෂදේවයන් මෙන්ම අනෙක් පසින් නැව් තට්ටුවේ සිටි උදකාභිරාක්‍ෂයෝ සිය තියුණු නැමි කඩුපත් යුවළින්, සතුරන් පස් දෙනෙකුට නොඅඩු පිරිසක් සුමඟුව පෙති ගසා හෙළූහ. මෙහිදී නැවේ මධ්‍ය කුඹ ගසට ආසන්න වූ හර්ෂදේවයන් සටන අතරතුර දීම එල්ල කළ අසිපත් එහි දැල්වුණු එකම පන්දම ද නිවී ගියෙන් මුළු නැව් තට්ටුවම ඝන අන්ධකාරයක ගිලී ගියේය.

මෙහිදී අනෙක් යාබද නැව් වල සිටි සතුරු සෙබළුන් හට ඇසුණේ කඩුපත් ගැටෙන හඬ සහ සිය

සගයින් ගේ මර ළතෝනිය පමණි. මෙහිදී දෙපස වූ නැව් වල සිටි සෙබළුන්ට ප්‍රධාන නැවට පනින්නට දුර වැඩි වූ නිසා මුහුදට පැන සිම්ජා ගේ නැවට ගොඩ වන්නට යන බවක් පෙනෙන්නට වූයෙන්, අවස්ථාවේ අන්තරාය මැනවින් තේරුම් ගත් උදකාභිරාක්‍ෂයන්, තමා හා සටනේ යෙදී සිටි අවසන් සතුරාද කපා හෙළා, වේගයෙන් දිව ගොස්, දිය කාවෙකු මෙන් ඒ අන්ධකාර සාගර ජලයට කිමිදුණේය. ඒ අතර තුර දී තමාට ඉදිරියෙන් ඉවක් බවක් නැතිව අන්ධකාරයේ අසිපත් වැනූ සතුරු සෙබළුන් සිව් දෙනෙකු ක්‍ෂණික අසිපත් පහරවලින් කපා හෙලූ හර්ෂදේවයෝ, වේගයෙන් දුව ගොස් නැවේ පසෙකින් පහතට බසින්නට තනා තිබූ දැවමුවා පියගැට පෙළ ඔස්සේ නිහඬව පහළට බැස්සාහ.

මෙහිදී අන්ධකාර සාගර ජලයට බට උදකාභිරාක්‍ෂයන් හට පෙනී ගියේ සතුරු සෙබළුන් එකිනෙකා වැල් ඉණිමගකින් ජලයට බසිනා බවයි. මෙහිදී උදකාභිරාක්‍ෂයන් දෑතේ ඇඟිලි පටලවා කිසියම් හස්ත මුද්‍රාවක් දරමින් කිසිවක් ජප කරත්ම, ඔහුගේ දෙනෙතේ කළු ඉංගිරියාව දැඩි නිල්වන් ස්වභාවයකින් දිලිසෙන්නට පටන් ගත්තේය. ක්‍රමයෙන් ඔහුගේ සිරුර වටා වූ සාගර ජලය දිය සුළියක ආකාරයෙන් භ්‍රමණය වන්නට වූ අතර, දිය කඳ දැඩි ශීතල ස්වභාවයකට පරිවර්තනය විය. අවට වූ මත්ස්‍යයෝ බියෙන් යුතුව ඒ අසලින් පළා ගියහ. මේ කිසිවක් නොදත් සතුරු සෙබළුන් එකිනෙකා දියට පැන්නහ. මෙහිදී ඔවුන් දෙස තියුණු බැල්මකින් බැලූ උදකාභිරාක්‍ෂයෝ හිටි වනම ජලයේ ගිලී නොපෙනී ගියහ.

ප්‍රධාන නෞකාව දෙපස නැව් වලින් දියට බට සෙබළුන් සිම්ජාගේ නෞකාව දෙසට කඩිනමින්

පිහිනා යන්නට වූහ. එහෙත් ඔවුන් හට පහළින්, සයුරු දිය තුළින් පැමිණෙන මාරයා ගැන ඔවුන්ට තැකීමක් වූයේ නැත. මොහොතක දී ඉදිරියෙන් පිහිනා ගිය සෙබළෙක් අදෘශ්‍යමාන ජලීය හස්තයකින් සයුරු දිය තුළට ඇදගත් අතර, තත්පර කිහිපයක දී ඔහුගේ මළ සිරුර දිය මත පා වෙන්නට පටන් ගත්තේය. දෙවනුවත්, තෙවනුවත්, නෞකාව දෙපසින් පිහිනා ආ සතුරු සෙබළුන්ට එයම සිදු වෙද්දී, යාබද නෞකා වල සිට සිය සගයින් දෙස බලා උන් සතුරු සෙබළුන් භීතියෙන් ත්‍රස්ත වී ගියහ. එවන් දෙයක් ඔවුන් කිසිදා අසා හෝ දැක නොතිබූ හෙයිනි. උදකාභිරාක්‍ෂයෝ, ගෝරාවරයෙකු ගේ වගකීම අකුරටම ඉටුකරමින් සිටියහ.

ඒ අතරතුර දී නැව් තට්ටුව අභ්‍යන්තරයේ කාමරයෙන් කාමරයට ගමන් ගත් හර්ෂදේවයෝ, තමන්

ගේ මුහුණට හමු වූ සතුරු සෙබළුන් ගණනාවක් පෙති ගසා දැමුවේය. ඔහුට සතුරු රුධිරය තවත් අවශ්‍ය වී තිබිණ. මෙසේ නැවේ යට තට්ටුව සම්පූර්ණ පරීක්‍ෂා කර බැලීමෙන් අනතුරුව, එතැනිනුත් පහළ වූ නැවේ ගුදමට ගමන් ගත් පඩිපෙළ දක්නට ලැබුණේය. සිය අසිපත් යුවළ සූදානම් කරගත් හර්ෂදේවයෝ පරීක්‍ෂාවෙන් යුතුව නැවේ පහළම තට්ටුවට බැස්සාහ.

මෙහිදී ඒ තට්ටුවේ දල්වා තිබූ පන්දම් කිහිපයකින්, එකිනෙකට යාබද ලෙස අසුරා තිබූ පීප්ප

ගණනාවක් දක්නට ලැබුණූ අතර, වියළන ලද හරක් මස් පළු රාශියක් එල්ලා තිබිණ. සිම්ජා විසින් පානය කිරීමට ගෙනා බටහිර දේශයේ බීර මෙන්ම, සතුරන් ගේ ගම්මාන ගිනි තැබීමට ගෙනා තෙල් වලින් ද එම පීප්ප පිරී ගොස් තිබිණ. එසේම ගෙන්දගම් කුට්ටි රාශියක් රෙදිවල ඔතා තිබූයෙන්, මොවුන් පැමිණ ඇත්තේ හොඳීන් නැත්නම් නරකින් හෙළ දෙරණ විනාශ කර දැමීමට බව හර්ෂදේවයන්ට පැහැදිලි වීය.

ගුදම කෙළවර වූයේ වසා දැමූ දැවමුවා දොරකින් යුතු කුඩා කාමරයකි. ඒ කාමරයේ දොර අගුළු දමා වසා තිබිණ. නිහඬව ඒ දොරටුවට කන තැබූ හර්ෂදේවයන්ට ඇසුණේ ඇතුළත සිටි කිසිවෙක් සැහැල්ලු පියවරින් එහා මෙහා සක්මන් කරන බවයි. නොසේදූ සුනඛයෙකු ගේ සිරුරකින් නිකුත් වන ගන්ධයක් වැනි ගඳක් ද දැනී ගියෙන්, තමා සොයන්නා වූ නිට්ටෑවා සිටින්නේ මෙහි බව ඔහුට දැනී ගියේය.

ක්‍ෂණිකව එල්ල කළ ප්‍රබල පා පහරින් දොරේ අගුළ ගැලවී, සරණේරු ද කැඩී යමින් දොර කාමරය තුළට ඇද වැටිණි. කාමරයේ දොරින් ඇතුළු වූ ආලෝකයෙන් හර්ෂදේවයෝ, තමා ඉදිරියේ සිටගෙන සිටි ඒ සුනඛාකාර කුරු මනුෂ්‍යයා දෙස බලා සිටියහ. ඒ නම්, හෙළයන්ගේ දේශයේ සිතියම සොරාගෙන සිම්ජා හට බාර දුන් නිට්ටෑවා වීය. හර්ෂදේවයන් ගේ රුව දකිත්ම, ඌ බියෙන් මෙන්ම ක්‍රෝධයෙන් යුතුව, සිය තියුණූ රදනක දත් පෙන්වා තර්ජනාත්මක ලීලාවෙන් හර්ෂදේවයන් හට විරිත්තුවේය.

“හෙළ දෙරණ ආක්‍රමණය කරන්න ආපු පරයන්ට රහස් කියපු ගෙරිමස් කන බල්ලා...”

හර්ෂදේවයෝ ක්‍රෝධයෙන් යුතුව ශ්වාසයක් පිට කළහ.

“ඒ සියල්ලම අදින් අවසානයි. දැන් තෝ පල නිරයටම...”

වේගයෙන් පහත් වූ අසිපත් තලයෙන් සිඳී ගිය නිට්ටෑවාගේ හිස, උඩින් විසිවී ගොස් බිත්තියේ හැපී බිම පතිත විය. බිම ඇද වැටුණු කවන්ධය, මදක් එහා මෙහා දඟලා, ඇඹරී නිසල විය. මෙහිදී නිට්ටෑවාගේ සිඳුණු හිස උගේ සුනඛාකාර කන් වලින් අල්ලා ඔසවා ගත් හර්ෂදේවයෝ, එම හිස් ගෙඩිය රැගෙන ඉවතට පැමිණ, ඒ අසල වූ රෙදි තැන්පත් කළ රාක්කයක තිබූ රෙදිකඩක දවටා ගැට ගසා, හොඳීන් ඔතා ගත්තේ ධූරා වෙත ගෙන යාමටය.

යන්නට පෙර ඔහුට යමක් සිහිපත් විය. අසල වූ ඉන්ධන තෙල් සහිත පීප්ප ගණනාවක් ඔහු සිය තියුණු අසිපතින් පහර දී විවර කර ගත්තේය. ඉන්පසුව ඒ එකකට එකක් සම්බන්ධ වන සේ, අර රාක්කයෙන් දිගු රෙදි ගණනාවක් ගෙන ඒවා පොඟවා පීප්පයෙන් පීප්පයට ඇතුළු කළේය. ඉන්පසුව එසේම දිගු රෙදි කඩවල් ගණනාවක් ගෙන ඉක්මණින් ඒවා එකිනෙක ගැටගසා, තෙල් වලින් පොඟවා පියගැට පෙළ දිගේ ඉහළට එන තෙක් බිම අතුරාලීය. ඉන්පසුව නිට්ටෑවාගේ හිස සහිත පොදිය අතට ගෙන, දැල්වෙමින් පැවති කුඩා පන්දමකුත් ගෙන, පියගැටපෙළ නැග කඩිනමින් ඉහළට ආවේය.

මෙහිදී අවට තිබූ නැව් සියල්ලේම සෙබළුන් අවදිව ආක්‍රමණයට සැදී පැහැදී සිටිනු දක්නට ලැබුණි. සෑම නැවක්ම පන්දම් දල්වා ආලෝකමත් කර තිබුණු අතර, දිගු යුද ඔරු වලින් සෙබළුන්, ප්‍රධාන නැව වෙතට එන්නට සූදානම් වී තිබිණ. ප්‍රධාන නෞකාව පාමුල සතුරු සෙබළුන්ගේ මළ සිරුරු රාශියක් පා වෙමින් තිබුණි. හර්ෂදේවයන් ගේ මුවෙහි රැඳුණේ ජයග්‍රාහී මද සිනාවකි.

“එහෙනම්... ඔන්න නුඹලාට අපෙන් ත්‍යාගයක්...”

මෙසේ කියූ හර්ෂදේවයෝ සිය අතේ වූ පන්දම, තමා ඇදගෙන ආ තෙල් සහිත රෙදිකඩ දෙසට

දැමීය. මෙහිදී සැණින් එම තෙල් වලට ගිනි ඇවිලී ගොස්, රෙදිකඩ දිගේ පහළට ගින්න පැතිර යත්ම, වේගයෙන් නැව් තට්ටුව දිගේ දිව ගිය හර්ෂදේවයෝ, නැවේ ඇණිය දෙසින් මුහුදට පැන්නේය. ඔහුට පිහිනා යා හැකි වූයේ මද දුරකි. මුළු ප්‍රදේශයම දෙදරුම් කවමින් සිම්ජාගේ නෞකාවේ තෙල් පීප්ප පුපුරා ගියේ විශාල ගින්නක් ඇති කරවමිනි. මෙහිදී නැගුණු සෙබළුන් ගේ කෑ ගැසීම අතර, තවත් දෙතුන් වරක් පිපිරීම් කිහිපයක් ඇති වීය. මෙහිදී ඒ දෙස පරීක්‍ෂාකාරීව බලා සිටි හර්ෂදේවයන් හට දිස් වූයේ දිය යටින් කිමිදී තමා වෙත එන උදකාභිරාක්‍ෂයන් ය. ඔහු දැඩි සතුටින් යුතුව සිය සගයාගේ කර වටා අත යවා වැලඳ ගත්තේය.

“අපේ ඉලක්කය අපි ජය ගත්තා හූරා... අපි ජය ගත්තා...”

සිය ඉලක්කය ජය ගත් මේ මහා ගෝරාවරුන් දෙපළ, වේගයෙන් පිහිනා ගොස් නැගෙනහිර වෙරළ ස්පර්ශ කරනා මොහොත වන විටත් සිම්ජා ගේ නෞකාව එකම ගිනි ජාලාවක් බවට පත්ව තිබිණ.

මතු සම්බන්ධයි.

කතාව

හෙළසිරි ඉඳුනිල්
මොරමුදලිආරච්චි
සිතුවම - සමන් ශ්‍රී කාන්ත

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 16 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.