විෂයය කරුණු නොදැන අඳුරේ අතපතගාන්නෝ

මාර්තු 11, 2022

ඡ්‍යොතිෂය යනු බැබලීමයි. ඉරහඳ තාරකා ඇතුළු විශ්වයේ පවතින අනෙකුත් ග්‍රහයින්ගේ බැබලීම අරුමයක් නොවේ. එහෙත් ඡ්‍යොතිෂය බොරුයයි කියන අන්ධ භක්තික පිරිසක් මොරදෙන අයුරු අපිට විටින් විට අසන්නට ලැබීම කණගාටුවට කරුණකි. හිරු පායා දිවා කල උදාවී අනතුරුව සඳුගේ ආලෝකය රාත්‍රියේ එළඹීමත් දකින මේ නරුමයන් එසේ ඡ්‍යොතිෂය බොරු යයි කීම කොතෙක් නම් අසාධාරණ ද. සිය මව පියා පවා නොහඳුණන තම දුවා දරුවා පවා නොහඳුණ පිරිසක් සිටින මේ රටේ එසේ කියනවුන් සිටීමද පිළිබඳ පුදුම විය යුතු නොවේ. ඔබ වෙසෙන මේ විශ්වයේ ගහකොළ තුරු වදුළුවලට ජීවය දීමට හිරුගේ රශ්මිය මහෝපකාරී වෙයි. අපගේ සමට ඡවි වර්ණය ලැබීමට මහපොළොව මත පතිත විෂබීජ නසන්නට ගහකොළ, තුරු වදුළුවලට ජීවය දෙන්නට එහි මල්ඵල හට ගන්වන්නට හිරුඑළිය තරම් දෙයක් වෙනත් නැති තරම් ය. ඒ සඳහා ජලය පස හා පරිසරය මහෝපකාරී වනු ඇතත් ඒ හැම එකකටම හිරුගේ බලපෑම අත්‍යවශ්‍යවෙයි. ඒ හැරෙන්නට සඳුගේ බලපෑමද එසේම වනු ඇත. විටෙක වඩදිය බාදිය ගලන්නට කෙනෙකුගේ චිත්ත චෛතෂිකයේ ස්වභාවයත් හැසිරවීමට සඳුගේ ආකර්ශනය තරම් වෙනත් දෙයක් නැති තරම්ය. අනෙකුත් ග්‍රහ තාරකා අතර සඳ හිරු හැරෙන්න කුජ බුධ- ගුරු, සිකුරු, සෙනසුරු ද එසේම නොපෙනෙන බලපෑමක් අපට අප පරිසරයට සොබා සෞන්දර්යයට බලපාන බව ඔබ අප කා වුවද දැන සිටිය යුතු පරම සත්‍යයකි. ඒ කෙසේ වුවද ලොව දියුණුවෙන් හිනි පෙන්නට ගොස් තබියදී ඡ්‍යොතිෂය වැනි හණමිටි අදහස් දරණ විෂයයක් යයි තවත් සමහරු චෝදනා මුඛයෙන් කතා කළද හඳට යාමට රොකට්ටුව තැනූ විද්‍යාඥයෝ පවා දෙවෙනි වෙමින් රොකට්ටුව කක්ෂ ගත කිරීමට අවශ්‍ය හෝරා දින ඇතුළු කාල නිර්ණයන් නිර්මාණය කළේ ප්‍රවීන ඡ්‍යොතිෂවේදීහු පිරිසක් බව දන්නේ කීයෙන් කී දෙනාද සඳ එක තැනක නොසිටින චලනය වන ග්‍රහ වස්තුවක් වන අතර එයට සම්බන්ධ වීමට ඒ පෘථිවියේ සිට රොකට්ටුව ගමන් කළ යුතු දිනය හෝරාව පිළිබඳ තීන්දු තීරණය කළ ඡ්‍යොතිෂවේදීන් නොසිටින්නට විද්‍යාඥයින්ට රොකට්ටුව තනා ළඟ තබා ගැනීමට සිදුවන බව නොකියාම බැරිය.

එය එසේ වන ලෙසම නැකැතක් තැනීමට වාස්තු විද්‍යානුකූලව නිවසක් තැනීමට ගුප්ත විද්‍යානුකූලව ශාන්ති කර්මයක් සිදු කිරීමට මෙන්ම ශබ්ද විද්‍යාව උපයෝගී කරගෙන සෙත් ශාන්තියක් සිදු කිරීමට ඡ්‍යොතිෂයේ වැදගත්කම මොනවට පැහැදිලි වෙයි. එසේම අපට අපේ සංස්කෘතික ලක්ෂණ ලොවට විදහා පෑමට සමත් සූර්යය මංගල්‍යය වැනි උත්සව කේන්ද්‍ර කර ගනිමින් කරන නැකැත් කෙළිය අපට අපේ එකමුතුකම, සමානාත්මතාව එකට සිට එකම වේලාවක නැකැතට කටයුතු කිරීමේ පුදුම ක්‍රියාදාමය ලොවට කියාපෑමට අපට ඇති මහත් වූ සංස්කෘතික ගති ලක්ෂණයකි. දියුණු, යයි කියන කිසිඳු රටක දක්නට නැති මෙම මා හැඟි සංස්කෘතික කටයුත්ත ඡ්‍යොතිෂය නොවන්නට අපට අහිමි වන්නට ඉඩ තිබුණි. තත්ත්වය එසේ පමණක් නොව තව බොහෝ ක්‍රියාකාරකම් අප සංස්කෘතියට ඈදාගෙන තිබීම මෙම මාහැඟි ඡ්‍යොතිෂයේ වටිනාකම ඔබට අපට කියාපාන්නකි. ඒ නිසා ඡ්‍යොතිෂය පිළිබඳ බොරුයයි කියන පිරිස අඩුම තරමින් ඒ පිළිබඳ ලියා ඇති එක පොතක් හෝ කියවා ඇත්නම් මේවා බොරු යයි නොකියනු ඇත. පරිසරය අධ්‍යයනය කිරීම මේ පිළිබඳ දැනුමැති බුද්ධිමත් අය ඇසුරු කිරීම මේ විෂයය පිළිබඳ ලියැවී ඇති පොත පත පරිශීලනය කිරීම මෙම විවේචකයින්ට පැවරී ඇති මා හැඟි වගකීමක් බව මම තරයේ ප්‍රකාශ කරමි. අඳුරේ අතපතගානවාට වඩා ආලෝකය පතා එක පහනක් හෝ දැල්වීමට කටයුතු කිරීම ඔබ අප සැමගේ යුතුකම වන්නේ ය.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
16 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.