2023 ඔබගේ ලග්නයට බලපාන්නේ මෙලෙසයි

දෙසැම්බර් 30, 2022

මේෂ

මේෂඋරුම හිමිකම්

නව වසර ආරම්භයේදී ලග්නාධිපති කුජ දෙවැන්නේ ගමන් කරන අතර සඳු රාහු ලග්නයේ ගමන් කරයි. මේෂයට යෝග කාරක රවි ගුරු නවයේ සහ දොළහේ ගමන් කරයි. ශනි සහ සිකුරු දහයේ ද කේතු හතේ ද බුධ නවයේ ද ගමන් කරයි. අපේ‍්‍රල් 22 ගුරු මේෂ ලග්නයට පැමිණෙන අතර ජනවාරි 17 සෙනසුරු අයස්ථානය වන කුම්භ රාශියට පැමිණේ. අපේ‍්‍රල් දක්වා තරමක් සුබ මදි. උගුරේ බෙල්ලේ පීඩාදායක තත්ත්ව ඇති විය හැකි ය. රහස් මාර්ගවලින් මිල මුදල් ලැබීම්ද ඇතිවේ. එසේම වියදම් ද යෙදේ. පාරම්පරික උරුම හිමිකම් ලැබේ. කලබලයෙන් තොරව සිටීම යහපත් වේ. ක්ෂණික තීරණ ගැනීමෙන් වැළකිය යුතුය. යුගදිවිය ගැන සැලකිලිමත් විය යුතුය. සිකුරු දශාගත කරන අයට මංගල යෝග උදාවේ. සිකුරු උපතේදී ද එකොළහේ සිටියේ නම් සහකරු හෝ සහකාරිය ඔබ සොයා පැමිණෙයි. දියුණුවද යෙදේ. බුධ දසා ගත කරන අයට ද යහපත් වේ. පෙර පිං බලයෙන් අධ්‍යාපන කටයුතු ආදිය සාර්ථක වේ. ධනයට සහ රැකියා කටයුතුවලට ද යහපත් වේ. සඳු දශා ගත කරන අයට අධිෂ්ඨාන ශක්තියෙන් කටයුතු කළ හැකි ය. වගා කටයුතුවලට ද යහපත් වේ. සෙම් දෝෂ පීඩා මෙන්ම හදිසි තුවාල හිසට විය හැකි ය. රවි දශා ගත කරන අයට ද සුබයි. අධ්‍යාපන කටයුතුවලට පහසුකම් මෙන්ම උදව් උපකාර ද ලැබිය හැකි ය. ජයග්‍රහණ අත් කරගත හැකිය. ගුරු දශා ගත කරන අයට අපේ‍්‍රල් අග සිට සුබයි. ජීවිතයේ වැදගත් කටයුතු සාර්ථක වේ. ශනි දසා ගත කරන අයගේ ආදායම දියුණු වේ. රාහු කේතු දශා ගත කරන අයට සුබ මදිය. සුබ වර්ණය – නිල්, රතු සුබ මැණික් – රතු, නිල් ජය දින – ඉරිදා, අඟහරුවාදා ජය අංක – 6,8,9 සුබ දිශාව – නැඟෙනහිර


මිථුන

මිල මුදල් ලාභ

නව වසර ආරම්භ වන විට ලග්නාධිපති බුධ රවි සමඟ හත්වැන්නේ කේන්ද්‍රගතවද කේතු පහේ ද සෙනසුරු අටේ ද ගුරු දහයේ ද යෝගකාරක සිකුරු අටේ ද සඳු රාහු අයස්ථානයේ ද කුජ දොළොස්වැන්නේ ද ගමන් කරයි. ජනවාරි 17 සෙනසුරු නවයට ද අපේ‍්‍රල් 22 ගුරු එකොළහට ද පිවිසෙයි. බුධ දශා ගත කරන අයට පෙබරවාරි දක්වා තරමක් සුබමදි. ගැටලු ප්‍රශ්න ඇතිවීමට ඉඩ තිබේ. පවුලේ ප්‍රශ්න විවාහ ප්‍රශ්න වීමටද ඉඩ තිබේ. පසුව ප්‍රශ්න මග හැර යහපත උදාවේ. සත්‍යවාදි ලෙස කටයුතු කරයි. සඳු දශා ගත කරන අයට මිල මුදල් ලාභ ගෙන දෙයි. කරන කියන කටයුතු සාර්ථක වේ. හිසේ අමාරු, පීනස වැනි රෝග ඇති විය හැකි ය. රවි දශා ගත කරන අයට ආදායම් මාර්ග කීපයක් උදාකරගත හැකි ය. කරන කියන කටයුතු දියුණුවේ. ප්‍රසිද්ධිය ඇතිවේ. සිකුරු දශා ගත කරන අයට ද සුබයි. දුර දිග බලා කටයුතු කරන අතර පවුලේ දියුණුවද ඇති කරයි. උසස් අධ්‍යාපනය ලබන අයට ද සුබදායක වේ. දියුණුවට ආධාර ලැබේ. කුජ දශා ගත කරන අයට තරමක් අසුබදායකය. නඩු හබවලින් ඈත්වී කටයුතු කළ යුතුය. අනතුරු පීඩා වලින් ද ආරක්ෂා විය යුතුය. වියදම් වැඩිවේ. කල්පනාකාරිව කටයුතු කළ යුතුය. ගුරු දශා ගත කරන අයට ආදායම් මාර්ග යෙදෙන අතර දේපළ ලාභද ගෙන දේ. වැදගත් තනතුරු ලැබිය හැකිය. සෙනසුරු දශා ගත කරන අයට ආත්ම ගෞරවයෙන් යුක්තව කටයුතු කළ හැකිය. ලැබීමේ වාසනා ගුණ ඇතිවේ. රාහු දශා ගත කරන අයට සුබය. ධනලාභ ලැබේ. කේතු දශා ගත කරන අයට සමපලදායක වේ.

සුබ වර්ණ – කොළ, විසිතුරු සුබ මැණික් – පච්චගල් ජය දින – සඳුදා, සිකුරාදා ජය අංකය – 3 සුබ දිශාව – උතුර, නැඟෙනහිර


වෘෂභ

නිලතල ලැබේ

නව වසර ආරම්භයේදී ලග්නාධිපති සිකුරු නව වැන්නේ ද කුජ ලග්නයේ ද කේතු හයේද රවි බුධ අටේ ද සෙනසුරු නවයේ ද ගුරු අයස්ථානයේ ද සඳු රාහු දොළහේ ද ගමන් කරයි. ජනවාරි 17 සෙනසුරු දසවැන්නට පැමිණෙන අතර අපේ‍්‍රල් 22 ගුරු දොළොස්වැන්නට පැමිණේ. සිකුරු සෙනසුරු දශා ගත කරන අයට සුබදායක වේ. රැකියා ව්‍යාපාර කටයුතු දියුණු වේ. උනන්දුවෙන්, උත්සාහයෙන්, අධිෂ්ඨානයෙන් කටයුතු කළ හැකිය. අනුන්ගෙන් දොස් නාසන විදියට කටයුතු කළ හැකි අතර කරදරවලින් නිදහස් විය හැකිය. බලය නිලතල ලැබේ. බුධ දශා ගත කරන අයට ද පෙබරවාරි සුබයි. ඉගෙනගන්නා අයගේ අධ්‍යාපන කටයුතුද දියුණු වේ. ලැබීම් ද ඇතිවේ. දියුණුවට ඉවහල් වන කටයුතු සිදුවේ. සඳු දශා ගත කරන අයට ස්ථානමාරු ගමන් බිමන් පදිංචිය වෙනස්වීම් ඇති විය හැකිය. ප්‍රසිද්ධිය ඇතිවේ. රවි දශා ගත කරන අයට උරුම හිමිකම් ලැබීමේ වාසනාව ඇතිවේ. වන්දනා ගමන්, විදේශ ගමන් යෙදීමට ද ඉඩ තිබේ. සමාජයෙන් ගෞරව ලැබිය හැකිය. කුජ දශා ගත කරන අය අනතුරු පීඩාවලින් ආරක්ෂා විය යුතුය. අනවශ්‍ය ගමන් බිමන්වලට නඩුහබවලට වියදම් වීමටද ඉඩ තිබේ. ගුරු දශා ගත කරන අයට ද තරමක් සුබ මදිය. ආර්ථික අපහසුතා ඇතිවේ. වියදම් වැඩිවේ. ආගමික අංශයට සහ අධ්‍යාත්මික අංශවලට යොමුවේ. රාහු දශා ගත කරන අයට ද සුබ නැත. ඉගෙන ගන්නා අයගේ ඉගෙනීම්වලට බාධා ඇතිවේ. ස්ථාන මාරු මෙන්ම ගමන් බිමන් ද යෙදේ. හිතේ අසහන ගතිද ඇතිවේ. විදේශ ගමන්ද යෙදිය හැකිය. නාගර්ජුන යන්ත්‍රය පලඳින්න. කේතු දශා ගත කරන අයගේ ශරීර සනීපයට බාධාවේ. සුබ වර්ණය - නිල්, කොළ සුබ මැණික් – පච්චගල් ජය දින – බදාදා, සිකුරාදා

ජය අංකය – 5,6 සුබ දිශාව – නැඟෙනහිර


සිංහ

ධනය දියුණු වේ

මෙම නව වසර ආරම්භයේදී ලග්නාධිපති රවි බුධ සමඟ පස්වැන්නේ ත්‍රිකෝණගතව සිටින අතර කේතු තුනේ සෙනසුරු, හයේ, සිකුරු හයේ් ගුරු අටේ සඳු රාහු නවයේ කුජ දහයේ ද යෙදී ඇත. ජනවාරි 17 සෙනසුරු හත්වැන්නට ද අපේ‍්‍රල් 22 ගුරු නවවැන්නට ද පිවිසෙයි. යෝග කාරක කුජ දහයේ කේන්ද්‍රගතවීම සුබයි. සෙනසුරුගෙන් අෂ්ටම ඒරාෂ්ටකය පවති. රවි දශා ගත කරන අයට සමපලදායක ප්‍රතිඵල ලැබේ. රැකියා අංශ ද දියුණුවේ. බුධ දශා තිබෙන අයට ද සුබයි. ඉගෙනීමේ නියුතු අයගේ අධ්‍යාපන කටයුතු දියුණු කරගත හැකිය. ධනය උපයන මාර්ග දියුණුවේ. ධන ලාබද ඇතිවේ. සිකුරු දශා ගත කරන අයගේ හවුල් ව්‍යාපාර දියුණුවේ. ආගමික සමාජසේවා වැනි කටයුතුවලටත් යොමුවේ. කුජ දශා ගත කරන අයට ද සුබයි. ව්‍යාපාර කරන අයගේ එම කටයුතු සහ වෙළඳ කටයුතු දියුණු ූවේ. නිලතල ද ලැබේ. ගේ දොර ඉඩකඩම්, යානවාහන ලැබේ. ඒවාගේ දියුණුවද ඇතිවේ. ගුරු දශා ගත කරන අයට ද සමඵලදායක වේ. උසස්වීම, දියුණුව ඇතිවේ. සෙනසුරු දශා ගතකරන අයට තදබල අපල නොවේ. සෙනසුරු හතේ දිග් බලයෙන් යුතුය. සස යෝගය ද යෙදී තිබේ. පිරිස් බලය ඇතිවේ. මංගල යෝග ද උදාවේ. හවුල් කටයුතු ව්‍යාපාරවලට ද සුබයි. ගෞරවයෙන් යුතුව කටයුතු කළ හැකිය. සඳු දශා ගත කරන අයට ගමන් බිමන් විදේශ ගමන් යෙදිය හැකිය. ඉගෙන ගන්නා අයගේ ඉගෙනීමේ කටයුතු දියුණු වේ. හිසේ සෙම දෝෂ පීඩා ඇති විය හැකිය. රාහු දශා ගත කරන අයට දියුණුව, ප්‍රසිද්ධිය ඇතිවේ. ඉගෙන ගන්නා අයගේ ඉගෙනීමට බාධා ඇතිවිය හැකිය. කේතු දශා ගත කරන අයට සමපල වේ. අස්ථාන චෝදනා යෙදිය හැකිය. සුබ වර්ණය – රතු සුබ මැණික් – බෙරලියන්තු ජය දින – බදාදා, සිකුරාදා ජය අංක – 09

සුබ දිශාව – උතුර, දකුණ


කටක

ජීවන මාර්ග දියුණුව

ලග්නාධිපති සඳු රාහු සමඟ දසවැන්නේ කේන්ද්‍රගතව සිටින අතර කේතු හතරේ රවි බුධ හයේ සෙනසුරු හතේ සිකුරු හතේ ගුරු නවයේ කුජ අයස්ථානයේ ද ගමන් කරයි. යෝග කාරක කුජ ගුරු බලවත්වීම අනුව නව වසර සුබයි. පසුබට නොවී උනන්දුවෙන්, උත්සාහයෙන් කටයුතු කළ හැකිය. ගමන් බිමන් යෙදෙන අතර ජීවන මාර්ග ද සතුටුදායක වේ. පීනස වැනි රෝග පීඩා ද යෙදිය හැකිය. තම මතයට කටයුතු කරයි. රවි දශා ගත කරන අයට ද වරදක් නැත. කරන කියන කටයුතු දියුණු කරගත හැකිය. සතුරන් මර්දනය කරගත හැකිය. බුධ දශා ගත කරන අයගේ ශරීර සෞඛ්‍යයට පීඩාදායක වීමට ඉඩ තිබේ. දුක් දොම්නස් ඇතිවේ. දියුණුව ප්‍රමාද වේ. ආගමික අංශවලින් ප්‍රසිද්ධිය ඇති වේ. සිකුරු දශා ගත කරන අයට සමඵල තත්ත්ව ඇතිවේ. දියුණුව අඩුවේ. යුගදිවි සතුට අඩුවේ. කුජ දශා ගත කරන අයට ලැබීම් ඇතිවේ. පොළොවෙන් ලාබ මෙන්ම මැණික් ලාබද ඇති විය හැකිය. ආර්ථික අංශය දියුණු වේ. කටක ලග්නයට ගුරු ගේ දශාවල් ද සුබයි. උරුම හිමිකම් ලැබිය හැකිය. බාධක ඇතිවුවත් විශේෂ ජයග්‍රහණ ලැබිය හැක. සාධාරණ ලෙස කටයුතු කරයි. බලය අයුතු ලෙස නොයදවයි. සෙනසුරු දශාගත කරන අයට වාත රෝග පීඩා හෝ අනතුරු පීඩා යෙදීමට ඉඩ තිබේ. කල්පනාකාරිව කටයුතු කළ යුතුය. බුදුගුණ සහ මෛත්‍රි භාවනා කළ යුතුය. කපුටු දානය දෙන්න. සිවුරක් පූජා කරන්න. රාහු දශා ගත කරන අයට රැකියා අංශවල කරදර බාධා යෙදිය හැකිය. අනතුරු පීඩා යෙදීමටද ඉඩ තිබේ. කේතු දශා ගත කරන අයට මහන්සියේ තරමට ප්‍රතිඵල අඩුවේ. සුබ වර්ණය – රතු, කහ සුබ මැණික් – පච්ච, දියපච්ච

ජයදින – අඟහරුවාදා, බ්‍රහස්පතින්දා ජය අංක – 3,5,9 සුබ දිශාව – දකුණ


කන්‍යා

යාන වාහන ලාභ

නව වසර ආරම්භවන විට ලග්නාධිපති බුධ, රවි සමඟ කේන්ද්‍රගතව හතරවැන්නේ සිටින අතර කේතු දෙකේද සෙනසුරු පහේද සිකුරු පහේ ද ගුරු හතේ ද සඳු රාහු අටේ සහ කුජ නවයේ ද යෙදී ඇත. ජනවාරි17 සෙනසුරු හය වැන්නට ද අපේ‍්‍රල් 22 ගුරු අටවැන්නට ද පිවිසෙයි. බුධ දශාගත කරන අයට සුබයි. දියුණුව ඇති කරයි. ඉඩකඩම් යානවාහන ලැබේ. රැකියා කරන අයට නිල නිවාසද හිමිවේ. හොඳින් තම කටයුතු ඉටුවේ. සිකුරු දශා ගත කරන අයටද නරක නැත. සුබදායකවේ. ලැබීම්, ධනලාභ ඇතිවේ. ගමන් බිමන් යෙදේ. සෙම් දෝෂ පීඩාද යෙදිය හැකිය. කුජ දශාගත කරන අය කල්පනාකාරිව කටයුතු කළ යුතුය. අනතුරු පීඩාවලින් ආරක්ෂා විය යුතුය. ඉගෙන ගන්නා අය සැලකිල්ලෙන් එම කටයුතු කළ යුතුය. නැතිනම් ඉගෙනීමට බාධාවේ. සංගීත කලා අංශ දියුණු වේ. ප්‍රසිද්ධිය ඇතිවේ. ගුරු දශා ගත කරන අයට මංගල යෝග උදාවේ.අවිවාහක අයට යහපත් විවාහ සිදුවේ. රැකියා ව්‍යාපාර කටයුතු දියුණු වේ. අපේ‍්‍රල් 22න් පසු තරමක් අසුබ ඇතිවේ. ශරීර සනීපයට බාධා වේ. උෂ්ණ රෝග පීඩා යෙදිය හැකිය. වකුගඩු මුත්‍රා ආශි‍්‍රත රෝග ඇති අය, සැලකිලිමත් විය යුතුය. ඉගෙන ගන්නා අය උනන්දුවෙන් ඉගෙනීමේ කටයුතු කළයුතුය. වැඩිහිටි අයගේ ධනය වැයවේ. රවි දශාගත කරන අයට ගේ දොර සඳහා වියදම් යෙදේ. රාහු කේතු දශා ගත කරන අයට හිසේ ඇස්වල පීඩා ඇතිවිය හැකිය. සුබ වර්ණය – කොළ සුබ මැණික් – පද්මරාග ජය දින – බදාදා, සිකුරාදා ජය අංක – 6,9 සුබ දිශාව – නැඟෙනහිර


තුලා

හදිසි ලැබීම්

මෙම නව වසර ආරම්භ වන අවස්ථාවේ ලග්නාධිපති සිකුරු හතරවැන්නේ ද කේතු ලග්නයේ ද රවි බුධ තුන්වැන්නේ ද සෙනසුරු හතරේ ද ගුරු හයේ ද සඳු, රාහු හතේ ද කුජ අටේ ද යෙදී ඇත. ජනවාරි 17 සෙනසුරු පස්වැන්නට ද අපේ‍්‍රල් 22 ගුරු හත්වැන්නට ද පැමිණෙයි. මෙම ග්‍රහ බල අනුව සිතට එකඟව කටයුතු කරමින් අන් අයගේ සිත් දිනාගෙන කටයුතු කරමින් දියුණුව ඇති කර ගත හැකිය. සිකුරු දශා ගත කරන අයගේ කලා සංගීත කටයුතු දියුණුවේ. ඥාති සම්බන්ධතා දියුණුූ කර ගත හැකිය. උදරගත රෝග පීඩා ද යෙදිය හැක. කුජ දශා ගත කරන අයට නිධන් වස්තු වැනි ලැබීම් ඇති විය හැකිය. අනතුරු පීඩාවලින් ආරක්ෂා විය යුතුය. වියදම් වැඩිවේ. අවදානම් වැඩ නොකළ යුතුය. ගුරු දශාගත කරන අයට සිතේ බිය ඇතිවේ. විදේශ ගමන් යෙදිය හැකිය. සහෝදරයන් සමඟ මතභේද ඇතිවිය හැක. ඒවා වළක්වා ගත යුතුය. කරුණාව, මෛත්‍රිය ඇතිවේ. සෙනසුරු දශා ගත කරන අයට වරදක් නැත. කරන කියන කටයුතු දියුණුූවේ. උපතේදී සඳු පහේ සිටි අයට තරමක් අගුණ ඇතිවේ. ගේ දොර ඉඩකඩම් ලැබේ. ස්ථිර අදහස් හා ප්‍රතිපත්තිවලින් යුක්ත වේ. බුධ දශා ගත කරන අය කීර්තියට ප්‍රසිද්ධියට පත්වේ. ගමන් බිමන් යෙදේ. කලා කටයුතුවලින් ද ලැබීම් ඇතිවේ. සඳු දශා ගත කරන අයගේ රැකියා ව්‍යාපාර කටයුතු දියුණු වේ. ඉඩකඩම් වගා කටයුතු දියුණූු වේ. රවි දශා ගත කරන අයට ද නරක නැත. ආදායම් මාර්ග සරු වීමට ඉඩ කඩ පවතී. ගමන් බිමන් යෙදේ. ප්‍රසිද්ධිය ඇතිවේ. රාහු දශා ගත කරන අයට ද සමපලදායක වේ. සුබ වර්ණය – ළා රතු සුබ මැණික් – දියමන්ති

ජයදින – සඳුදා, බදාදා ජය අංක – 2,4 සුබ දිශාව – නැඟෙනහිර


මීන

විදේශ ගමන

2023 වසර ආරම්භවන විට ලග්නාධිපති ගුරු ලග්නයේ සිට හංස යෝගය උදාකරයි. සඳු රාහු දෙවැන්නේ ද කුජ තුනේ ද කේතු අටවැන්නේ ද රවි බුධ දසවැන්නේ ද සෙනසුරු හා සිකුරු අයස්ථානයේ ද යෙදී ඇත. ජනවාරි 17 සෙනසුරු දොළොස්වැන්නට ද අපේ‍්‍රල් 22 ගුරු දෙවැන්නට ද පැමිණෙයි. ගුරු දශා ගත කරන අයට සුබදායක වේ. කරදර බාධක අඩුය. කරන කියන සියලු කටයුතු දියුණු කර ගත හැකිය. රැකියා වෙනස්වීමට ඉඩ තිබේ. නමුත් එය තම දියුණුවට හේතුවන කරුණක් වේ. කුජ දශා ගත කරන අයට ද වරදක් නැත. විදේශ ගමන් දුරගමන් යෙදීමට ඉඩ තිබේ. කොහොමත් තම කටයුතු සාර්ථක කර ගැනීමට හැකිවේ. කලබලයෙන් තොරව ඉවසීමෙන් කටයුතු කළ යුතුය. සිකුරු දශා ගත කරන අයට සමපල උදාවේ. පවුලේ අයට රෝග පීඩා යෙදිය හැකිය. බුධ දශා ගත කරන අයට මංගල යෝග උදාවේ. විවාහයෙන් දියුණුවද ඇති කරයි. උරුම හිමිකම් ලැබේ. අවබෝධය ඇතිවේ. සඳු දශා ගත කරන අයට කැපී පෙනීම ප්‍රසිද්ධිය ඇතිවේ. ඉගෙන ගන්නා අයටද සුබයි. ඉගෙනීම දියුණු කර ගත හැකිය. දරුපල අපේක්ෂා ඇති අයට දරුපල ලැබේ. උෂ්ණ රෝග, සෙම් රෝග යෙදිය හැකිය. රවි දශා ගත කරන අයට සතුරු කරදර නිසා රැකියා ප්‍රශ්න ඇති විය හැකිය. ස්ථාන මාරු යෙදිය හැකිය. උෂ්ණ රෝග පීඩාද ඇති විය හැකිය. තදබල අපල නොවේ.

සුබ වර්ණය – රතු,කහ

සුබ මැණික් – පළිඟුනිල්

ජය දින – බ්‍රහස්. අඟහ.

ජය අංක – 02, 5

සුබ දිශාව – උතුර


කුම්භ

දියුණුව ඇතිවේ

2023 වසර ආරම්භයේ දී ලග්නාධිපති සෙනසුරු ස්වක්ෂේත්‍ර බලයෙන් සිකුරු සමඟ දොළොස්වැන්නේ සිටින අතර ගුරු දෙකේ සඳු රාහු තුනේ කුජ හතරවැන්නේ කේතු නවයේ රවි බුධ අයස්ථානගතවද ඇත. ජනවාරි 17 සෙනසුරු ලග්නයට සහ අප්‍රේල් 22 ගුරු තුන්වැන්න වන මේෂ රාශියටද පැමිණෙයි. ජනවාරි 17 සිට සස යෝගයද උදාවේ. දැනුම බුද්ධිය වර්ධනය කරගෙන ආත්ම ගෞරවයෙන් යුක්තව තම දියුණුවට කටයුතු කරගත හැකිවේ. නිලතල ද හිමිවීමට ඉඩ තිබේ. ක්‍රමයෙන් දියුණුව ඇතිවේ. උපතේ දී සඳු ලග්නයේ සිටි අයට තරමක් සුබමදි. හිතට කරදර ඇතිකරයි. කේන්ද්‍රය බලවාගෙන අවශ්‍ය කටයුතු කරන්න. ගුරු දශා ගත කරන අයට ධන ලැබීම් ආදියට ඉඩ තිබේ. උරුම හිමිකම් ලැබේ. කරන කියන කටයුතුවලට සුබයි. අප්‍රේල් 22 න් පසු ශරීර සනීපයට බාධා ඇතිවිය හැකිය. උෂ්ණ රෝග පීඩා ඇතිවිය හැකිය. කුජ දශා ගත කරන අයට රැකී රක්ෂා ව්‍යාපාර කටයුතු දියුණුකරගත හැකිය. රැකියා ලැබීම්ද ඇතිවේ. රැකියාවෙන් දියුණුවද ලැබිය හැක. ලේ දෝෂ, සෙම් දෝෂ ඇතිවිය හැකිය. සිකුරු දශා ගත කරන අයටද සුබයි. ගේ දොර වාසස්ථාන ලාභ ඇතිවන අතර ඒවායේ දියුණුවද ඇතිවේ. ක්‍රමානුකූලව නිවැරදිව කටයුතු කළ හැකිය. බුධ දශා ගත කරන අයට සමපල දායක වේ. බුද්ධිමත්ව කටයුතු කිරීමෙන් දියුණුව ඇති කරගත හැකිය. යුග දිවියේ ප්‍රශ්න ඇතිවිය හැකිය. සඳු දශා ගත කරන අයට හිතේ කරදර සහ සෙම්දෝෂ රෝග පීඩා ඇතිවිය හැකිය. ව්‍යාපාර කටයුතු දියුණුවේ. මංගල දෝෂ පෙම් බැඳුම් ඇතිවේ. රාහු දශා ගත කරන අය දියුණුව ඇති කරගත හැක. කේතු දශා තිබෙන අයටද සුබයි.

සුබ වර්ණය - නිල් සුබ මැණික් - නිල් මැණික් ජය දිනය - අඟහරුවාදා ජය අංකය - 4 - 6

සුබ දිශාව - බටහිර


ධනු

සිතුම් පැතුම් සාර්ථක වේ

2023 නව වසර ආරම්භයේදී ලග්නාධිපති ගුරු ස්වක්ෂේත්‍ර බලයෙන් හංස යෝගය උදාකරමින් හතරවැන්නේ සිටින අතර රවි, බුධ ලග්නයේද සෙනසුරු, සිකුරු දෙකේ ද සඳු රාහු පස්වැන්නේ ද කුජ හයේද කේතු එකොළොස්වැන්නේද ඇත. ජනවාරි 17 සෙනසුරු තුන්වැන්නට ද අපේ‍්‍රල් 22 ගුරු පස්වැන්නට ද පිවිසෙයි. රවි බුධ ලග්න ගතවීමෙන් ආරම්භ වන මෙම වසර සුබදායක වේ. කැපී පෙනීම ප්‍රසිද්ධිය ද ඇතිවේ. ගුරු දශා රවි බුධ දශා ගත කරන අයට ඉතා සුබයි. හොඳ පල දීමක් ද ඇතිවේ. උපන් ස්ථානය ගම රට ගේ දොර පලදීම ඇති කරයි. ගේ දොර ඉඩකඩම්, යානවාහන ලැබීමට වාසනාව මතු කරයි. අවිවාහක අයට මංගල යෝග ද උදාවේ. වෙළඳ ව්‍යාපාර කටයුතු ද සාර්ථක ලෙස කළ හැකිය. සෙනසුරු දශා ගත කරන අයට ඒරාෂ්ටක නැත. නොවෙනස්ව ස්ථීර ලෙස තම වැඩ කටයුතු කරගෙන යා හැකිය. සිතුම් පැතුම් සාර්ථක වේ. කුජ දශා ගත කරන අයට සමපලදායක වේ. ඉගෙන ගන්නා අයට උනන්දුවෙන් ඉගෙනීම කළ යුතුය. රැකියා අංශවලින් ලාභ ප්‍රයෝජන ලැබේ. උදරගත උෂ්ණ රෝග පීඩා ඇති විය හැකිය. සතුරු කරදර මර්දනය කරගත හැක. සිකුරු දශා ගත කරන කලා අංශවලට නැඹුරු අයගේ එම අංශ දියුණු වේ. කලා සාහිත්‍ය සංගීත අංශවලින් දියුණුව, ප්‍රසිද්ධිය ද ඇති කරයි. ආගමික සමාජසේවා කටයුතුවලට ද යොමුවේ. සඳු දශා ගත කරන අයට සෙම් දෝෂ ජලයෙන් අගුණ ආදිය ඇතිවෙයි. හිසරදය, පීනස වැනි රෝග ඇති විය හැකිය. කේතු දශා ගත කරන අයට සමපලදායක වේ. සුබ වර්ණය – කහ සුබ මැණික් – කොළ, ළා නිල් පසිංගල් ජය දින – බදාදා

ජය අංකය – 1,3,4 සුබ දිශාව – නැඟෙනහිර


මකර

රැකියා ලාභ

මෙම නව වසර ආරම්භ වන අවස්ථාවේ ලග්නාධිපති සෙනසුරු ලග්නයේ ස්වක්ෂේත්‍ර බලයෙන් සස යෝගය උදාකරමින් ඇත. සිකුරු ද ලග්නයේ වේ. ගුරු තුනේ සඳු රාහු හතරවැන්නේ කුජ පස්වැන්නේ කේතු දහයේ සහ රවි බුධ දොළොස්වැන්නේ ද ඇත. ජනවාරි 17 සෙනසුරු දෙවැන්නට ද අපේ‍්‍රල් 22 ගුරු හතරවැන්නට ද පිවිසෙයි. සෙනසුරු දශා ගත කරන අයට තදබල පීඩා ඇති නොවේ. එසේ වන්නේ සෙනසුරු ලග්නාධිපති වීමේ හේතුව නිසාය. ස්ථිර ප්‍රතිපත්තිවලින් යුතුව ආත්ම ගෞරවයෙන් යුතුව තම කටයුතු කර ගෙන යා හැකිය. ඉගෙනීමේ නියුතු අයට බාධා ඇති නොවේ. රැකියා ව්‍යාපාර කටයුතුවලද දියුණුව ඇති කරගත හැකිය. දත්වල සහ ඇස්වල රෝග පීඩා යෙදිය හැකිය. ගුරු දශා ගත කරන අයට ගමන් බිමන් යෙදේ. තම කටයුතු සාර්ථක ලෙස ඉටුකර ගැනීමට හැකිවේ. අපේ‍්‍රල් 22 සිට තවත් සුබයි. ගෙදර දොර දියුණුවද ඇතිවේ. උෂ්ණ රෝග සහ උදරගත දැවිලි ගති ඇති විය හැකිය. සිකුරු දශා ගත කරන අයට රැකියා ලාභ මෙන්ම එම අංශවල දියුණුවද ඇති කරයි. බලවත් අගහිඟ ඇති නොවේ. උගුරේ බෙල්ලේ සෙම්දෝෂ යෙදිය හැකිය. බුධ දශා ගත කරන අයට ගමන් බිමන් විදේශ ගමන් යෙදිය හැක. පිට පළාත්වලදී දියුණුව ඇති කරයි. සඳු දශා ගත කරන අයටද ස්ථානමාරු ගමන්බිමන් යෙදේ. රවි දශා ඇති අයට ශල්‍යකර්ම යෙදිය හැකිය. රාහු කේතු දශා තිබෙන විට රැකියා අංශවල දියුණුව අඩුවේ. සුබ වර්ණය – නිල්

සුබ මැණික් – චන්ද්‍රකාන්ති ජය දින – බදාදා, සිකුරාදා ජය අංක – 4,6 සුබ දිශාව – උතුර


වෘශ්චික

මංගල කටයුතු උදාවේ

2023 වසර ආරම්භයේදී ලග්නාධිපති කුජ හත් වැන්නේද රවි බුධ දෙවැන්නේ ද සෙනසුරු,සිකුරු තුන්වැන්නේ ද ගුරු පස්වැන්නේ ද සඳු රාහු හයවැන්නේ ද කේතු දොළොස්වැන්නේ ද යෙදී ඇත. ජනවාරි 17 සෙනසුරු හතර වැන්නට ද අපේ‍්‍රල් 22 ගුරු හයවැන්නට ද පැමිණෙයි. සතුරු කරදරවලින් වස්තු විනාශවීමට මෙන්ම වස්තු ලැබීමට මෙම වසරේදී ඉඩ තිබේ. ගුරු දශා ගත කරන අයට උදරගත රෝග පීඩා ද යෙදිය හැක. ශරීර සනීපය උදෙසා වියදම් කිරීමට සිදුවේ. කුජ දශා ගත කරන අය ඉවසීමෙන් කටයුතු කළ යුතුය. නැතිනම් කරන කියන කටයුතුවලදී තමාට පාඩු හා අවාසි ඇතිවේ. උෂ්ණ රෝග පීඩා මූත්‍රා ආශි‍්‍රත රෝග පීඩාද යෙදිය හැකිය. සෙනුසරු දශා ගත කරන අයට සමඵල දායක වේ. සස යෝගය යෙදී ඇත. ආයු බල ධන බල ඇතිවේ. ගේ දොර ඉඩකඩම් හිමිකම් ලැබේ. පපුවේ වේදනා කැක්කුම් ඇති විය හැකිය. සමාජ කටයුතුවලින් විශ්වාසය ඇති කර ගත හැකිය. සිකුරු දශා ගත කරන අයට මංගල කටයුතු උදාවේ. යහපත් ලෙස එම කටයුතු සිදුවේ. ගේ දොර දියුණුව යෙදේ. ඉඩකඩම් ප්‍රශ්නද ඇතිවේ. බුධ දශා ගත කරන අයට රහස් මාර්ගවලින්ද ධනය ලැබේ. උගුරේ අමාරු දත්වල අමාරු ඇතිවිය හැකිය. සඳු දශා ගත කරන අයට ගමන් බිමන් විදේශ ගමන් යෙදිය හැක. මුරණ්ඩු ගතිද ඇතිවේ. සෙම් රෝග පීඩා යෙදේ. ගුප්ත අංශවලටද ආශාව ඇතිවේ. දියුණුවට බාධා නොවේ. රවි දශා ගත කරන අයට ද එතරම් වරදක් නැත. රැකියා ව්‍යාපාර දියුණුූවේ. වියදම් වැඩිවේ. ප්‍රතිපත්තිගරුක වේ. ඇස්වල රෝග පීඩා යෙදිය හැකිය. රාහු දශා ගත කරන අයට ද වරදක් නැත. උපායශිලි ලෙස කටයුතු කළ හැකිය. කේතු දශා ගත කරන අයට ද වරදක් නැත. සුබය. වියදම් අඩුවේ. සුබ වර්ණය – රතු සුබ මැණික් – පුෂ්පරාග

ජයදින – ඉරිදා ජය අංක– 1,2,10 සුබ දිශාව – උතුර

ඡ්‍යොතිර්වේදී

සෝමපාල විජේසූරිය

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.