නිවෙසක කාමර දිශාගත කිරීම

ඔක්තෝබර් 7, 2022

 

කෙනකු නිවෙසක් ඉදිකරන්නේ දුකක් කරදරයක් නැතිව දිගුකාලයක් ජීවත්වීම සඳහාය. එසේ ප්‍රාර්ථනා පොදි බැඳගෙන හදාගත් නිවෙසේ පදිංචි වූ දා සිට කරදර නිමාවක් නැත්නම් හරිහම්බ කරන දේ ඉතිරියක් නැත්නම්, ජීවත්වන අය සමඟ සමඟියක් නැත්නම් ඊට හේතු රාශියක් බලපෑ හැකි ය.

ඒ නිවෙස සෑදීමේ දී අනුගමනය කළ යුතු ශාස්ත්‍රීය මූලධර්ම හා පිළිවෙත් නිසිලෙස අනුගමනය නොකිරීම, දෝෂ සහිත අන්දමින් නිවාස සැලසුම් කිරීම, නිවෙසේ ගෘහ මූලිකයාට හා අනෙකුත් සාමාජිකයන්ගේ නැකැත්වලට ගැළපෙන අයුරින් සුබ මුහුර්ත සාදා නොගැනීම, එකී ඉඩම්වලට අරක්ගෙන සිටින හෝ බැල්ම හෙළන භූත කොට්ඨාස ආදී අධිගෘහිතයන්ට පුද පූජා නොපැවැත්වීම මේ ආදී හේතූන් විය හැකි ය.

අද අප මෙහිදී නිවෙසක් සැලසුම් කිරීමේ දී කාමර දිශාගත කිරීම කෙරෙහි බලපාන සුබ අසුබ පිළිබඳ අවධානය යොමු කරමු. නිසි අයුරින් කාමර දිශාගත නොකිරීමෙන් ගෙහිමියාට මෙන්ම නිවෙසේ ජීවත්වන සෙසු සාමාජිකයන් හට ද විවිධ කරදර බාධා මෙන්ම සතුරු උවදුරුවලට භාජනය වීමට සිදුවිය හැකි යි. එහෙයින් සියලු දෝෂ මඟහරවා ගැනීම සඳහා වාස්තුවිද්‍යානුකූලව කාමර දිශාගත කළ යුතු අන්දම මෙම ලිපියෙන් ඉදිරිපත් කරමු.

 

කාමර දිශාගත කිරීම

සුබපල ගෙනදෙන අන්දමට කාමර දිශාගත කිරීමෙන් ගෙහිමියාට වාසනාව උදාකරගත හැකි අතර එහි ජීවත්වන නිවැසියන්ට ද නිදුක් නිරෝගී සැප භුක්තිවිඳිමින් ජීවත්වීමට භාග්‍ය උදාකරයි.

උතුරු දිශාව

 

නිදන කාමර සඳහා සුදුසු වන අතර, ධනය හා වටිනා දේ තැන්පත් සඳහා යෝග්‍ය වේ.

ඊසාන දිශාව

ආගමික වතාවත් කිරීමට සුදුසු දිශාව වේ.

ගිනිකොන දිශාව

මුළුතැන්ගෙය සඳහා සුදුසු ය.

දකුණු දිශාව

නිදන කාමර සඳහා සුදුසුයි.

 

බටහිර දිශාව

භෝජන කටයුතු සඳහා සුදුසුවන අතර ශාස්ත්‍රීය කටයුතු සඳහා ද සුදුසු වේ.

 

වයඹ දිශාව

 

ගබඩා කිරීම සඳහා සුදුසු දිශාවයි.

 

දිශාවලට අනුව කාමර ස්ථානගත කිරීමෙන් ලැබෙන ප්‍රතිඵල සොයා බලමු.

 

උතුරු දිශාව

 

නිවෙසක ප්‍රධාන ද්වාරය නොතබන දිශාවක් වන උතුරු දිශාව ළිඳ කැපීමට ගන්නා ප්‍රධාන දිශාව වේ. ජලය ඇති සිසිල රැඳි සෞම්‍ය ගුණයෙන් පිරි මෙම දිශාවේ නිදන කාමර පිහිටුවීමෙන් එකිනෙකා කෙරෙහි පැවැතිය යුතු භෞතික ආකර්ෂණයක්, යහපත් භෞතික සබඳතාවක් දිගු කලක් පවත්වා ගැනීමට හැකියාව ලබාගත හැකි වේ.

ඊසාන දිශාව

 

මහා වස්තු පිහිටන ප්‍රදේශයකි. එමෙන්ම විශිෂ්ට ශක්ති අභිමුඛ මූල න්‍යාය යටතේ මෙම දිශාවට විශ්වයේ විශ්ව ශක්තිය ඉතා ප්‍රබලව පිරිසුදුව ලැබෙන අතර, සියලු වාස්තු දෝෂ දුරුවනු ලබයි. විශ්වයේ දේවතල හා බ්‍රහ්මතලවලට අභිමුඛව පිහිටා ඇති බැවින් සැමවිටම දෙවියන්ගේ ඇල්ම බැල්ම නොඅඩුව ලැබෙනු ඇත. ඡ්‍යෝතිෂයේ ඊසාන දිශාව ගණන් ගනු ලබන්නේ මරු නොසිටින දිශාව වශයෙනි. ආපෝ ධාතුව පවතින ළාහිරු කිරණ පතිතවන දිව්‍ය ශක්තීන් ගලාගෙන එන සුනිල ප්‍රදේශයක් වශයෙන් ගණන් ගැනෙන මෙම දිශාව ඉතා පිරිසුදුවත් පූජනීය ලෙසටත් පවත්වා ගත යුතුයි. මෙම දිශාවට පිහිටි කාමර ආගමික වතාවත්වලට වෙන් කරනු ලබන්නේ මෙම අවකාශයේ පවත්නා ශුද්ධ ශක්තීන්ට හානි වන අන්දමේ කිසිවක් නොවීමට වගබලා ගැනීමටයි.

නැඟෙනහිර දිශාව

 

පිරිසුදු හිරුකිරණ නොඅඩුව ලැබෙන දිශාව වශයෙන් ගණන් ගැනේ. මෙහි නාන කාමරය දිශාගත කිරීමෙන් එම ගුණ නිවැසියන්ට නොඅඩුව ලැබීමෙන් දීර්ඝායුෂ, ශරීර වර්ධනය ආදී සුබපල හිමිකරයි. නමුත් ප්‍රායෝගික ගැටලුවක් වන්නේ නැඟෙනහිර දිශාවට ප්‍රධාන දොර තබන නිවෙසකට නාන කාමර පිහිටු විය හැකිද යන්නයි. එවිට විකල්ප දිශාවක් වශයෙන් බටහිර දිශාවට නාන කාමර පිහිටුවා ගත හැකි වේ.

ගිනිකොන දිශාව

සැප සම්පත් ලැබීමට හේතුවන දිශාවයි. පඨවි වායුවෙන් පිරි සෞම්‍ය ගුණයෙන් යුත්, මෙම දිශාවේ මුළුතැන්ගෙය පිහිටුවීමෙන් මෙහිදී පිසගන්නා ආහාර රසවත් මිහිරි බවකින් යුතු බව කියවේ.

බටහිර දිශාව

බටහිර දිශාවට කෑම කෑමරය සුදුසු යැයි පවසන්නේ මෙහි ඉඳුල් වැනි දෙයින් අපවිත්‍රවන කාරක, බැසයන හිරුඑළියෙන් තවත් වර්ධනය නොවී මර්දනය වන හෙයිනි. ඉඳුල් වැනි දෑ තැන්පත් කිරීමට වළවල්, ටැංකි, බඳින්නේ බටහිර පැත්තේ බැවින් අපවිත්‍ර දෑ බැහැර කිරීමට නිවැසියන්ට පහසු වේ.

වයඹ දිශාව

 

කාමර දිශාගත කිරීමේ දී වයඹ දිශාවට ඇති කාමර අමුත්තන්ගෙන් කාමර වශයෙන් පාවිච්චි කරනු ලබයි. මෙහි වාස්තු විද්‍යාත්මක සාධක ද ඇත. එනම් සෙලවීම, චලනය වීමට, ඉවත් වීමට සැකසී ඇති වායෝ ධාතුවට වයඹ දිශාව අයත් ය. වායෝ නමැති සංස්කෘත වචනයේ අර්ථය වාතය, වායුව යැයි පැහැදිලි කෙරුණ ද, චලනය, ඉවත්වීම, සෙලවීම යන අර්ථයද එයි. අමුත්තන් හට මෙම කාමරය වෙන් කරනු ලබන්නේ අමුත්තා යනු නිවෙසක රැඳී සිටින අයකු නොවේ. ඔහු හැකි ඉක්මනින් නිවසින් ඉවත්ව යෑම අපේක්ෂා කරයි. වායෝ ධාතුවට අයත් වයඹ කාමරය අමුත්තාට දුන්විට ඉක්මනින් ඉවත් වී යයි. ඒ චලනය වීම, ඉවත්වීම, සෙලවීමට ඇති වායෝ ධාතුව හේතුවෙනි.

එමෙන්ම වයඹ දිශාවේ ඇති කාමරය තවත් විශේෂ කරුණක් සඳහා තෝරාගනු ලබයි. එනම් නිවෙසේ විවාහය ප්‍රමාද වූ දරුවන් සඳහායි. නිසි වයසට පැමිණි දූ දරුවන්ට විවාහය ප්‍රමාද වූ විට වයඹ දිශාවේ කාමර තම නිදන කාමරය ලෙස පාවිච්චි කිරීමෙන් විවාහය ඉක්මන් වන බවට මතයක් පවතී. එමෙන්ම විකිණීමට ඇති භාණ්ඩ සඳහා ද වයඹ දිශාවේ කාමර පාවිච්චි කිරීමෙන් එම භාණ්ඩ ඉක්මනින් අලවිකර ගැනීමට හැකිවෙයි.

දකුණු දිශාව

 

දකුªණු දිශාව වායෝ ධාතුවට අයත් සෞම්‍ය ගුණයෙන් පිරි අවකාශයක පිහිටීම නිසා මෙම දිශාවේ නිදන කාමරගත කිරීම සුබදායක වේ. විශේෂයෙන් නවයොවුන් යුවළකට දකුණු දිශාවේ කාමරය තෝරාගැනීම ඉතා සුබදායක වේ. ඒ දරු පිළිසිඳ ගැනීම් ඉක්මන් වන බැවිනි.

නිරිත

නිරිත පෙදෙස නිවසේ ආයුධ තැන්පත් කිරීම සඳහා යොදාගනු ලබයි. ආගමික කටයුතු කිරීමට වෙන්කර ඇති සුනිල නම් වූ පෙදෙසට පිටුපා ඇති මෙම ප්‍රදේශය නිවෙසේ අනෙකුත් කටයුතු සඳහා යොදා නොගනී.

 

 

වාස්තු විද්‍යාවේදී

වාස්තු විද්‍යා උපදේශක

සුනිල් කුමාර වත්තගේ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.