ඔබේ නිවසට විෂ්ණුදේව ආකර්ෂණය ලබාගන්න

අගෝස්තු 13, 2021

පැරණි අපේ අය නිවසක් ඉදිකිරීමට කටයුතු සකස් කරන විට ඉඩම වටේට වැටක් සිටුවා හෝ කණු සිටුවා කම්බි ගසා ශුභ දිනක ගොම්මන් වේලාවේ එළගවයෙකු ඉඩමට ඇතුළුකර ඉදිකඩුල්ල වසනු ලැබේ.

 

එකී ගවයා ලැඟ සිටි තැන ශුද්ධ පවිත්‍රකර කහ දියර ඉස සුවඳ දුම් අල්ලා ශුභ නැකතකින් පළමු කුඤ්ඤය බෙලි ලීයකින් ගසා ලණු ඇද අත්තිවාරම් කපා මුල්ගල සහිත නිධන් වස්තු තැන්පත් කර සුබ වෙලාවකට බිත්ති බැඳ වහලය ගසා උලුවහු ජනේල වාස්තුවට අනුව තබා වැඩ සම්පූර්ණයෙන්ම නිමකර ගෙවදීම් කරනු ලැබේ. ලණු ඇදීමේ සිට ගෙවදීම් කරන අතරතුර කාලයේදී එම නිවස තනිකරනු නොමැත. වැඩකරන බාස්වරුන්ට හැර වෙනකිසිවෙකුට .

පිටතින් කිසිවෙකුට ඇතුළුවීමට ඉඩ නොදේ.

විශේෂයෙන්ම වැඩකරන වඩු හා පෙදරේරුවරුන්ට ගෙදරින් ආහාරපාන සපයනු ලබන අතර, සාදන ගේ තුළ තේ පවා උණු කිරීමක් නොකෙරේ.

දිවා ආහාර ගන්නා විටදී තනන ලද මඩුව තුළ පමණක් ආහාරපාන ගැනීමට පිළියෙල කරනු ඇත. අත්තිවාරම සම්පූර්ණයෙන්ම දමා සුබ දිනයක එළ ගවයකු සවස ඇතුළත ගාල්කර තණකොළ හා වතුරබීමට සලස්වන්නේ වස්දොස් යාමටය. දින 3 ක් හෝ සමහරවිට ඊට වඩා වැඩි දවස් ගවයා ගාල්කර තැබීම පැරණි එක්තරා කෙම් ක්‍රමයකි.

ගෙය සාදා එහි පදිංචි වී ගෘහය තුළ ඉඳුල් කරන නැකතට කලින් ඒ තුළ කෑම බීම ගැනීමෙන් පිටස්තර අය ඉඳුල් කරන තැනට පත්වේ. ඔබ නොදැනුවත්වම ඉබේටම ගෙය ඉඳුල් වී ඇති බැව් දැන් ඔබට වැටහේවි.

මුල්ගල තැබුවාට පසු ඔබ නිවාස හිමියා ලෙස ආහාර අනුභවය මුලින්ම කරන්න.

නිවාස හිමියා සහ පවුලේ අය විසින් කළ යුතු නිවාස ඉඳුල් කිරීමේ චාරිත්‍රයයි.

මෙය මෙසේ නොකරන්නේ නම් ඔබට කලින් නිවාසය සාදන අය ඔබේ නිවස පළමුව ඉඳුල් කරන තැනට පත්වේවි. එය ඉදිරියට ඉතාම අයහපත්ය. අත්තිවාරම් දමා බිත්ති බැඳ වහලය ගසා පාළුවට ගෙය නිදැල්ලේ තිබීමට නිදහස තිබේ නම්, ඒ තුළ පිටස්තර ඕනෑම කෙනෙකුට ඔවුන්ගේ ක්‍රියාවන් කිරීමට හැක. සමහර සාදමින් සිටින පාළුවට ගිය ගෙවල් තුළ රාත්‍රි කාලයේ බූරුවා ගැසීම කසිප්පු පෙරීම මෙන්ම වෙනත් අසභ්‍ය වැඩ කටයුතු කරන බැව් ප්‍රසිද්ධ රහසක් වී තිබේ. කරුණු කාරණා මෙසේ වුවත් ඔබේ නිවසට ශ්‍රී මහා විෂ්ණු දෙවියන්ගේ සහ ශ්‍රී ලක්ෂ්මී දෙවඟන ගේ ආශිර්වාදය ලබා ගැනීමෙන් මහා වාස්තු දෝෂ භංග වී ඔබගේ නිවස වාසනාවන්ත වන බැව් සඳහන් කරමු.

තවද නිවසේ වැඩකටයුතු ප්‍රමාදවෙමින් පවතින්නේ නම් විෂ්ණු දේවතාවුන් වහන්සේට පුද පූජා තබා ස්තෝත්‍ර කියා පිං අනුමෝදන්කර ආශිර්වාදය ලබා ගන්න.

උදේ සවස පහනක් දල්වා සුවඳ දුම් අල්ලා ස්තෝත්‍ර ගායනා කර විෂ්ණු දෙවියන්ට පින් අනුමෝදන් කරන්න බලා සිටියදී ඔබේ නිවසේ වැඩ නිමකර ගැනීමට හැකි වනු ඇත.

සමහරු මෙවැනි දේ මිථ්‍යාවන් යැයි සිතා ක්‍රියා කරන අයද සිටී. නමුත් ඒ අයට වැඩ වැරදෙන අවස්ථා එමටයි. ශ්‍රී විෂ්ණු ශ්‍රී ලක්ෂ්මී දෙවඟනට පුද පූජා තබා ස්තෝත්‍ර ජීව මන්ත්‍ර ජප කරන කිසිවෙකුට ගැටලුකාරි ප්‍රශ්න ඇතිවන්නේ නැත.

ඔබත් මෙය අත්හදා බලන්න. විෂ්ණු හා ලක්ෂ්මී දෙවියන් හා දෙවඟනගේ මහාබල පරාක්‍රමය සහ දේව ආකර්ෂණයන් ආශිර්වාදයන් ලබා ගැනීම ක්‍රියා කරන මෙන් දන්වා සිටිමු .

 

ටී. හෙන්රි බෙම්මුල්ල

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.