මුළුතැන්ගෙය නිවසේ සිරසයි

මාර්තු 4, 2022

ගෘහනිය වන ඔබ මෙය කියැවිය යුතුම ලිපියකි.

අපේ නිවසේ ළෙන්ගතුම ස්ථානය මුළුතැන්ගෙයයි. දුකට, සතුටට දිය බිඳක් බොන්නට පවා දිව යන ඒ මුළුතැන්ගෙයට ඇතැම් විට අපි දක්වන්නේ කොතරම් අඩු සැලකිල්ලක් ද කියා සිතෙන්නේ මේ ලිපිය කියවා අවසන් වූ විටය. ඒ නිසා, මුළුතැන්ගෙය සමඟ උදේ සවස ගනුදෙනු කරන අපේ දයාබර ගෘහනිය වන ඔබ මෙය කියැවිය යුතුම ලිපියකි. නිසි ආකාරයට, පිළිවෙළට මුළුතැන්ගෙයට සැලකීම පිළිබඳව එවිට ඔබට මනා වැටහීමක් ලැබෙනු නියතය.

නිවසේ මුළුතැන්ගෙය, කුස්සියට සුවිශේෂී තැනක් නිතැතින්ම හිමිවේ. පැරැණ ගැමියන් කුස්සිය තුළ පවුලේ සියලුම වැදගත් කරුණු කාරණා කතාබහේ යෙදිණ. ගෙදරට බත සපයා ගැනීම පමණක් නොව තම දූ පුතුන්ගේ ආවාහ විවාහ කටයුතු සම්බන්ධ තීන්දු තීරණ ගැනීමක් වැඩිපුරම කෙරුණේ මුළුතැන්ගෙයිය. මව, පියා එක්වී සතුටු සාමීචියේ යෙදෙන්නේ ද මේ කුස්සිය ඇතුළතය. දෙන්න දෙමහල්ලන්ගේ අඬදබර බත ඉදෙනකං විතරක්නේ යන කියමනක් ද ඇත. අපේ පැරැණි කුස්සිය දේශීය වාස්තු විද්‍යාවට එකඟව ගොඩනඟා තිබිණි. වරිච්චි බැඳ, වැලි මැටි ගසා හෝ තාප්ප තියා බිමට ගොම ආලේප කර වහලය සෙවිලි කරන ලද්දේ පොල් අතු, තල්අතු හෝ ඉළුක්, මානා වැනි පත්‍රවලින් ය. බිත්තිවල කිරිමැටි ආලේප කරන ලදී.

වාස්තුවේදයට පටහැනිව කුස්සිය ඊසානයේ තිබීමෙන් දික්කසාද වීමට ද හේතුකාරකයක් වන්නේ ය. තවද දරුඵල නොමැති නිවාසයෙහි ඊසාන දිසාවේ වැසිකිළි, කැසිකිළි හා කුස්සිය පිහිටා ඇති බැව් පර්යේෂණවලදී හෙළි වී ඇත්තේ ගිනිකොණ දිසාවේ මුළුතැන්ගෙයද, ගිනිකොණ පැත්තේ ලිප් බැඳීම (පෝරණුව) සැකසීම යහපත්ය. ඊසාන පැත්තේ ජලකරාම, ජලපෙරණය මෙන්ම ජලය එක්රැස් කරන බඳුන් තැබීමට යෝග්‍ය වනු ඇත. නමුත්, වයඹ අපද්‍රව්‍ය, කුණුරොඩු ආදී අපවිත්‍ර කාරක ද්‍රව්‍ය කුස්සියේ ඊසාන පැත්තේ තැබීම ද අසුබය. ගෘහණිය දවසේ වැඩි කාලයක්ම මුළුතැන්ගෙයි සිටින නිසා ඇයගේ සමීප සබඳතාව ආකර්ෂණය ද කුස්සි තුළ අධික වේ. අලුත් අවුරුදු චාරිත්‍රයේ වැදගත්ම අංගයකි, ළිඳ සමඟ ගනුදෙනු කිරීම. ජලය ලොව මහා සම්පතයි. ජලයට සැලකීම බුදුපියාණන් වහන්සේ ද අනුදැන වදාරා ඇත්තේ ජලයට කෙළ ගැසීම පවා අයහපත් වන නිසයි.

කුස්සිය ගින්දර හා ජලය නිවුන් සහෝදරයන් ලෙස සලකයි. මිරිස්ගල, වංගෙඩිය, හැඳි ආන, හිරමණය, හට්ටි මුට්ටි වළං, කළගෙඩි ආදී භාණ්ඩ තැබීමේදී කුස්සියේ වයඹ ආශි‍්‍රතව තැබීම යෝග්‍ය වේ. කුස්සියේ පෝරණුව බඳින විට ඇතුළතට ගැනීමත් පිටතට ගැනීමේදී නිවසේ මුළු දිග පළල ගුණාකාරයෙන් ලැබෙන වර්ගීකරණයට හානියක් නොවන සේ ද ගත යුතුයි. කුස්සියේ ගිනිකොණ පැත්තේ බිත්තියේ කෙළවරින්ම පෝරණු දෝෂ සහිතයි. ළිප් තුනක් බැඳීම ද ගෘහනියන් නොකරනු ඇත. විශේෂයෙන්ම මුහුණ බලන කණ්ණාඩි එල්ලීම ද අසුබයි. පැරැණි ගෘහනිය බත් ඉවීමට පෙර කොරහට හාල් මැනීමෙන් පසු එකහාල් මිටක්, මිටි හාල් මුට්ටියට දමන අතර, හාල් සේදූ වතුර කුස්සියෙන් ඉවතට දමන්නේ දෙහිගසකටය. සවස ගොම්මන් වේලාවෙන් පසු ළිපේ ඉතිරිවන අළු අස් නොකරන්නේ මුදේවිය නිවෙසට එබී බලන නිසා යැයි ජනමතයක් තිබෙන බැවිනි.

කොස් කපන විටදී ඉතිරි වන කොහොල්ලෑ ගුලියක් ලෙස එදා උළුවස්සේ උඩ දකුණු ඉස්දමේ අලවනු ලැබේ. කුස්සියේ පෑළදොර උළුවස්ස යට සිටගෙන පොල්ගෙඩිය කැත්තකින් හෝ මන්නා පිහියෙන් නොබිඳින්නේ භූත දෝෂ ඇතිවන නිසා බැව් එක් මතයකි. බිඳින ලද පොල් ගෙඩියේ ඇස්ස ඇති බෑය බිම වැටීම ගෘහනයට අයහපත් බවද පැවැසේ. එය දෝෂ ඇති කරයි. ලුණු, පොල් කට්ට හිස් නොකර තබන්නේ නිවසේ ධනාත්මක පැතිකඩ විනාශ වන නිසා ය. පැරැණි ගෙවල්වල ලුණු කිසිදාක හිඟ නොකරන්නේ ගෙදර මූසල වන නිසා යැයි මතයක් ඇත්තේ ය. කාමරයක දිග පළල සමාන නොගැනීම, වාස්තු දෝෂයක් නිසා කුස්සියේ සතරැස් බවත් විවිධ හැඩ තලයන්ට හසුනොකර බවත් පෙනේ. නිවෙසේ බිම්තලයට වඩා කුස්සියේ බිම උසට ගොඩනඟනු නොලැබේ. එදා ළිපට උඩින් දුම්මැස්ස සාදන්නේ අටුකොස්, දෙල් හා ගොරක වේලා ගැනීමටය. අතුරුපස එයින් සාදාගනු ඇත. තිපල් කසාය, අරළු, බුළු, නෙල්ලි, පස්පංගුව වැනි ඖෂධ වර්ග බහාලු පන්මල්ල කුස්සියේ ඊසාන උතුර හෝ නැඟෙනහිර පෙදෙසේ එල්ලා තබන්නේ ඖෂධීය ශක්තිය රැක ගැනීමටය. අපි නව ලොවක ජීවත් වන ඉපැරැණි සාම්ප්‍රදායික ජීවන රටාවෙන් ඈත්වෙමින් යන ජීවීන්ය. ගෑස් කුකර්, අවන්, හීටර් සහ විදුලි ළිප් භාවිතයට ගොනු වී සිටිමු.

මේ සියලු පරිවර්තනයන් ඇතුළත වාස්තු විද්‍යාවට එකඟව මුළුතැන්ගෙය පරිහරණය කර ගැනීමට යත්න දැරිය යුතුයි. නො එසේ නම් ශරීර සෞඛ්‍යයට විශාල ලෙස තර්ජනයක් වෙනු නොඅනුමානයි. නිවෙසක මුළුතැන්ගෙයක් කුස්සිය වෙන් කරන විටදී මුලින්ම සැලසුම් කර ගත යුත්තේ ඊට යාබදව වැසිකිළි, කැසිකිළි පද්ධතිය ගොඩනඟා ගැනීමෙන් බැහැරව සිටීමටය. කෑම කන කාමරය වඩාත් උචිත වේ. සමහර නිවාසවල කුස්සියේ පිහිටා ඇති දොරකින් ඇතුළු වන්නේද වැසිකිළිය හා නානකාමරයටය. මෙය වාස්තු දෝෂයකටත් වඩා ජීවන රටාවට ද අප්‍රසන්නය. මනෝ මූලාශී‍්‍රය සංකල්පයක් වූ වාස්තු පුරුෂයාගේ දණහිස හා වළලුකර ආසන්නව කුස්සිය පිහිටනු ඇත. සෝදනුව (කිචන් සින්ක් එක) මුළුතැන්ගෙයි ඊසාන දිසානුගතව විය යුතු වේ.

එහෙත් හීටරය, හොට්ප්ලේට්, ගෑස් කුකර් එක, අවන් එක, විදුලි උදුන, ඊසාන පැත්ත කුස්සියේ තිබීම සුදුසු නැත. දරු සම්පත් නොමැතිවීම ද ගැබ් ක්ෂයවීම්ද සිදුවන්නේ දරුඵල අහිමි වන්නේ ඊසාන දිසාවේ වැසිකිළි හා කුස්සිය පිහිටීම නිසා යැයි පර්යේෂණවලදී හෙළි වී තිබේ. කුස්සිය යන්නෙන් අදහස් වන්නේ මාතෘත්වය පිළිබඳ සංකේතයකි. දරුවන් වදා හදා වඩා උස් මහත් කරන්නේ මුළු ජීවිත කාලය පුරාම දහඩිය හෙළන අවසානය දන්කුඩය පමණක් ගිලින ගෘහනිය වූ අම්මාය. මේ අතින් බලන විට කුස්සිය සරසවියකි.

නිවෙසක සාලයට කරන සැලකිලි කුස්සියට නොදක්වයි. සමහර කුස්සි දින ගණනකින් අතුගා නොමැති බැව් අප දැක ඇත්තෙමු. පාන්දර කුස්සිය අතුගාන්නේ නම් ශි‍්‍රයා කාන්තාව හෙවත් ශ්‍රී ලක්ෂ්මී දෙවඟනගේ බැල්ම හා ආකර්ෂණය ලැබෙන බැව් ඡ්‍යොතිෂයේදී දක්වා තිබේ. මේ සියලු කරුණු කාරණා පරිදි අද අපි කතාබහ යෙදුණේ නිවෙසේ සිරස වූ මුළුතැන්ගෙය පිළිබඳවය. ඔබේ නවීන භාණ්ඩ උපකරණවලින් සමන්විත කුස්සියේ වර්ධන වේගය තව තවත් දිරිමත් කර ගැනීම සඳහා පැරැණි කෙම් ක්‍රමයක් වූ ‘අගිල්’ කෑල්ලක් හෝ කුඩු ස්වල්පයක් මැටි බඳුනක බහා කුස්සියේ ඊසාන පැත්තේ විවෘතව තබන්න. ඇතිවන වෙනස වටහා ගන්න. කුස්සිය උණුසුමද දුමද නිපදවන නිසා නැවුම් වාතය හා නිවෙසේ පරිසරයේ ආරක්ෂාව ගිනිකොණ වෙනුවෙන් එය කලාපයේ පිහිටවිය යුතුය. මෙය විද්‍යාත්මක හේතුවක් ද වන්නේය.

ප්‍රවීණ ඡ්‍යොතිෂවේදී

දේශබන්ධු

ටී. හෙන්රි

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.