ඔබට ධන සම්පත් උදාකර දෙන ග්‍රහයෝ

මාර්තු 11, 2022

උපදින හැම සත්වයෙක්ම සැපයට කැමතියි. ඒ සැප සම්පත් ලබන්නට මූලික වන්නේ ධනයයි. කේන්දරය අනුව අප පෙර කළ පින් පව් අනුව සැප සම්පත් ලබන්නටත්, නොලබන්නටත් හේතු වේ. මෙලොව ජීවත් වෙන අය අතර කෙනෙක් දිළිඳුව, දුක් කරදර සහිතව දිවි ගෙවන අතර තව කෙනෙක් ධනයෙන් මෙන්ම ගුණ නුවණින් යුතුව ගමේ වැදගත් අය වශයෙන් දිවිගෙවති. ධනවත් පවුලක වුවත් පවුලේ දරුවන් අතර දිළිඳු තත්ත්වයෙන් යුතු අය ද සිටිය හැකියි. එයට හේතුව තමන් උපදින අවස්ථාවේ බලපෑ ග්‍රහ තත්ත්වයන් බව ඡ්‍යොතිෂ්‍යය අනුව පැහැදිලිය.

 

ධන සම්පත් උදා කර දෙන ග්‍රහයන් පිළිබඳව සැලකීමේදී රවි චන්ද්‍ර, ගුරු, ශුක්‍ර යන ග්‍රහයන් ඉතා වැදගත් ලෙස සැලකෙයි. කෙනෙකුට ලැබෙන ධන සම්පත් සමහර විටක ඉතා ඉක්මනින් වැයවී යයි. තවත් විටක කෙනකුට ධන සම්පත් ලබාදෙන ග්‍රහයන් වෙත අශුභ දෘෂ්ටි වැටී ඇත්නම් ලැබෙන ධනය ද නිරපරාදේ වියදම් වී යයි. ඔබට ධන සම්පත් උදා කරදෙන ග්‍රහයෝග මේ අයුරින් දක්වා ඇත. කේන්ද්‍ර සටහනේ ධනය පිළිබඳව කරුණු සෙවීමට වැදගත්ම කොටුව වනුයේ කේන්ද්‍රයේ දෙවැන්න හා එකොළොස්වැන්නය. දෙවැන්නෙන් උපතින් ලබන හා තැන්පත් ධනය පිළිබදව කියවෙන අතර එකොළොස් වැන්නෙන් උපයන ධනය හා හදිසියේ ලබන ධනලාභ පිළිබඳ තොරතුරු දැන ගැනීමට හැකිය. එමෙන්ම හතරවැන්න ගේ දොර,ඉඩකඩම්, යාන, වාහන , ලාභ පිළිබඳවද දැනගැනීමට හැකිය. මෙම භාව අධිපතීන් බලයෙන් යුතුව හෝ එම ස්ථානවල ශුභ ග්‍රහයන් සිටින විට ධනවත්වී ගේ දොර, යාන වාහන පවා හිමිවෙයි. දෙවැන්න අධිපතියා ඔබ උපදින විට ඔබේ කේන්දර සටහනේ එකොළොස්වැන්නේ සිටියහොත් ඔබ උපතින්ම මවුපියන්ගේ ධනයකට උරුමකම් කියනු ඇත. නැතිනම් ඔබ උපතින්ම ධනවත් පවුලක උප්පත්තිය ලැබුවකු වෙයි. දෙවැන්නේ ගුරු ශුක්‍ර, බුධ, සඳු වැනි ග්‍රහයන් සිටිවිට ඔබට තැන්පත් ධනයක් උරුමවනු ඇත.

දෙවැන්න අධිපතියා එකොළොස්වැන්නේත් එකොළොස්වැන්න අධිපතියා දෙවැන්නේත් ස්ථාන මාරුකරගෙන සිටියොත් ඔබ විශාල ධනයකට හිමිකම් කියයි. එකොළොස්වැන්න අධිපතියා අටවැන්නේ නම් එයද හදිස්සියේ ධන ලාභ ඇතිවීමට හේතුවක් වෙයි. යම් අයකුගේ කේන්ද්‍රයේ තුන්වැන්න, හයවැන්න හෝ එකොළොස්වැන්න යන ස්ථානයක් මේෂ රාශිය වී කුජ ග්‍රහයා එහි තැන්පත්ව සිටීනම් එය “ගජකේෂරී” නම් ග්‍රහයෝගය වේ. මෙබඳු අයට සැප සම්පත් , යසඉසුරු ,රන්රිදී, මුතුමැණික් ආදිය ලැබීමට වාසනාව ඇත. භූමියෙන් ලැබෙන වටිනා වස්තු සම්භාරයකට හිමිකම් කියයි.

මැණික් කර්මාන්තය, පතල් කර්මාන්තය ආදියෙන් හා වැව් ආශි‍්‍රත කර්මාන්තවලින් විශාල ධනවතුන් වනුයේ මෙවැනි ග්‍රහ පිහිටීම් ඇති අයයි. කුජ මහ දශාව කුජ අන්තර් දශාව ගත කරන කාලය තුළදී මෙම සුබඵල උදාවනු ඇත.

රවි ග්‍රහයා ස්ත්‍රිය කෙරෙහි ද චන්ද්‍ර ග්‍රහයා පුරුෂයා කෙරෙහි ද ධනය සම්බන්ධයෙන් වැදගත් වෙයි. කිසියම් අයුරකින් රවි, චන්ද්‍ර දෙදෙනා අශුභ දෘෂ්ටි හෝ අශුභයාට ශුභ දෘෂ්ටි හෝ දුන්නේ නම් ධනය ලැබීම අතින් ඉතා යහපත් වන අතර අශුභ දෘෂ්ටිය වැටුණේ නම් ධන සම්පත් ලැබීම දුර්වල කරයි.

බහුතර ග්‍රහයන් පිරිසකගේ ශුභ දාෂ්ටි ශුභ ග්‍රහ සංයීග වැඩිවූ තරමට ධනය ලැබීම වැඩි කරයි. චංචල දේපළ ලැබීම ද දියුණු කරයි. එකොළොස්වැන්නේ සෙනසුරු සිටීමත් හොඳ ධන යෝගයකි. පොළොවෙන් වස්තුව ලැබීමට හොඳ පිහිටීමකි. ඔබේ කේන්ද්‍රයේ කුජ හා ශුක්‍ර එකොළොස්වැන්නේ නම් අනුන් පිනවන රසිකත්වයෙන්, මිනිසුන් සනසන ක්‍රමවලින් ධනය විශාල ලෙස ලැබීමට හේතුවෙයි. ඇසුරු කරන, හමුවෙන අයගේත් ධන යෝග උදාකරන පිහිටීමක් වේ.

කේන්ද්‍ර සටහනේ හත්වැන්න, අධිපතියා දෙවැන්නේ හෝ එකොළොස්වැන්නේ නම් විවාහයෙන් පසු විවාහ සහකරු හෝ සහකාරියගේ සහායෙන් හෝ උරුමයෙන් ධනවතකු වීමේ භාග්‍යය හිමිවෙයි. දෙවැන්නා අධිපතියා හෝ එකොළොස් වැන්න අධිපතියා දොළහේ සිටීම නිර්ධන යෝගයක් වෙයි. උපතින් ධනවත් පවුලක ඉපදුණත් එම ධන සම්පත් පවා එම අයට අහිමි වී යයි.

වෘෂභ ලග්නයේ උපත ලබා සඳු උච්චව එහි සිටියේ ද ,දෙවැන්නේ ගුරු ද හයවැන්නේ සෙනසුරු ද, අනිත් ග්‍රහයින් 11,10 ස්ථානවල සිටියේ නම් එයද ධන සම්පත් ලැබීමට හේතු වේ. ගුරු, සිකුරු, බුධ ලග්නගතව සෙනසුරු හතේ ද, රවි දහවෙනි ස්ථානයේ ද සිටිවිට මහා ධනවතකුගේ උත්පත්තිය සිදුවේ. සියලු සම්පත් හිමිවේ.

මිථුන ලග්නය වී පස්වැන්න සිකුරු පතිතවෙයි ද, සෙනසුරු එකොළහේ සිටී ද, එවැනි පිහිටීම් ඇතිනම් ස්වීප් ලොතරැයි තරග ආදියෙන් ජන්මියාට ධන ලාභ ගෙන දේ. තවද යම් අයෙක් මකර ලග්නයෙන් ඉපිද එහි කුජ ග්‍රහයා තැන්පත්වී සිටීනම් හෙතෙම රුචක නම් බලවත් යෝගයෙන් උපන් අයෙක් වේ. මෙවැන්නෝ කුමන ආකාරයකින් හෝ ධනය වස්තුව, මිල මුදල් ලබා සැපවත් ජීවිත ගත කරති. තම සතුරන් මර්දනය කරමින් කිසිවකුටවත් නොබියව මුහුණදෙමින් ජය ලබමින් , කීර්ති , ප්‍රශංසා ලබමින් වාසනාවන්ත ජීවිත ගත කිරීමට භාග්‍ය ඇත්තෝ වෙති.

 

 

හිඹුටානේ

පියතිලක ද අල්විස්

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.