මේ හැඩවල ඉඩම් නිවෙස් හිමියාට අසුබයි

අප්‍රේල් 29, 2022

ත්‍රිකෝණ භූමිය

මෙවැනි භූමියක් තුළ නිවස පිහිටා ඇත්නම් නිවෙස් හිමියාට නීති ප්‍රශ්නවලට මැදිහත් වීමට කටයුතු යෙදේ. නීතියට අනුකූලව දඬුවම් ආදියට යටපත් වීමේ පසුබිමක් නිර්මාණය කරදෙනු ලැබේ. මෙවැනි ඉඩමක් සහිත නිවෙසක හිමිකරු පාලකයන් කෙරේ භීතිය ඇති කර ගනී. රාජ්‍ය කටයුතුවලදී බියපත්වන සිද්ධීන්වලට හෝ එහි අතරමැදි මුහුණදීම්වලට ලක්වීමට සිදු වේ. ආරක්ෂාව පිළිබඳ ගැටලු ද ඇති වේ. එය නිවැසියන්ට හා නිවසට බලපෑමක් ලෙස පවතිනු ඇත. මෙවැනි හැඩයේ ඉඩම් නිවෙස් තැනීමට නුසුදුසු වේ.

විෂම භූමිය /විෂම බාහු

ජීවිතය ජව සම්පන්නව ගත කිරීමේ හැකියාව අඩු කෙරෙන ඉඩම් පිහිටීමක් වේ. මලානික ස්වරූප ජීවිත හිමියෝ මෙවැනි හැඩයේ ඉඩම්වල නිවෙස් තැනූ විට බිහිවේ. ජීවන ආදායම, ජීවන මට්ටම අක්‍රිය කර ජීවිතයේ පැවැත්ම හා ක්‍රියාකාරිත්වය අඩුකිරීමේ හැකියාව මෙම විෂම භූමි ඉඩම්වල හැඩය සතුය.

චක්‍ර භූමිය

මෙවැනි ඉඩම් දුර්ලභ වේ. මෙවැනි ඉඩම් නිරීක්ෂණය වනුයේ ඉතාමත් අඩුවෙනි. කිසිදු ලෙසකින් පදිංචියට සුදුසු නොවන ඉඩම් වේ. ඉඩම් මිලදී ගැනීමේ දී මෙවැනි හැඩ ඇති ඉඩම් හසුවිය හැකිය. මෙවැනි ඉඩම්වල වාසය ඇත්තන් දිළින්දන් බවට පත්වේ. ඒ නිසා නිවෙසක් තැනීමේ දී මෙවැනි ඉඩම්වල නිවෙස් තැනීම නොකළ යුතුය.

ධනවා භූමිය /ධනු

දුන්නක ස්වරූපයක් මෙම ඉඩම් හැඩයෙන් දිස්වනු ඇත. මෙවැනි භූමියක නිවෙස ඉඳිකළ විට එයට සොර සතුරු උපද්‍රවය බලාත්කමය. මේ නිසා සොර සතුරු බියෙන් දිවිගෙවීමට නිවැසියන්ට සිදුවනු ඇත. සමාජයෙන් කොන්ව ගතකරන ජීවිත හිමිය. සීමිත භූමියක සාමාජිකයන් වන බැවින් සමාජයේ මොවුන්ව පිළිගැනීමට ලක් නොවීමට හේතු වේ. මේ සියලු තත්ව බලපෑම් හේතු කොට අසාර්ථක ජීවිතයක් ඇති කිරීමට මෙවැනි භූමියක හැඩය දායක වේ.

පණවා භූමිය /පනවස්සාන

අටපට්ටම් හෝ පට්ටම් හැඩැති භූමිය මේ නමින් හැඳින්වේ. මෙවැනි භූමියක නිවෙසක් තැනුවහොත් අවාසනාවන්ත ජීවිතයක් හිමිකර දීමට මෙම හැඩය බලපායි. විශේෂයෙන් ඇස් සඳහා වැඩි අහිතකර බලපෑමක් ද මෙහි ඇති වේ. වාසනාවන්තයන් සිටිය ද ඉඩමේ හැඩයේ බලපෑම අවාසනාව ළඟාකර දීමට හේතු වේ.

මූර්ජාකාර භූමිය

දෙකොන් සිහින් මැදවහන භූමිය නම් වූ මෙවැනි ඉඩමක නිවෙස තනන්නාගේ බිරියට අයහපත් වන භූමි පිහිටීමකි. තවද නිවසේ වෙසෙන ස්ත්‍රී පක්ෂයට අයහපත් වේ. නිරතුරු රෝගාබාධ තත්ත්වයන්ට පහසුවෙන් ගොදුරුවන ස්වභාවයක් අත් වේ. ඉඩමේ හැඩය නිසා මෙය සිදුවේ.

දණ්ඩ භූමිය

දඬුකඳක්වන් හැඩ ඇති භූමියකි. සත්ත්වයන්ට වාසය කිරීමට ඉතා අසීරුය. විශේෂයෙන් සිවුපාවුන් නැසෙන භූමියකි. සෙසු නිවැසියන්ට සාමාන්‍ය දිවියක් ගෙවිය හැක.

ශකට භූමිය

මෙය කරත්තයක් හැඩැති භූමියකි. ගැලක් වැනිය. නිවැසියන්ට ධන හානි ගෙන දෙන භූමි හැඩයකි. මෙහි විසීම ආර්ථික ශක්තියට බලපානු ඇත. එනිසා මෙවැනි භූමියක් නිවෙසක් තැනීමට සුදුසු නොවේ

ශුර්ප/කුල භූමිය

කුල්ලක් හැඩයට පවතින භූමි මේ නම් වේ. මෙවැනි ඉඩම් වල වෙසෙන්නන්ගේ ධනයට හානි සිදුවේ. ඊට බොහෝ දුරට බලපානුයේ සොරසතුරු උපද්‍රවයන්ය.

කුර්ම පෘෂ්ඨ භූමි

ඉබ්බෙකුගේ පිටක් හැඩැති භූමි වේ. මෙම හැඩගන්නා ඉඩම්වල විසීම අපහසු වේ. විවිධ වදවලට ලක්වීමට සිදුවේ. විවිධ වදබන්ධනවලට යටත් වේ. සිර ගෙවල් ආදියේ උරුමය ද මෙම ඉඩමේ හැඩයෙන් කියවෙයි.

මෙසේ නොවන ඉඩම් හැඩ වාසයට සුදුසුවන අතර නිරන්තර ශුභපල දෙන විවිධ හැඩයන් සහිත වාසයට සුදුසු ඉඩම් වේ. මේ පිළිබඳව දැනුමැති විශේෂඥයකු ඔබගේ නිවෙස තනන ඉඩමට ගෙනැවිත් පරික්ෂාකර ගැනීමටත්, මෙම විෂය කරුණු පරිහරණය කරන ඔබ ,අන් අය ද මෙම අයහපත් තත්ත්වයෙන් මුදවාගෙන දැනුවත් කිරීමත් ඔබට ද පින් අත්වෙන කටයුත්තකි.

වර්තමානයේ පවතින පුද්ගල ආර්ථික හැකියාව හා පවතින කුඩා ඉඩම්ල හැඩය බොහෝ දුරට නිවෙසක් තනා පදිංචියට නුසුදුසු මට්ටමේ පැවතිය ද අදාළ හැඩය නිවැරැදි කර ගැනීමට ඔබට හැකියාව ඇත. එම නිසා ඒ ගැන විශේෂ අවධානයක් යොමු කිරීම වඩාත් සුදුසුය.

 

ශාස්ත්‍රවේදී

විරාජිත් බණ්ඩාර

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.