වර්ෂ 2024 ක්වූ October 11 වැනිදා Friday
වාස්තු පමණක් දැනගැනීමෙන් දෝෂ ඉවත් කළ හැකිද?
පුරාතන වාස්තු ශාස්ත්‍රය පැවතියේ ඡ්‍යොතිෂය ආශ්‍රයෙන් බව අපගේ සිහියේ තිබිය යුතුයි. මෙය අවධාරණය කිරීමට සිදුවී ඇත්තේ නූතන බටහිර විද්‍යාවේ දියුණුවත් බටහිර ශිල්ප කලාවල (තාක්ෂණයේ) දියුණුවත් සමඟ වාස්තු ශාස්ත්‍රයේ වූ බටහිර විද්‍යාත්මක සකස්වීම පමණක් සලකන මේ විෂයය භාවිත කරන්නන් බහුල වෙමින් පැවතීමයි. එවැනි තත්ත්වයක් යටතේ නූතන දැනුම අතහැර ගතානුගතික කරුණු මත පදනම් වීම මෙන්ම පුරාතන සම්ප්‍රදායික දැනුමේ පදනම මඟහැර දැමීමත් එක ලෙස අඥාන කටයුත්තකි.
වාස්තු පුරුෂයා හා මර්මස්ථාන පිළිබඳ අදහස පවා බිය උපදන භක්තිවාදී ප්‍රවේශයකින් නොවූවත් අවම සංකේතාර්ථවත් සංකල්පයක් ලෙස වත් අවබෝධ කර ගැනීම ශිල්පියකුට පාඩුවක් නොවේ. එසේම නූතන පර්යේෂණාත්මක තහවුරු කිරීම් මෙතරම් තිබියදී ඒ සියල්ල මඟහැර ගතානුගතිකව වඩුරියනට හා එකොළොස් පොරොන්දමට කොටු වී ක්‍රියා කිරීමද සමාජයට අත් කරන්නේ පාඩුවක් පමණි.
වාස්තු ශාස්ත්‍රීයව නිවෙසක් නිවැරැදි කිරීමට ඇති ක්‍රම රැසක් පවතී. ඒ අතරින් සාම්ප්‍රදායික ක්‍රමය වන්නේ ඉදිකිරීමේ කොටස් වාස්තු සිද්ධාන්ත අනුව වෙනස් කිරීමයි. මෙසේ වෙනස් කිරීමට විශාල වියදම් සිදු නොකර හැකිතාක් අවම පිරිවැයක් සහිතව පිරමිඩාකාර මෙවලම් පිහිටුවමින් සිදු කරන වාස්තු දෝෂ නිවාරණ ක්‍රමයන් අද ඉතා සාර්ථකව භාවිතයට පැමිණ තිබේ.
වාස්තු දෝෂවල නිවාරණයක් සිදු කළද එහි පැවැති දෝෂයන්ගෙන් බලපෑම නිසා විවිධ රෝගාබාධ ආදිය නිවැසියන්ට වැලැඳී තිබෙන්නට පුළුවන. එවැනි අවස්ථාවකදී ශිල්පියා ආයුර්වේදය හෝ පාරම්පරික වෙදකමත් දැන සිටීම නිවැසියට ඉන් ඔබ්බට සාර්ථක විසඳුමක් ලබා දීමට මහත් සේ ඉවහල් වනු ඇත.
නිදසුනක් ලෙස යම් නිවසක ඊශානයේ හා මධ්‍යයේ එක විට දෝෂ පැවතීමෙන් නිවැසියනට සෙම් රෝග වැලඳීමේ වඩා නැමියාවක් ඇතිවේ. එකී වාස්තු දෝෂ නිවාරණය කිරීමෙන් පසුද යම් සෙම් දෝස සමනය කිරීමට අවශ්‍ය ඔසු හා විහරණ (භාවිතයනන්) වටහා දීමෙන් නිවැසියනට වැඩි සේවයක් ලබා දිය හැකියි. මේ සඳහා වෙදකම පිළිබඳ පුළුල් දැනුමක් තිබීම ඒ අනුව අතිශයින් වැදගත් වේ.
යන්ත්‍ර මන්ත්‍ර සෙත් පිරිත් ආදිය පිළිබඳ වූ දැනුමද වාස්තු දැනුමට අමතරව ඇති ශිල්පියකුට වාස්තු දෝෂ නිවාරණයෙන් පසු වඩාත් සාර්ථක පිළියම් ලබා ගැනීමට මහත් පහසුවක් වනු ඇත. එහිදී ශිල්පියාට නිවැසියන්ගේ භෞතික ශරීරය (දේහය) පිළිබඳ අවබෝධය මෙන්ම ශක්ති ශරීරය පිළිබඳ අවබෝධය පුළුල්ව පැවතීම ද අතිශයින් වැදගත් වේ. මේ අනුව යම් පුද්ගලයෙකුගේ දෙපා හා පහළ කොටස්වල පවත්නා රෝගාබාධ තත්ත්වයන් වාස්තු දෝෂ නිවාරණය කළ පසු ද පවතින්නේ නම් විවිධ ශබ්ද විද්‍යාත්මක ප්‍රතිකර්ම වෙතින් එසේ ඉතිරි වී ඇති යම් දෝෂයන් ඇත්නම් ඒවාද සියුම්ව සමනය කර දිය හැකියි.
බටහිර විද්‍යාව දියුණුව පවත්නා රටවල බොහෝ දෙනා පිළිගන්නා මුත් තවමත් අපේ රටේ විධිමත් පර්යේෂණයන් සිදු නොවීමේ හේතුවෙන් අන් ඇසට නොපෙනෙන විවිධ බලවේග පිළිබඳව මනා අවබෝධයක් ඇති වාස්තු ශිල්පියකුට වාස්තු දෝෂ නිරීක්ෂණයෙන් නොනැවතී වෙනත් විවිධ ශිල්ප භාවිතයට ගනිමින් අතිශය සාර්ථක ලෙස පහත් ආත්ම (භූත, ප්‍රේත, පිසාච, කුම්භාණ්ඩ ආදී) මැඩලීම සිදු කළ හැකියි. ඒවායෙන්ද වැඩි යහපතක් ලබා ගැනීමට එවිට නිවැසි සේවාලාභීනට අවස්ථාව උදාවේ.
පුරාතන සම්ප්‍රදායික සමුද්‍රිකා ශාස්ත්‍රය දැන සිටීම වාස්තු ශාස්ත්‍රය අදාළ සේවාලාභියා වෙත ගෙන යා යුතු අයුරු පිළිබඳ පෙරහුරුවක් ශිල්පියාට ලබා දෙන්නේ නූතන මනෝවිද්‍යා දැනුමට නොදෙවැනි ආකාරයටයි. එයට අමතරව ඡ්‍යොතිෂයේ දී මෙන්ම හස්ත රේඛා දේහ ලක්ෂණ ආදී දැනුම ඇති ශිල්පියකුට වාස්තු විද්‍යානුකූලව වඩාත් බලවත් කළ යුතු කරුණු පිළිබඳව වැඩි අවධාරණයකට අවස්ථාවද එහිදී සැලසෙනු ඇත. එබැවින් විශ්ව කර්ම, මය, පරාශර ආදී සෘෂි භාවිතයනට නොඅඩු වටිනාකමක් සමුද්‍ර සෘෂිවරයාටද ලබාදිය යුතු බව පැවසිය යුතුයි.
මෙවැනි විවිධ සමගාමී ශාස්ත්‍රයන්ගේ අවබෝධය මෙන්ම නූතන සමාජ භාවිතයන් පිළිබඳවද අවබෝධයක් වාස්තු ශිල්පියා සතු විය යුතු වේ. ඉදිකිරීම් ශිල්පයේ විවිධ කාලීන මෝස්තර හා මාදිලීන් පිළිබඳ අවබෝධයක් ඒවාට අදාළ වාස්තු සෛද්ධාන්තික විග්‍රහයන් තිබීමද වැදගත් වන්නේ එසේ නොමැතිවීමෙන් නිවැසියන් නිවසෙන් ලබන සුන්දර ආස්වාදය ද වියැකී යා හැකි බැවිනි.
අවසානයේ දී කවර ශිල්පීය දැනුමක් වාස්තු ශිල්පියා සතු වුවද පෙනුම හා පරිහරණ පහසුව පිළිබඳ මනා රුචියක් හා අවබෝධයක් නොතිබුණහොත් නිවැසියන් විවිධාකාරයෙන් අපහසුවටත් පීඩාවටත් පත්විය හැකියි. එබැවින් ඉදිකිරීම් වාස්තු විද්‍යාත්මක පදනමක් ශක්තිමත් බව දනවන ඉංජිනේරුමය (ව්‍යුහාත්මක) පදනමක් මෙන්ම සුන්දරත්වය පිළිබඳ වින්දනාත්මක පදනමක් එක සේ සලකන හා ඒවා පිළිබඳ මනා පරිචයක් ඇත්තකු බවට වාස්තු ශිල්පියා පත්ව තිබිය යුතු වේ.
සිවිල් ඉංජිනේරු
විශ්වවිද්‍යාල බාහිර කථිකාචාර්ය
විද්‍යාත්මක වාස්තු පර්යේෂණ ආයතනයේ ප්‍රධාන පර්යේෂක
ජනක පි‍්‍රයන්ත දයාරත්න