භීත වාස්තු වෙනුවට තුලිත වාස්තු

නොවැම්බර් 17, 2023

වසර දහස් ගණනක් දැයට සෙත සැලසූ ශාස්ත්‍රයක් ලෙස වාස්තු විෂයයේ අගය තවමත් නොනැසී පවතී. එහි උපයෝගීතාව වර්තමානයේ වඩ වඩාත් බලවත්ව ඇත්තේ වෙනත් බාහිර ප්‍රායෝගික ආර්ථික හා සමාජීය හේතු නිසා සමාජයම මහත් පීඩාවනට අද පත්ව ඇති බැවිනි. මේ තත්ත්ව යටතේ අප විසින් මේ විෂයය මැනැවින් විධිමත්ව භාවිත කළ යුතුව තිබේ.

එසේ වුවත් අද බොහෝ ශිල්පීන්ගේ ප්‍රායෝගික භාවිතයන් මේ උත්තරීතර වගකීම අවබෝධ කර ගත් බවක් පෙනෙන්නේ දැයි සිතා ගැනීම අසීරු ය. මෙය තවදුරටත් වටහා ගත හැකි ප්‍රායෝගික නිදසුනක් මෙහිදී සිහියට එයි.

අම්බලන්ගොඩ ප්‍රදේශයේ එක්තරා, නිවසක් පරීක්ෂාවට ගිය අවස්ථාවේ ඒ නිවස හිමි වයස තිස් ගණන්වල පමණ සිටින අවිවාහක කාන්තාව අප ඉදිරියේ කරුණු කියමින් හඬින් හඬන්නට පටන් ගත් අයුරු වසර ගණනාවක් ගෙවී ගියද අපට හොඳින්ම මතක ය. මේ නිවසේ ප්‍රවේශය ගිනිකොණට බරව දකුණු කෝණයේත් උතුරු කෝණයේත් පැවති බව අපට හොඳින්ම මතක් වේ. ඉඩම මායිමේ වන මාර්ගය නැඟෙනහිරෙන් යෙදී තිබේ. බස්නාහිර දිශාවේ මායිම් බිත්තියටම යොදා නිවස ඉදිකර ඇත්තේ ඉඩම තරමක් කුඩා බැවින් උපරිම ලෙස නිවසට ඉඩ ලබා ගනු පිණිසයි.

මේ නිවසට පැමිණි වාස්තු ශීල්පිනියක් විසින් මේ ස්ථානය “අමු සොහොනක්” බව තරයේ කියමින් දකුණු කෝණයේ පිහිටි (ගිනිකොණට භාර) කාමරය ඉවත් කරන ලෙසත් ඒ කවරක් සිදු කළත් වඩාත්ම උචිත කරුණ ලෙස ලබා දුන් නිර්දේශය වන්නේ හැකි ඉක්මනින් නිවස විකුණා දමන ලෙසයි. නිවස හිමි කාන්තාව යළිත් වාස්තු පරීක්ෂාවක් සඳහා අපව කැඳවා ගනු ලැබුයේ මේ දේපළ නොවිකුණා කළ හැකි කුමක් හෝ ස්ථිර විසඳුමක් ඇත්තේ දැයි විමසනු පිණිසයි. එහි පැවති සුළු වාස්තු දෝෂ ද ඉවත් කර දැමීමෙන් අනතුරුව විවාහයෙන් දරුවන්ද ලැබ ඉතා යහපත් දිවියක් ඒ නිවැසි කත අද ගෙවන අයුරු දැන ගැනීමෙන් අප ලබන සතුට ඒ ගාස්තුවකට යට කර ගත හැකි නොවේ.

මේ සිදුවීම කියනු ලැබූයේ වාස්තු ශිල්පීන් සිය සේවාලාභී නිවැසියන් බිය වැද්දීමටත් ඒ මඟින් තමන් විසින් සිදු කරන වාස්තු නිර්දේශයනට වැඩි බරක් ලබා ගැනීමට උත්සාහ කිරීම අතිමහත් පවකි. (එයට අමතරව නිවසේ ඔවුන්ගේ නිර්දේශ අනුව කඩා බිඳ වෙනස්කම් කිරීම සඳහාත් පෙදරේරුවකුද යෙදවීම අදාළ ශිල්පිනියම සිදු කිරීමෙන් මේ කූට කාර්යයේ තරම අපට එහිදී තවදුරටත් අවබෝධ විය.) මෙවැනි වාස්තු ක්‍රියාවන් සේවාලාභීන්ගේ (නිවැසියන්ගේ) බිය උපද්දවීම අරමුණ කරන බැවින් ඒවා “භීත වාස්තු” ලෙස නම් කිරීමට අපි කැමැත්තෙමු.

එසේම ගිනිකොණට බරව පැවති ප්‍රවේශය දකුණු කෝණයට අයත් වන බව වත් මෙකී ශිල්පිනය මැන බලා අවබෝධ කර නොගනිමින් විවාහයේ ආරවුල් ඇති වීමට ඇති ඉඩ පිළිබඳ කියමින් අවිවාහක කාන්තාව තව තවත් බියට පත් කිරීම වාස්තු ශිල්පයටම සිදු කළ මහත් අවමානයකි. මෙවැනි සිදුවීම් සත්‍ය වශයෙන් පැවතියත් එකී බරපතළ දෝෂ විසඳා ගත හැකි බවට විශ්වාසය දනවමින් පියවරෙන් පියවර යමින් දෝෂ නිවාරණයට අවස්ථාව සළසා දීමයි. තම සේවාලිභීන් දෙස සානුකම්පිතව බලන ශිල්පීන් විසින් කළ යුතු වන්නේ. නොඑසේම බිය ගන්වා මුදල් ලබා ගැනීම (උදුරා ගැනීම) මෙවැනි පූජනීය ශාස්ත්‍රය යෙදෙන අයකුට කිසිසේත් උචිත නොවේ.

මෙවැනි වාස්තු ශාස්ත්‍රයක් මෙරට පවතින බැවින් නිවැසියන් විසින් අනුගමනය කළ යුතු පියවර ගණනාවක් පවතී. ඒ අතරින් පළමුවන කරුණු වන්නේ ශිල්පියා විසින් දෝෂයක් දැක්වූ විට එයට හේතු විමසා සිටීමයි. සම්ප්‍රදායික වාස්තු නිර්දේශ ඇතුළත් මූලාශ්‍රයක් අනුව හෝ නූතන වාස්තු සිද්ධාන්තයක් අනුව දෝෂය විග්‍රහ කර ගැනීමට ශිල්පියා අපොහොසත් වන්නේ නම් එවැනි දෝෂ පරික්ෂාවන් හා විකල්ප නිර්දේශයන් පිළිබඳව හිත් පීඩා ඇති කර ගත යුතු නොවේ.

මෙයට අමතරව නිවසේ යම් අධ්‍යාපනයක් සහිත සමාජිකයකුගේ සහාය ලබා ගිනිමින් පතපොත හෝ අන්තර්ජාලය ඔස්සේ යම් අවබෝධයක් තම නිවස පිළිබඳව ලබා සිටීම කවර ආකාරයේ වාස්තු ශිල්පියකු පැමිණිය ද ඒ ශිල්පියාගෙන් උපරිම ප්‍රයෝජනය ලබා ගැනීමටත් පෙර කී පරිදි බියගැන්වීම් වැනි අපහසුතාවනට ලක් නොවී සිටීමටත් ඉවහල් වන බව වටහාගත යුතුව තිබේ.

එසේම වාස්තු ශිල්පියා විසින් ලබා දෙන නිර්දේශ ආදිය ලිඛිතව ලබා ගැනීමත් අතිශයින් වැදගත් වේ. එය නිවැසියන්ගේ මතකයේ රඳවා ගැනීමේ අපහසුවක් ශිල්පියාගේ නිර්දේශය නිශ්චිත කර ගැනීමටත් මහත් සේ ඉවහල් වේ. එහිදි නිවසේ මධ්‍යයත්, දිශාවත් අවට අයත් සීමාවන් ආදියත් නිශ්චිතව ශිල්පියාගෙන් විමසා දැන ගැනීමට නිවැසියාට අයිතියක් ඇති බවද සැලකිය යුතු වේ. එවැනි විමසීමකදී මවා ගත් කෝපයකින් හැසිරෙමින් විමසීම් ප්‍රශ්න ආදිය මග හැරීමට වෑයම් කරන්නන් වාස්තු ශාස්ත්‍රය වැනි පූජණීය විෂයයකට උචිත වූවන් නොවේ.

අප විසින් නිරන්තරයෙන් අවධාරණය කරන පරිදි වාස්තු ශිල්පියා විසින් කළ යුතු යැයි දක්වන නිර්දේශයන් ප්‍රායෝගිකව සිදු කළ හැකි දේ දැයි අවබෝධ කර ගැනීමටද නිවැසියන් සමත් විය යුතුයි. මෙහිදීත් පිළියන්දල ප්‍රදේශයේ නිවසක වහළයේ වාස්තු දෝෂයක් ඉවත් කිරීම සඳහා හතර පල වහළයක අට්ටාලය  (Intermediate Beams)  කොන්වලින් ඇති සම්බන්ධය ඉවත් කිරීමට කර තිබූ නිර්දේශය අපට සිහිපත් වේ. මේ නිර්දේශය අනුව ක්‍රියා කළ වහළ කෙළවර පහතට නැමී ගොස් තිබූ අයුරු අපට තවමත් මතකය. එය එසේ තිබෙන්නට හැරියේ වී නම් මේ වන විට වහළය කඩා වැටී බොහෝ කල්ය.

මෙවැනි කරුණු පිළිබඳව යම් තුලනාත්මක අවබෝධයක් සහිතව කටයුතු නොකළහොත් නිවැසියනට ඔවුන්ගේ අවශ්‍යතාව මැනවින් ඉටු කර ගැනීමට නොහැකි වන බව මෙහිදී අවධාරණය කළ යුතුව තිබේ.

 

සිවිල් ඉංජිනේරු

විශ්වවිද්‍යාල බාහිර කථිකාචාර්ය

විද්‍යාත්මක වාස්තු පර්යේෂණ ආයතනයේ ප්‍රධාන පර්යේෂක

ජනක පි‍්‍රයන්ත දයාරත්න 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
15 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.