දේවස්ථාන සහ දේව පිළිමවලටත් වාස්තු සෙවිය හැකිද?

නොවැම්බර් 24, 2023

වාස්තු විද්‍යාවේදී “විශ්වකර්ම” ඍෂිවරයාට ලැබෙනුයේ අද්විතීය ස්ථානයකි. යම් වාස්තු විද්‍යානුකූල විශිෂ්ට නිර්මාණයක් ලොව කොතැනක තිබුණද එහි අද්විතීය නිර්මාණශීලිත්වය ඇගයීමටත් එහි ගූඪ විස්මිත බව හුවා දැක්වීමට අප දැනුදු භාවිත කරනුයේ එය නම් පුදුම සහගත “ විශ්ව කර්ම” නිර්මාණයක් බවයි.

 

ඉදින් ක්‍රිස්තු පූර්ව 6වැනි සියවසේදී පැරැණි එෆිසස් නුවර (වර්තමානයේ එය තුර්කියේ ඉස්මීර් නගරයට කිලෝමීටර් 50ක් පමණ ඈතින් දකුණු පසට වන්නට පිහිටි සෙලක් නම් නගරය) ගොඩනැඟුණු විශ්ව කර්ම නිර්මාණයකින් මේ මිහිතලයේ අලංකාරය තව තවත් වැඩි වීමට හේතු කාරක විය.

දඩයමට, වන ජීවිතයට හා සරුසාර භාවයට අධිපති ආටෙම්ස් ඩයනා දෙව්දුවට කැප කරන ලද මේ දෙව්මැදුර වාස්තු විද්‍යාවේ ස්වර්ණමය යුගයක් සනිටුහන් කරයි. එය කෙතරම් අපූර්වජනක හා අලංකාරයෙන් යුතු දැයි කියතොත් සයිඩනයේ “ඇන්ටිපේටර්” නම් රචකයා සඳහන් කර ඇත්තේ,

“මේ ධරණි තලය මතුපිට ඇති හැම දෙයක්ම දක්නා හිරු දෙවියන් පවා ඔලිම්පියා කන්දෙන් මෙපිට එවැනි අලංකාර නිර්මාණයක් දැක නැති විය හැකිය යනුවෙනි. එම දෙවොල එතරම් මනරම්ය.”

පැරැණි ලෝක පුදුම හතට තුර්කියේ එෆීසස්් ආසන්නයේ සෙල්තුක්හි ආටේම්ස් ඩයනා දෙව්දුවගේ දේවස්ථානය ක්‍රිස්තු පූර්ව 7වැනි සියවසේදී ඉදිකිරීම් ඇරඹීය. එහි ඉදිකිරීම් වැඩ නිම වූයේ ක්‍රිස්තු පූර්ව 550දී පමණයි. මෙය තුර්කියේ එෆීසස් හි පූජා භූමිය තුළ ඉදිවී තිබිණි.

 

ඉතිහාසය

 

එෆීසස්හි පූජා භූමිය ආටේම්ස් ඩයනා දෙව්දුවගේ දේවස්ථානයකට ද වඩා බොහෝ පැරණිය. පිළිම කේන්ද්‍ර කරගත් එකල විසූ ඇමේසන්වරු එෆීසස්හි ටෙමෙනස් සම්භවයෙන් පැවත එන්නන් විය. ඔවුන් අයනික සංක්‍රමණයට ද වසර කිහිපයකට පෙර සිට පැවත එන්නන් විය. තුර්කියේ ඉපැරණි ආදිවාසින් වූ ප්‍රවර් – අයනික ජනාවාසිකයින් වූයේ ලිලීග්වරු හා ලයිඩියන්වරුය. මේ භූමිය පළමු පුරාවිද්‍යා කැණීම් සිදු කළේ ඩේවිඩ් ජොප්හොගාතර් විසිනි.

මේ පුරාවිද්‍යාත්මක කැණීම්වලදී හෙළීදරවු වී ඇත්තේ එකම භූමියේ එකක් මත, එකක් වශයෙන් වැළලී තිබූ අනුපූරක දේවස්ථාන තුනක් හඳුනා ගෙන ඇත. එමෙන්ම 1987 - 1988 දී කරන ලද පුරාවිද්‍යාත්මක කැණීම් මඟින් සොයාගෙන ඇත්තේ මේ භූමි භාගය ලෝකඩ යුගය තරම් ඈත අතීතයක පටන් ජනාවාස වී තිබූ බවයි.

ක්‍රිස්තු පූර්ව 8වැනි සියවසේ දෙවැනි භාගයේදී මැටි ගාන ලද “පෙරිෂ්ටෙලේ”නම් දේවස්ථානය ඉදිවන්නට ඇත. මේ භූමියෙන් සොයා ගන්නා ලද මැටි භාණ්ඩ එකතුව නිසා එය ලෝකඩ යුගයේ සිට ජ්‍යාමිතික කාලය දක්වා විකාශනය වී ඇති බව හෙළිදරවු විය. එය කුලුනු වටින් වටවූ මුල්ම ගී‍්‍රක දේවස්ථානය විය.

එහෙත් සත්වැනි ශත වර්ෂයේදී මේ දේවස්ථානය ක්සොවතෝන් ගංවතුරෙන් විනාශ වූ අතර, එමඟින් මීටර බාගයකට වැඩි වැලි තට්ටුවක් තැන්පත් විය. තවද කැණීමේදී තහවුරු වූයේ බිම පුරා ගංවතුරට පාවී ආ බඩු භාණ්ඩ විසිරී තිබුණු බවයි. එම නටබුන් අතර පෙනෙන ලෙසට උතුරු සිරියාවට අයත් කැටයම් කළ ඇත්දළ ඵලකයන් සහ ජීවිත වෘක්ෂයක්ද විය. එෆීසස් හි කතකගේ දැවමය ප්‍රතිමාවක් හමුවී ඇත. එමෙන්ම 6 වැනි හා 8 වැනි ශත වර්ෂයේදී මීටර් 2ක් පමණ උසටද 4 වැනි හා 6වැනි ශත වර්ෂවලද තවත් මීටර් 2.4ක් උසට ගංවතුර ගැලුවද මේ භූමිය අත්හැරීමක් සිදු නොවී ඇත.

ආටේම්ස් ඩයනා දෙවිදුවගේ දෙවොල ඉදිකිරීම

 

නව දේවස්ථානය තනි කිරිගරුඬ පාෂාණවලින් සාදන ලද අතර පැරැණි “පෙරිප්ටෙරල්” දේවස්ථානයේ තිබූ ගෘහ ස්තම්භ දෙගුණයකින් විශාල කර වඩා පුළුල් වූ වේදිකා මඟක්ද ඉදිකෙරුණි.

එය සිදු වූයේ ක්‍රි.පූර්ව 550දී පමණ ක්‍රීටන් ගෘහ නිර්මාණ ශිල්පී කසරීප් රොන් සහ ඔහුගේ පුත්‍ර මෙගගිනීස් විසිනි. එන්ඩොයිස් ගෘහ නිර්මාණ ශිල්පියා විසින් දැවයෙන් කරන ලද ප්‍රතිමා ඇසීම ද සිදු විය. එමෙන්ම නයිස්කෝස් එළිමහන් අල්තාරයට නැඟෙනහිරින් මේවා ඉදිකෙරිණි.

වාස්තු විද්‍යානුකූලව සිදු කළ දෙවොලේ අත්තිවාරම ක්‍රිස්තු පූර්ව හත්වැනි සියවස දක්වා ඈත අතීතයට විහිද යයි. එසේ වුවද මේ කිරිගරුඬ මහා මන්දිර දැවැන්ත ගොඩනැඟිල්ල තනා නිම වූයේ ක්‍රිස්තු පූර්ව 550දීය. “මහා කිරිගරුඬ දෙවොල” නමින් ප්‍රසිද්ධියට පත් ආටේම්ස් දේව මන්දිරය ලිඩියාවේ කුරූසස් රජුගේ අනුග්‍රහයෙන් ඉදිකරන ලද අතර, එහි ප්‍රධාන නිර්මාණ සැලැස්ම වෙර්සිෆ්රොන් නමැති ගී‍්‍රක ගෘහ නිර්මාණ ශිල්පියා විසින් සකස් කරන ලදි.

පීඩියාස්, පොලික්ලෙයිටස්, ක්රේසිලාස් සහ ප්‍රඩ්වෝන යන ප්‍රවීණ ශිල්පියෝ දෙව්මැදුර ලෝකඩ ප්‍රතිමාවලින් සැරසූහ. පසුකාලීනව වෙළෙඳ මධ්‍යස්ථානයක්ව පැවති මේ ස්ථානයට කලක් තිස්සේ ව්‍යාපාරිකයෝ, දේශීය, විදේශීය සංචාරකයෝ ශිල්පිීහු සහ රජවරුද පැමිණියහ.’ “ඩයනා” දෙව්දුවට පූජා පැවැත්වූ ඔවුහු තමන් උපයාගත් ලාභයෙන් කොටසකක්ද පිදූහ. රනින් හා ඇත්දළින් තැනූ දෙවිදුවගේ පිළිම මේ පූජා භාණ්ඩ අතර විය. වන්දනාකරුවන් විසින් පූජා කරන ලද අරුංගල්, මාල, වළලු සහ වෙනත් කලා භාණ්ඩද කැණීම්වලදී සොයා ගෙන තිබේ.

ක්‍රිස්තු පූර්ව 356 ජූලි 21 දින රාත්‍රියේ හෙරොස්ට්‍රාටස් නමැති එක්තරා පුද්ගලයෙක් මේ දේව මන්දිරය ගිනිබත් කළේය. ඔහු එසේ කළේ එම ක්‍රියාවෙන් තමාගේ නම අමරණීයත්වයට පත්කර ගැනීමේ අදහස ඇතිවය. එදා රෑම ලෝක ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ පුරුෂයකු වන මහා ඇලෙක්සැන්ඩර්ගේ උපතද සිදුවිය.

මේ උපත සම්බන්ධ කටයුතුවල නියැළී කාර්යබහුලව සිටි ආටේම්ස් ඩයනා දෙවඟනට ස්වකීය දෙවොලට සිදුවූ විනාශය වළක්වා ගැනීමට තරම් විවේකයක් නොතිබු බව “ප්ලූටාක්”නමැති රෝම ඉතිහාසඥයා ලියා ඇත.

පසුකාලීනව තුර්කිය ආක්‍රමණය කළ මහා ඇලෙක්සැන්ඩර් රජු මේ ආටේම්ස් දෙවොල දැකීමෙන් සතුටට පත්ව එය නැවත ගොඩනැඟීමට ඉදිරිපත් විය. එහෙත් ඒ කාර්ය නිමවූයේ ඔහුගේ මරණයෙන් පසු ක්‍රිස්තු පූර්ව 323 දීය.

ශත වර්ෂ හයකට පසු මෙම ආටේම්ස් දෙවොල තවත් විපතකට මුහුණපාන ලදී. සාන්ත පාවුළුතුමා ක්‍රිස්තියානි ධර්මය දේශනා කිරීමට ක්‍රි.ව. පළමුවැනි සියවසේදී එෆිසස් නුවරට පැමිණියේය. සාන්ත ජෝන් මුනිවරයාද එනුවර විසූ බව කියවේ. ආටේම්ස් භක්තිකයෝ ඔවුන්ගේ ඇදහිලි අත්හැර ක්‍රිස්තියානිය වැලඳ ගැනීමට නොකැමති වූහ. මේ අතර ක්‍රි.ව. 362දී “ගොන්” නම් ආක්‍රමණකාරි මනුෂ්‍ය වර්ගයක් පැමිණ දෙව්මැඳුර විනාශ කර දැමීය. නමුත් එෆීසස් වැසියෝ එය නැවත ගොඩනැඟීමට ඉටාගෙන සිටියහ. එහෙත් ක්‍රිස්තු වර්ෂයෙන් හතරවැනි ශත වර්ෂය වන විට එෆීසස් වැසියන්ගෙන් වැඩි දෙනා ක්‍රිස්තියානි ආගම වැලඳගෙන සිටියෝය. එබැවින් ආටේම්ස් දෙව් මැඳුරේ ‘ආගමික ප්‍රභාශ්වරය’ කෙමෙන් අඳුරු වී ගියේය. ක්‍රි.ව. 402දී දෙවොලේ අවසානය සිදු විය. එනම්, සාන්ත ජෝන් ක්‍රිසන් තොම් විසින් මේ දෙව් මැඳුර කඩා දමන ලදි. ඒ සමඟම පුරාතන වාස්තු විද්‍යාත්මක ලක්ෂණ සහිත වටිනා ගොඩනැඟිල්ලක් ලෝකයට අහිමි විය.

එහෙත් පුරාවිද්‍යාත්මක සාක්ෂිවලින් හෙළිවන පරිදි මෙහි අත්තිවාරම ආයාත චතුරශ්‍රාකාරය. කිරිගරුඬ ගලින් නිමවන ලද මේ දෙව් මැදුරු ගොඩනැඟිල්ලේ ඉදිරි පැත්ත විසිතුරු කැටයමින් අලංකාර කර තිබිණි. ගොඩනැඟිලි වේදිකාව වටේට කිරිගරුඬ පඩිපෙළකි. පඬි පෙළ ඉහළ මළුවට යොමු වෙයි. ඉහළ මළුව දිගින් මීටර් 130කි. (අඩි 430) පළල මීටර් 80කි (අඩි 260) මීටර් 20ක් (අඩි 60) උස කුලුනු රවුම්ය. එවැනි කුලුනු 127කින් සමන්විතව තිබුණි. ඒවා වේදිකාව වටේට පෙළ ගස්වා තිබුණේ එකක් ඍජුකෝණාස්‍රාකාරව සිටින සේය. දෙවොල තුළ කලා භාණ්ඩ රැසකි. එම කුලුනු රන්වන් පාටින් යුතු විය. ඒවා හැම එකක්ම රූපවලින් අලංකාර කර තිබීම විශේෂත්වයකි.

මේ දෙව් මැඳුරේ අපූරු සුන්දරත්වය නම් වාස්තු විද්‍යානුකූලව ගෘහ නිර්මාණ ශිල්පයේ අග්‍රගණ්‍ය සියුම් ලක්ෂණත්, එහි ඇති කලාත්මකභාවයත් ඉතා මනරම්ය. දේවස්ථානයට ඇතුළු වන බැතිමතාගේ මනස මේ මහා ප්‍රතාපවත් මන්දිරය දුටු පමණින් ක්‍රමානුකූලව තැන්පත් වන අතර මහා ගූඪ විස්මිත බවක් ඇති කරයි.

ලොව අතීතයේ පැවැති සුන්දරත්වය විදහාපාන අගනා පිළිරූ සිත්තම්, ගෘහ නිර්මාණ ශිල්පයේ අග්‍රගණ්‍ය මුදුන් මල්කඩ මේ යුගවල පැවැති බවට ඉතිහාසය සාක්ෂි දරයි. එහි වාස්තු විද්‍යානුකූල නිර්මාණයද අති ශ්‍රේෂ්ඨය.

 

ගී‍්‍රසියේ ඔලිම්පියා නගරයේ සූස් (ඛඡ්උඉ) මහදෙවි පිළිමය

 

ගී‍්‍රසියේ ඔලිම්පියා සිද්ධස්ථානයේ ගී‍්‍රක ප්‍රතිමා ශිල්පි ෆීඩියස් විසින් නිර්මාණය කරන ලද මීටර් 13ක් උසැති (අඩි 43) හිඳි ප්‍රතිමාව අතීත ලෝකයේ පුදුමයන් අතරට එක්විණි. මෙය එහි සීයුස් (ඛඡ්උඉ) දේවස්ථානයේ තැන්පත් කොට ඇත.

දැවමය රාමුවක් මත ඇත්දත් ඵලක සහ රන් පනේල ආධාරයෙන් නිම වූ මෙම ප්‍රතිමාව මඟින් කළුවර ඇත්දත්, රත්රන් සහ වටිනා පාෂාණ ( මැණික්) එබ්බවූ දේවදාර ආසනයක් මත හිඳගත් ජූස් (ඛඡ්උඉ) දෙවියන්ගේ රුව නිරූපණය වේ. ක්‍රි.ව. 5වන සියවසේදී අතුරුදන් වී සහ විනාශ වී ඇත. මෙහි කිසිදු අනුරුවක් මෙතෙක් කළ පුරාවිද්‍යාත්මක කැණීම්වලින් හමුවී නොමැත. එහි ස්වරූප විස්තර ලැබෙනුයේ පුරාතන ගී‍්‍රක තොරතුරු සහ කාසි තුළිනි.

 

මේ මහා දෙව් පිළිමය හිසෙහි ඔලිව් මල් කලඹකි. රනින් හා ඇත්දළින් නිර්මාණය කළ ජය සංකේතය දකුණතින් දරා සිටියි. වම් අතෙහි ලෝහයෙන් නිර්මිත රාජ්‍ය බලයේ ලාංඡනය ඇත. ඒ මත වසා සිටිනුයේ රාජාලියෙකි. රන්, මැණික් ඔබ්බවා කළුවර ලීයෙන් හා ඇත්දලින් නිර්මාණය කළ ප්‍රතිමාවේ හිස මත ඔටුන්නක් සකසා ඇත. දෙපයට රන් මිරිවැඬිසඟලක්ද, ඇඟ වසා සිටි සාටකට ද රනින්ම නිර්මාණය කරන ලද්දේ විය. ඇඳ සිටි ඇඳුමෙහි සත්ත්ව රූප, සහ ලිලීමල් නෙළා ඇති බව පෙනෙයි.

 

පිහිටීම

 

ගී‍්‍රසියේ අගනුවර වන අතෑන්ස් නගරයේ සිට කිලෝමීටර් 150ක් බටහිරින් ගී‍්‍රසියේ බටහිර වෙරළේ පැරුණි ඔල්ම්පියා නුවර පිහිටි දේව මන්දිරයක මෙම ප්‍රතිමාව තැන්පත්ව තිබුණි. මේ දෙව් පිළිරුවේ සිටිනුයේ දෙව්ලොව සියලු දෙවියන්ට අධිපති පරමෝත්කෘෂ්ට සීයුූස් නම් ගී‍්‍රක දෙවියන්ය. රෝමන්වරුන් ජුපිටර් දෙවියන් නමින්ද මෙම ප්‍රතිමාව හඳුන්වයි.

 

ඉතිහාසය හා නිර්මාණය

 

ගී‍්‍රක දේව කතාවලට අනුව “සීයුස්” දෙවියන්ගේත් රජුයි. මනුෂ්‍ය වර්ගයාගේ ආරක්ෂකයාත්, පාලකයාත් ඔහුය. ඔහු ලෝවැසියන්ගේ යහපත මෙන්ම අයහපතද ප්‍රදානය කරයි. වැස්ස, විදුලිය, අකුණු සැර ආදී කාලගුණයේ විවිධ ස්වභාවයන්ට අධිපතියාද ඔහුය.

ජූස් නමින් ද හඳුන්වන මේ දෙවියන්ගේ දෙව් මැඳුර සැලසුම් කරන ලද්දේ “ලසිබොන්” නමැති ගී‍්‍රක නිර්මාණ ශිල්පියා විසිනි. ක්‍රි.පූ. 450 පමණ වන විට මෙය ගොඩනඟා අවසන් කරන ලදි. ගී‍්‍රකයන්ගේ පැරණි ඩෝරික් ශෛලියට අනුව ඉදිකරන ලද දෙව්මැඳුර ඉතා සරලය. ගී‍්‍රක බල මහිමය වැඩෙත්ම මේ ශෛලිය නොගැළපෙන බව ඔවුහු සිතූහ.

පසුකාලීනව දෙවි මැදුරේ දිව්‍යමය ලක්ෂණය මතුකර දැක්වීම සඳහා උදාර ප්‍රතිමාවක් හෙළීමට අදහස් කරන ලදී. මේ කටයුත්ත ගී‍්‍රසියේ ඇතැන්ස් නුවර සුප්‍රසිද්ධ මූර්ති ශිල්පී පීඩියාස්ට පවරන ලදි.

පසුකාලීනව පිළිමය ඉදිකිරීමෙන් පසුව පිළිමය නැරඹීමටත් එය වන්දනාමාන කිරීමටත් ලෝකයේ දස දෙසින් දහස් සංඛ්‍යාත ජනතාවක් පැමිණ ඇත. ක්‍රි.පූ. දෙවෙනි සියවසේදී පිළිමය ප්‍රති

සංස්කරණය කරන ලදි. ක්‍රි.වර්ෂයෙන් දෙවෙනි ශත වර්ෂයේදී ‘කැලිග්‍යුලා’ නම් රෝම අධිරාජයා ප්‍රතිමාව රෝමයට ගෙනයාමට උත්සාහ දැරුවේය. එහෙත් කැලිගි්‍යුලාගේ ශිල්පීන් තැනූ පලංචිය කඩාවැටුණු නිසා මේ වෑයම නිෂ්ඵල විය. පළමුවැනි නියඩෝසියස් අධිරාජයා විසින් ක්‍රි.ව. 391දී ඔලිම්පික් ක්‍රීඩා නතර කිරීමෙන් පසු දේව මන්දිරයද වසා දමන ලදි.

ඔලිම්පික් ක්‍රීඩා ආරම්භ කරන ලද්දේ ජූස් දෙවියන්ට ගෞරව පිණිසය. ක්‍රීඩා පැවැත්වෙන කාලසීමාව තුළ යුද්ධ නතර කරන ලදි. ක්‍රීඩාවලට සහභාගි වීම සඳහාත් දෙවියන්ගේ නායකයා වැඳීම සඳහාත් සිරියාව, සුළු ආසියාව, මිසරය, සිසිලිය , යන රටවලින් ක්‍රීඩකයෝ පැමිණියහ.

භූමිකම්පා, ජල ගැලුම් හා නායයාම්වලින්ද, ඔලිම්පියාවට හානි සිදුවිය. පස්වැනි සියවසේදී දෙව් මැදුරට ගින්නෙන් හානි සිදු විය. ධනවත් ගී‍්‍රකයන් විසින් ප්‍රතිමාව කොන්ස්තන්තිනෝපල් නගරයට ගෙන යන ලදුව ප්‍රාසාදයක තැන්පත් කරන ලදි. ක්‍රි.ව. 462දී හටගත් මහා ගින්නකින් විනාශ වී යන තුරු දේව ප්‍රතිමාවට වෙනත් උවදුරක් නොවීය. අද පැරණි දෙවොල තිබූ බිමෙහි ඉතිරව ඇත්තේ ගල් කැබැලි, සුන්බුන්, ගොඩනැඟිලි අත්තිවාරම සහ ඇදවැටුණු කුලුනු සමූහයක් පමණි.

 

මූර්ති ශිල්පි පීඩියාස් ප්‍රතිමාවේ වැඩ ආරම්භ කළේ ක්‍රි.පූ. 440 දීය. දෙව් මැඳුරට ගෙන ගොස් සවිකිරීමට පළමු ප්‍රතිමාව් එක් එක් කොටසක් නෙළන ලද්දේ ඔහුගේම වැඩ පළේය. මේ වැඩපළ තවමත් ඔලිම්පියා නගරයේ නොනැසී පවතියි. ප්‍රතිමාව තැනීමේදි ලී රාමුවක් සාදා, ඒ මත ලෝහ සහ ඇත්දල තහඩු තැබීමෙන් පිළිමයේ බාහිර වැස්ම තනා ගැනීම ඔහු යොදා ගත් ක්‍රමවේදයයි.

ප්‍රතිමාව නිර්මාණයෙන් පසු එය ප්‍රමාණයෙන් දෙව් මැඳුරට නොගැළපුණේය. ප්‍රතිමාව ඉතා විශාලය. හිඳි පිළිමයේ හිස ඉහළ සීලිමේ ගෑවෙන තරම් විය. යම් හෙයකින් ජූස් දෙවියන් හිට ගැනීමට උත්සාහ කළහොත් දෙවොලේ වහල කඩාගෙන යන්නේය. ප්‍රතිමාවේ විශාලත්වය හේතුවන්ම එය පුදුම නිර්මාණයක් වී තිබේ. දෙවියන්ගේ රජු සිටගතහොත් දෙවොල් වහල ගලවා දැමීමට ඔහුට හැකි වන්නේය. යන අදහස කවීන්ගේත්, ඉතිහාසකරුවන්ගේත් සිත් ගත්තේය.

මේ ප්‍රතිමාවේ වාස්තු විද්‍යාත්මකව බලන කල ප්‍රතිමාවේ පාදම මීටර් 6.5 (අඩි 20) පළලය. මීටර් 1ක් (අඩි 3ක්) උසය. ප්‍රතිමාවේ උස මීටර් 13කි. (අඩි 40ක්) නරඹන්නත් වඩාත් වර්ණනා කළේ දෙවියන්ගේ දේහය හෝ ශරීර ලක්ෂණ හෝ නොව ඔහු වැඩ සිටි සිංහාසනයයි. සිංහානයේ කකුල් සිංහ හිසක් හා මිනිස් බඳක් ඇති රූපවලින් ජයග්‍රහණයේ සංකේතවලින්ද සරසා තිබිණි. ඇපලෝ, ආටේම්ස් ආදි ගී‍්‍රක දෙවිවරුන්ගේ රූපවලින්ද විසිතුරු කර තිබිණි. කලින් කලට පැමිණි රජවරුද, පාලකයෝද නොයෙක් අන්දමේ පූජා භාණ්ඩවලින් පිළිමය සැරසූහ. සිරියාවේ ඪම වැනි අන්තියෝකස් රජු ඇසිරියානු වියමන් මෝස්තරවලින් අනූන තිර පූජා කළේය.

තුර්කියේ ඩයනා දෙව්දුවගේ ආටේමිස් දේවස්ථානයද ගී‍්‍රසියේ ඔලිම්පියා නගරයේ සූස් (ඛඥභඵ) මහ දෙවිගේ හිඳි පිළිමයද නිර්මාණ කාර්යභාරය ගත් කල ගෘහනිර්මාණ ශිල්පයේ සහ ප්‍රතිමා කලාවේ ස්වර්ණමය යුගයන් අපට ස්මර්ණය කරවයි. ඒවායේ වාස්තු නිර්මාණයේ අපූර්වත්වය ගැන බලන කල ලොව විස්මිත “විශ්වකර්ම නිර්මාණ” බව සක්සුදක් සේ පැහැදිලි වේ. මිනිසාගේ කලා කුසලතා නිර්මාණශීලිත්වය ඔප්නැංවෙනුයේ මිනිසාගේ මනස සන්සුන්ව පැවති විටය. මනසේ ඒකාත්මිකභාවය ඇතිකර ගැනීම නිර්මාණ ශිල්පියාට බෙහෙවින් අගනේමය.

 

 

හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්)

ඡ්‍යොතිෂ /වාස්තු පර්යේෂක

ඡ්‍යොතිෂ ඩිප්ලෝමා /ඡ්‍යොතිෂ උසස් ඩිප්ලෝමාධාරි

ඉන්දීය චන්දිගාර් විශ්වවිද්‍යාලය

අනුබද්ධ ශිරෝමනී උපාධි විද්‍යාර්ථි

ආචාර්ය විජය සමරසිංහ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.