ඔක්තෝබර් හත්වනදාට 113 ජන්ම දිනය යෙදෙන ආයුර්වේද කීර්ති ශ්‍රී ප්‍රාණාචාර්ය පණ්ඩිත ආර්යදාස කුමාරසිංහ මැතිතුමා

ඔක්තෝබර් 2, 2020

ශ්‍රී සිද්ධාර්ථ වෛද්‍ය විද්‍යාලයේ උපාධි පරීක්ෂණයට ද ඉදිරිපත් වී එම පරීක්ෂණයෙන් ද විශිෂ්ට ලෙස සමත්ව ඩී.ඒ.එම්.එස්. ශ්‍රී සිද්ධභිෂශ්වර උපාධිය ලබාගනු ලැබුවේ ශ්‍රී සිද්ධාර්ථ වෛද්‍ය විද්‍යාලයේ  ආචාර්ය සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමාගේ ආශිර්වාදය මධ්‍යයේ ය. ඉන් අනතුරුව  පණ්ඩිත ආරියදාස කුමාරසිංහ මහතා ශ්‍රී රබින්ද්‍රනාත් චරිතය ලීවේ ය. ඒ සංස්කෘතික මහා පද්‍ය කාව්‍යයක් ලෙසිනි.

ආයුර්වේද කීර්ති ශ්‍රී ප්‍රාණාචාර්ය පණ්ඩිත ආර්යදාස කුමාරසිංහ මැතිතුමාගේ එකසිය දහතුන්වන ජන්ම දිනය ඔක්තෝබර් මස හත්වනදාට යෙදී ඇත. දකුණු පළාතේ දෙවිනුවර ගන්දරාවත්ත නම් ගමේ පදිංචිව සිටි අප්පුසිංඤ්ඤෝ කුමාරසිංහ මහතාගේ සහ විජය වික්‍රම කුමාරසිංහගේ පොඩිනෝනා මහත්මියගේ පුතණුවෙක් වූ ආර්යදාස කුමාරසිංහ කුමරුවා එකදාස් නමසිය දාහතේ ඔක්තෝම්බර් හත්වනදා මෙලොව එළිය දුටුවේ ය. 

කුමාර ගිරිනිවසේ හුරතලා ලෙස හැදුණු වැඩුණු එම දරුවාට පස් වසර සම්පූර්ණ වීමත් සමග එක්දාස් නමසිය විසිදෙකේදී මාතර තල්පාවිල පිහිටි පිරිමි පාසලට ඇතුළත් කළේ ය. එම විදුහලේ මූලික අධ්‍යාපනය ලැබූ කුමාරසිංහ දරුවා වසර හයක කාලයකට පසුව එකදාස් නමසිය විසි අටේදී එම විදුහලෙන් අස්කරගෙන ඉංගී‍්‍රසි අධ්‍යාපනය ලබා දීම සඳහා එවකට ප්‍රධාන පෙළේ පාසලක් වූ මාතර ශාන්ත තෝමස් විද්‍යාලයට ඇතුළත් කළේ ය. 

මේ අතර මාතර උණවටුනේ මහරඹේ සුප්‍රසිද්ධ වෙද පරපුරකින් පැවත ආ සිරිවෙද නිවසෙහි පදිංචිව සිටි දේශීය පාරම්පරික වෛද්‍ය ආර්.එච්.ජී. වෛද්‍යසේකර මහතාගෙන් දේශීය වෙදකම ඉගැන්වීමට කුමාරසිංහ දරුවා භාර දීමට අප්පුසිංඤ්ඤෝ කුමාරසිංහ මහතා පියවර ගත්තේ ය. ඒ දරුවාගේ දැනීම හා ක්‍රියාශීලීත්වය ගැන යම් අවබෝධයක් ඇති වූ බැවිනි. දරුවා වෛද්‍යසේකර මහතාට භාරදීමෙන් පසු ටික දිනකට පසුව වෙද නිවසට ගිය පියාට වෙදමහතාගෙන් දැන ගන්නට ලැබුණේ පුතාගේ දක්ෂතාවය ගැනය. වරක් යමක් කියාදුන් විගසින්ම එය ධාරණය කර ගැනීමේ ශක්තියක් ඇති කුමාරසිංහ දක්ෂ වෛද්‍යවරයකු වන බවයි. පියා සිතූ පරිදි ඉතා දක්ෂ ලෙස වෙදකම ඉගෙන ගන්නා බව වෛද්‍යසේකර මහතා ද සනාථ කළ බැවින් ඉන් සතුටට පත් අප්පුංසිඤ්ඤෝ කුමාරසිංහ මහතා දරුවාගේ හැකියාවට ඉඩදී බලා සිටියේ මතුවට දක්ෂ වෙද මහතකු වී රටට සේවය කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීමට ය. 

වසර පහක පමණ කාලයක්ම වෛද්‍යසේකර මහතා ළඟ  සර්වාංග වෙදකම ගැන ඉගෙන ගත් ආර්යදාස කුමාරසිංහයන් එකදාස් නමසිය තිස්තුනේදී පාලි, සංස්කෘත භාෂාවන් හැදෑරීමට මාතර මහා මන්තින්ද පිරිවෙනට ඇතුළත් විය. ඒ ආර්යදාස කුමාරසිංහයන්ගේ වෙද ගුරුතුමා වූ දේශීය වෛද්‍ය වෛද්‍යසේකකර මහතාගේ ඉල්ලීම අනුව ය. මහා මන්තින්ද පිරිවෙණේ දී කුමාරසිංහ පාලි සංස්කෘත ඇතුළු ප්‍රාචීන භාෂා ශාස්ත්‍ර ඉතා දක්ෂ ලෙස හැදෑරීම නිසා පිරිවෙනේ ගුරු මණ්ඩලයේ ප්‍රශංසාවට ද ලක් විය ඒ අතර අනෙකුත් ශිෂ්‍යයින්ටත් වඩා ග්‍රන්ථකරනයට ද මහත් උනන්දුවක් දැක් වූ ඔහු මහාමන්තින්ද පිරිවෙනේ ගිහි පැවිදි ගුරුවරුන් පවා මවිත කරලමින් ත්‍රිත්ව දෝෂ විවරණ ග්‍රන්ථය ලිවීම ආරම්භ කළේ ය. මේ අතරතුªර කාලයේදී ඉන්දියාවේ කුසිනාරා නුවර පිහිටි මහා බෝධි සමාගම මගින් එහි වැඩසිටි ධම්මරක්ෂිත ස්වාමීන් වහන්සේ විද්‍යාලංකාර පිරිවෙනට වැඩම කළහ. 

එහි සිට පිරිවෙන් අධ්‍යාපන කටයුතු සඳහා උන්වහන්සේ වැඩම කළේ මාතර මහා මන්තින්ද පිරිවෙනටයි. එහිදී පාලි, සංස්කෘත භාෂාවන් පිළිබඳ මනා දැනුමක් ලබා සිටි ආරියදාස කුමාරසිංහ උන්වහන්සේ සමඟ එම භාෂාවන්ගෙන් කතා කරමින් යම් යම් තොරතුරු හා විස්තර දැන ගත්තේ ය. දිනක් ධම්මරක්ෂිත හිමියන් විසින් වෛද්‍ය ශාස්ත්‍රය පිළිබඳ හින්දි පොතක් පාලි භාෂාවෙන් කියවද්දී කුමාරසිංහ මහතා එය සිංහල භාෂාවට පරිවර්තනය කරමින් අවශ්‍ය කොටස් ගෙන ආයුර්වේදය පිළිබඳ පොතක් ලීවේ ය. ඒ ගැන වඩාත් සතුටට පත් වූ ධම්මරක්ෂිත හිමියන් කුමාරසිංහ මහතාට අවශ්‍ය දැනුම ද ලබාදුන්හ. මේ අතර සෑම අංශයකින්ම දස්කම් දැක් වූ කුමාරසිංහ මහතා ලේඛන කලාවටත්, වෛද්‍ය ශාස්ත්‍රයටත්, පාලි සංස්කෘත භාෂාවන්ටත් දැක්වූයේ පුදුම හැකියාවකි. කුසිනාරා නුවර ධම්මරක්ෂිත හිමියන් හා කුමාරසිංහ මහතා අතර පැවැති සුහද මිත්‍රත්ත්වය නිසා උන්වහන්සේ ඉන්දියාවට වැඩම කරන විට කුමාරසිංහ මහතා ද එක්කරගෙන ගියහ. එහිදී වැඩිදුර අධ්‍යාපනය ලබා දීම සඳහා බරණැස රාම්පූර්හි අර්ජුන ආයුර්වේද විද්‍යාලයට ඇතුළත් කොට අවශ්‍ය පහසුකම් ද සලසා දුන්හ. එහි වසර හතරක පමණ කාලයක්ම අධ්‍යාපනය හැදෑරු කුමාරසිංහ මහතා ග්‍රන්ථ රැසක්ම පළ කළේ ය. 

එහිදී ඉන්දීය ආයුර්වේද වෛද්‍ය සම්මේලනයට සහභාගිවීමටත් ඔහුට අවස්ථාව ලැබිණ. වරක් නවදිල්ලියේ පැවැති ආයුර්වේද සම්මේලනය අමතා සංස්කෘත භාෂාවෙන් දේශනයක් කිරීම නිසා එය අගය කරමින් ආයුර්වේද සම්මේලනය මගින් ප්‍රාණාචාර්ය සම්මාන උපාධිය පිරිනමන ලදී. සංස්කෘත ගද්‍ය පද්‍ය රචනයටත් කථිකත්වයටත් එකසේ දස්කම් දැක් වූ ආර්යදාස කුමාරසිංහ මහතා ධන්වන්තරී ස්ත්‍රෝත්‍ර තරගයකදී ආයුර්වේද පණ්ඩිත යන ගෞරව නාමයෙන් ද පිදුම් ලැබීය. බරණැස රාම්පූර්හි ජගත් ගංජහි ශ්‍රී ආයුර්වේද විද්‍යාලයේ අවසාන ආයුර්වේද පරීක්ෂණය තෙක්ම අධ්‍යාපනය ලැබූ ආයුර්වේදාචාර්ය උපාධිය ඩී.එස්.සී.ඒ. ලබාගත්තේ ය. එය සිංහල ශිෂ්‍යයකු විසින් ලබාගත් ප්‍රමුඛ උපාධියක් ද වූහ. ඉන්දියාවේ දී ආයුර්වේදය පිළිබඳ පොත්පත් රාශියක්ම පළ කළ කුමාරසිංහ මහතා දක්ෂ පාලි හා ග්‍රන්ථ කර්තෘවරයකු වශයෙන් ද ප්‍රසිද්ධියට පත්ව සිටියේ ය. ඉන්දියාවේ සිටි කාලය තුළදී උපාධි රැසක්ම ලබාගත් ඔහු තම මවුරටට පැමිණීමෙන් පසු නැවතත් විද්‍යාලංකාර විද්‍යාලයට ඇතුළත්ව උපාධි පරීක්ෂණවලට පෙනී සිටිමින් තව තවත් ආයුර්වේද දැනුම වර්ධනය කර ගත්තේ ය. මෙහිදී අනෙකුත් සිසුන් අභිභවා යමින් හැම විෂයක් කෙරෙහිම දස්කම් දැක්වීම නිසා ඔහුට වෛද්‍ය ශිරෝමණී පණ්ඩිත උපාධිය ඉතා දස්කම් දැක් වූ සිසුවකු ලෙස ලබා ගැනීමට හැකි විය. 

ශ්‍රී සිද්ධාර්ථ වෛද්‍ය විද්‍යාලයේ උපාධි පරීක්ෂණයට ද ඉදිරිපත් වී එම පරීක්ෂණයෙන් ද විශිෂ්ට ලෙස සමත්ව ඩී.ඒ.එම්.එස්. ශ්‍රී සිද්ධභිෂශ්වර උපාධිය ලබාගනු ලැබුවේ ශ්‍රී සිද්ධාර්ථ වෛද්‍ය විද්‍යාලයේ  ආචාර්ය සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමාගේ ආශිර්වාදය මධ්‍යයේ ය. ඉන් අනතුරුව  පණ්ඩිත ආරියදාස කුමාරසිංහ මහතා ශ්‍රී රබින්ද්‍රනාත් චරිතය ලීවේ ය. ඒ සංස්කෘතික මහා පද්‍ය කාව්‍යයක් ලෙසිනි. එම අගනා නාට්‍ය කාව්‍ය ග්‍රන්ථය ප්‍රාචීන මහා සභාව වෙත පිළිගැන්වීය. එහි ප්‍රතිඵලයක් වශයෙන් එම මහා සභාවේදී එම ග්‍රන්ථය ඉතා උසස් සංස්කෘත ග්‍රන්ථයක් වශයෙන් පිළිගැනීම නිසා කුමාරසිංහ විද්වතාණන්ට සංස්කෘත මහා කවි ගරු නාමය සහිත ග්‍රන්ථ විශාරද උපාධිය පිරිනමන ලදී. සාහිත්‍ය විශාරදයකු වූ ආරියදාස කුමාරසිංහ පඬිවරයා භාෂා කීපයක් පිළිබඳව දැන සිටි විද්වතෙකි. 

යක්කල සිද්ධායුර්වේද විද්‍යාලය, බොරැල්ල ආයුර්වේද වෛද්‍ය විද්‍යාලය ආදී විදුහල්වල කථිකාචාර්යවරයකු වශයෙන් මෙතුමා කළ සේවය අපමණය. මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මාතරදී දින කීපයක් පැවැති වෛද්‍ය මහා සම්මේලනයේදී ත්‍රිදෝෂත්ව විවරණය නම් ග්‍රන්ථය ලියා රන් පදක්කමක් පවා ලබා ගැනීමට ඔහු මහා වාසනාවන්තයකු විය. 

ආයුර්වේද වෛද්‍ය සම්මේලනයේ ලේකම්වරයා ලෙස දීර්ඝ කාලයක් කටයුතු කළ ආයුර්වේද වෛද්‍ය පණ්ඩිත කුමාරසිංහ මහතා කව්සිළුමිණ, ගුත්තිලය, බුදුගුණාලංකාරය, ලෝවැඩ සඟරාව ආදී පොත් රැසක්ම සංස්කෘත භාෂාවෙන් ලීවේ ය.

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.