දෙවිපිහිට යැදි සන්දේශ කාව්‍ය කහ කුරුලු සන්දේශය

පෙබරවාරි 12, 2021

ක්‍රි.ව. 1471 - 1485 අටවැනි වීර පරාක්‍රමබාහු රජු කල දික්වැල්ලේ වාසය කළ කඳවුරුකුල සාමණේරයන් විසින් රචිත මෙම සන්දේශය කවි 224කින් යුක්තය. උන්වහන්සේගේ මුහුණේ තිබූ රෝගයක් සුවකරගැනීම සඳහා කහ කුරුල්ලකු අත ගලගමුව සිට කතරගම දෙවොල දක්වා යැවූ සන්දේශයකි.

නීලකොබෝ සන්දේශය

ක්‍රි.ව. 1780 - 98 මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජු කල විසූ සිටිනාමළුවේ භරණ ගණිතයා විසින් රචනා කර ඇත. සිටිනා මළුවේ සිට කතරගම දෙවොල දක්වා නීල කොබෙයියකු අත යවා ඇති මෙම සන්දේශයේ කවි 148 කි. තම රෝගය සුවකර දෙන ලෙස ඉල්ලා කතරගම සුරිඳුන් වෙත යැවූ හසුනකි.

දියසැවුල් සන්දේශය

කළු හංසයකු දූතයා වශයෙන් යොදාගන කඹුරුගමුවේ සිට කතරගම දෙවොල දක්වා යැවූ සන්දේශයකි. තමාගේ රෝගයක් සුවකර දෙන ලෙස ඉල්ලා ක්‍රි.ව. 1813 දී පූජ්‍ය තල්අරඹේ යථින්ද හිමියන් විසින් කතරගම දෙවියන් වෙත යවා ඇත.

කිරල සන්දේශය

ඇහැළේපොල අධිකාරමට ආශිර්වාද කරන ලෙස ඉල්ලා කතරගම දෙවියන් වෙත යැවූ හසුනකි. කිතලගම දේවමිත්ත හිමියන් විසින් මහනුවර සිට ඇම්බැක්කේ දෙවොලේ වැඩවසන කතරගම දෙවියන් වෙත කිරලකු අත මෙම සන්දේශය යවා ඇත.

වටු සන්දේශය

ක්‍රි.ව. 1894 දී දොන් ගබිරියෙල් අප්පුහාමි විසින් රචනා කර ඇත. බලංගොඩ සිට සබරගමුව බින්තැන්න හරහා වටුවකු අත යැවූ හසුනකි. මහවලතැන්නේ රටේ මහත්තයාගේ හා කුමාරිහාමිගේ අභිවෘද්ධිය සඳහා පුතකු ලබාදෙන ලෙස ඉල්ලා කතරගම දෙවිඳු වෙත යවා ඇත.

නව මයුර සන්දේශය

තම දායකයකු වූ බබුන් අප්පුට වැළඳුණු ඇස් රෝගයක් සුවකර දෙන ලෙස ඉල්ලා කතරගම දෙවිඳුන් වෙත මොනරකු අත යැවූ පද්‍ය 214කින් යුතු සන්දේශයකි. මාතර දික්වැල්ල සුදස්සනානන්ද වෙහෙර විසූ වැලිවිටියේ සුමන තෙරුන් විසින් ක්‍රි.ව. 1850 දී රචනා කර ඇත.

පොත පත ඇසුරිනි.

 

පී.ඒ. කපුරුබණ්ඩාර ආරච්චි

තලාතුඔය විශේෂ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.