නිරෝගිමත් දෙපා ඔබේ සෞඛ්‍ය ය රැකදෙයි

පෙබරවාරි 12, 2021

ඔබ ඔබේ රූ සපුව ගැන කෙතරම් සොයා බලනවාද? ඇත්තෙන්ම ඔබ ඔබගේ රූප සොබාව වැඩි කරගැනීමට කෙතරම් උත්සාහ ගන්නවාද? ඔබේ හැඩරුව කෙනකු වර්ණනා කරයි නම් එය ඔබට කෙතරම් සතුටක් ගෙන දෙනවාද?

 

රුව වැඩි කර ගැනීමට කෙතරම් මුදලක්, ශ්‍රමයක් ඔබ වැය කළාද? මොහතක් සිතා බලන්න. ඔබ වෙහෙසුණේ මුහුණේ ආලේප ගෑමට , නිය ආලේප ගෑමට, තොල් ආලේප ගෑමට පමණක් විය හැකියි නේද?

ඔබට ලස්සන නිරෝගිමත් දෙපා යුගලක හිමිකාරයකු වීමට හැකිනම් එයින් ඔබේ රූ සපුවෙහි අගය වැඩිවන්නේ නිරායාසයෙනි.

ජීවිත කාලය පුරාම කිලෝමීටර් දහස් ගණනක් ඔබේ සිරුර ගෙනයනු ලබන්නේ ඔබේ දෙපා විසින්මයි.

යන්ත්‍ර සූත්‍ර එක දිගට ක්‍රියා කරන විට ඒවා නිසි ලෙස නඩත්තු නොකළහොත් ගෙවී යාමට සිදු වේ. ඔබේ දෙපාද නිසි ලෙස නඩත්තු නොකළහොත් ගෙවී යාම්වලට භාජනය වනවා මෙන්ම නොයෙක් රෝගාබාධවලට ද ගොදුරු වේ.

පාදවල ආබාධ ඇතිවන්නේ කෙසේද?

පාදවල ආබාධ බොහෝමයක් තමා විසින්ම ඇති කර ගන්නා ඒවාය. මෙවැනි ආබාධ අද සමාජයේ බහුලය.

නොගැළපෙන පාවහන් පැලඳීම

තමාගේ දෙපයට නොගැළපෙන තද පාවහන් නවීන විලාසිතා අනුව තෝරා ගැනීමට වැඩිපුර යොවුන් කාන්තාවන් නැඹුරු වී ඇත. මේවා පැලඳීමෙන් කල්යත්ම පාදවල නොයෙකුත් ආබාධ ඇතිවේ.

අඩි උස පාවහන් පැලඳීම

අද සමාජයේ බහුලව පවතින විලාසිතාවකි. මේවා පැලඳීමෙන් තමාගේ සිරුරේ බර දෙපා හරහා ගමන් කරන සාමාන්‍ය ආකාරය වෙනස් වේ. මෙසේ වෙනස්වීමෙන් දණහිසෙන් පහළ නොයෙක් ආබාධයන් හටගනී.

එම ආබාධයන් නම්

දණිස් සන්ධි වේදනාව ,බත්කෙණ්ඩ වේදනාව, විළුඹ සන්ධි වේදනාව, පාදයේ ඇඟිලිවල වේදනාව,

මේවා බොහෝ කල් පවතින වේදනාවන් වේ. ඇතැමුන්ට මේ කැක්කුම දවස පුරා ඇතිවේ. මේ තත්වයෙන් මිදීමට නම් ඔබ අඩි උස පාවහන් පැලඳීමෙන් වළකින්න.

ඉරුණු මේස් පාවිච්චි කිරීම

සපත්තු දැමීමෙන් පසුව මේස් කුට්ටම බාහිරට නොපෙනෙන නිසා බොහෝ අය ඉරුණු මේස් ඉවත් නොකර දිගු කාලයක් පාවිච්චි කරයි. මෙසේ ඉරුණු මේස් පැලඳීමෙන් ඒවා සපත්තුව හා හම අතර ගැටීම නිසා

සමේ බිබිලි මතුවීම, රතු පැහැ වීම, තුවාල වීම, පාද කළු පැහැ වීම ඇතිවේ.

යම් යම් රෝග තත්ත්ව නිසාද පාදවල ආබාධ ඇතිවේ.

නිසි පෝෂණයක් නොලැබීම නිසා

සන්ධිවල ඇතිවන නොයෙක් රෝග නිසා

යම් රෝගවලට පසුව ඇතිවන උපද්‍රවයන් නිසා

උදා :– දියවැඩියාව

එබැවින් තමන්ට රෝගයක් වැලඳුන විට නිසි වෛද්‍ය උපදෙස් ලබා නිසි ප්‍රතිකාර ලබා ගත යුතුය.

දෙපා ආරක්ෂා කර ගන්නේ කෙසේද?

 

ඔබ හොඳින් අත් සෝදා පිසදා ගන්නවා නේද? නමුත් දෙපා සේදීමෙන් පසු පිසදමා ගන්නවාද? නැත. ඒ හේතුව නිසා ඇඟිලි කරු අතර වතුර රැඳී තිබී සම තැම්බීම සිදුවෙයි. ඔබත් දෙපා සේදූ පසු පිසදමා වියළා ගැනීමට පුරුදු වන්න.

සතියකට වරක්වත් පා නිය කැපීමට පුරුදු වන්න. නිය කැපීමේදී රවුමට කපන්නේ නැතිව කෙළින් කපන්න. නියපොතු දැඩි බැවින් යුතු නම් කැපීමේදී කැඩී යාමට පුළුවනි. ඒ නිසා නෑමෙන් පසු නිය කැපීමට පුරුදු වන්න.

සෞම්‍ය සබන් වර්ග පා සේදීම සඳහා භාවිත කරන්න.

නානවිට ඉවත දමන දත් බුරුසුවකින් නියපොතු මදින්න. දෙපා හොඳට ලස්සනට තබා ගැනීමට එයින් හැකිවේ. මෙයින් දෙපාවල සිටින ක්ෂුද්‍ර ජීවීන් ප්‍රමාණය අඩු කර ගැනීමටත් පුළුවන.

ඔබේ දෙපා පැළෙනවාද? සම ගොඩක් අව පැහැද? වියළිද?.එවිට දෙපා අවලස්සනයි නේද? ඔබ දිනපතා හැන්දෑවට උණුසුම් ජලය බේසමක් ගෙන එයට මේස ලුණු හැන්දක් දිය කර විනාඩි 20 ක් පමණ දෙපා එහි ඔබාගෙන සිටින්න.

ඉන්පසු දෙපා ඉතාම හොඳින් පිරිසුදු තුවායකින් පිසදමන්න. හොඳින වියළුණුූ පසු තෙල් වර්ගයක් හෝ වැස්ලින් ආලේප කර විනාඩි 15-20 ක් පිරිමදින්න. නිදා ගැනීමේදී ඒවා ඇදී ඇතිරිලවල තැවරේ නම් පිරිසුදු කපු මේස් දෙකක් දෙපාවලට දමාගන්න.

සපත්තු මිලදී ගැනීමේදී

සැලකිලිමත්ව සපත්තු තෝරාගන්න. මොළොක් සම් සහිත සෙරෙප්පු භාවිත කරන්න.

හම් වැඩිපුර තෙතමනය උරා ගනී. ඒවා මොළොක් නිසා පාදයේ හැඩයට හැඩ ගැහේ.

එය පාදයට පහසුවක්.

ඔබේ පා ඇඟිලිවලට ආරක්ෂාව ලැබීමට ඉදිරි කොටස පළලින් හා ගැඹුරින් යුක්ත විය යුතුයි.

දිනපතා පාවිච්චිය

සපත්තුවල වියළි භාවය රඳවා ගැනීමට දින දෙකෙන් මාරු කර පලඳින්න. ඒවා අව්වේ තබා වියළා ගන්න. දවස තුළ හැකි සෑම විටම සපත්තු ගලවා සිටින්න.

පරණ සපත්තු

ඉරි මතුවී ඇති සපත්තු ඉවත දමන්න. සපත්තුවල මූට්ටු තිබීම හොඳ නැත. මෙසේ වුවහොත් පාදවල බිබිලි හා රතු ලප මතුවීමට ඉඩ ඇත.

මේස් පැලඳීම

දිනපතා මේස් මාරු කර පලඳින්න. ලොම් සහිත කපු මේස් පාවිච්චි කරන්න. එයින් තෙතමනය උරාගනී.

එබැවින් ක්ෂුද්‍ර ජීවීන්ට පාද ආක්‍රමණය කිරීමට නොහැකිය.

එලලූ අණ්ඩ දැමූ ඉරුණු මේස් ඉවත් කරන්න. ඒවා පාවිච්චියෙන් පාදයේ හම රතුවීම, බිබිලි මතුවීම තුවාල වීම හා ඝන වීම සිදුවේ.

මෙම උපදෙස් අනුගමනය කිරීමෙන් ඔබේ දෙපා ඉතාමත් ලස්සන හා නිරෝගිමත් වේ.

එයින් ඔබේ දෙපා යුවළේ අලංකාරය තවත් වැඩිවනු ඇත.

 

උපදෙස්

වෛද්‍ය

දේවපි‍්‍රය අභයවර්ධන

වෛද්‍ය ක්‍රම පිළිබඳ

ජාතික ආයතනය,

 

සටහන

ජයන්ති කුරේ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.