135 වැනි ගුණ සමරුව යෙදුණු ලේක්හවුස් ආදි කර්තෘ ඩී.ආර්.විජයවර්ධන ශ්‍රීමතාණෝ

මාර්තු 5, 2021

ලක්දිව නිදහස් සමරුවත්, ලේක් හවුස් නිර්මාතෘ ඩී. ආර්.විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ උපන් දින සමරුවත් යෙදී තිබුණේ පෙබරවාරි මාසයටය. මෙරට නිදහස වෙනුවෙන් සටන් වැදුන නායකයන් අතර සුවිශේෂී ස්ථානයක් හිමිවන විජයවර්ධන ශ්‍රීමතුන් සමරන මෙම මාසය තුළ තවත් ජාතික වීරයන් කිහිප දෙනෙකුගේ සැමරුම් යෙදී තිබීම විශේෂත්වයකි.

ඔවුන් අතර වාදිභසිංහ, ශ්‍රී මිගෙට්ටුවත්තේ ගුණානන්ද මා හිමි, ශ්‍රීමත් හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා, මහකවි ආනන්ද රාජකරුණා, රාජනීතිඥ ප්‍රැන්සිස් ද සොයිසා , අධිනීතිඥ ඊ.ඩබ්ලිව්. පෙරේරා , රාජනීතිඥ එච් ,ශ්‍රී නිශ්ශංක, ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා වැනි ශ්‍රේෂ්ඨ පුද්ගලයන් රැසකි.

නවම් මහේ නැවුම් සුවඳ විහිදෙන විට රටටම පත්තර සුවඳ විහිදුවාලන ලේක් හවුස් ආයතනය බිහිකර හෙළ දිව පත්තර රජ්ජුරුවෝ වූ ඩී. ආර්.විජයවර්ධන ශ්‍රීමතාණන් දේශපාලනයත් නිදහස් සටනත්, පත්තර කලාවත් එකට එකතු කළ රන්හුය විය. ඔහු අප රටේ බිහි නොවුනානම් අප දේශයට මෙතරම් දියුණුූ පුවත්පත් කලාවක් බිහි වන්නට ඉඩ නොතිබුණි.

වර්ෂ 1886 පෙබරවාරි 23 වෙනි දින මෙලොව එළිය දුටු, දොන් රිචඩ් විජයවර්ධන ලොව ප්‍රචලිත වූයේ ඩී. ආර්. විජයවර්ධන නාමයෙනි. දොන් පිලිප් විජයවර්ධන මුදලි තුමාගේ සහ හෙලේනා ඩෙප් විජයවර්ධන ළමා තැනියගේ දූ පුතුන් සත් දෙනාගෙන් සිව්වෙනි දරුවා වූ දොන් රිචඩ් විජයවර්ධන මහතා. ළමා අවදියේ දී මූලික අධ්‍යාපනය ලද්දේ ශාන්ත තෝමස් විද්‍යාලයෙනි. පසුව සරසවි අධ්‍යාපනය ලැබීම සඳහා එංගලන්තයේ ක්‍රේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයට ඇතුළත් විය. එහිදී නීතිය හදාරා අධිනීතිඥයෙකු වශයෙන් දිව්රුම් දී 1912 වසරේ දී ලංකාවට පැමිණ නීතිඥයෙකු ලෙස වෘත්තීය ජීවිතය ආරම්භ කළේ හිරිමල් තරුණ වියේදීමය. නීති වෘත්තියේ යෙදී සිටිමින්ම පුවත්පත් කෙරෙහි අවධානය යොමු කළ මෙතුමා 1909 වසරේ දී ඇරඹුණු ‘දිනමිණ’ පුවත්පතේ අයිතිය මිලයට ගත්තේ නව ගමනක ආරම්භය සඳහාය. ඒ අනුව ‘ලේක් හවුස්’ ආයතනය නමැති පත්තර මහගෙදර ජාතියට දායාද විය.

1915 වසරේ ඇති වූ ජාතිවාදී අරගලය නිසා ඉංගී‍්‍රසි පාලකයන් ක්‍රියා කළේ සිත්පිත් නොමැති රුදුරු වග වලසුන් විලසය. මෙම අරගලයට කිසිසේත් සම්බන්ධ නොවු සිංහල නායකයන් මරා දමන්නටත් සිරගත කරන්නටත් ඔවුන් උත්සුක විය. මේ අනුව ඇෆ්.ආර්. සේනානායක , ඩී.ඇස්. සේනානායක, සර් ඩී.බී. ජයතිලක වැනි නායකයන් සිර භාරයට ගත් අතර, කොළඹ ආනන්ද මහ විදුහලේ කළමනාකාර පදවිය දැරූ ආර්.ඒ.මිරන්ද මහතා මහ මගදී නිකරුණේ වෙඩි තබා මරා දමන ලදී. එඩ්වඩ් හෙන්රි පේදිරිස් තරුණයා යුධ අධිකරණයක නඩු අසා දඬුවම ලෙස වෙඩි තබා මරා දැමුවේ සිත්පිත් නොමැතිවය. ප්‍රාදේශීය වශයෙන් සිංහල බෞද්ධ ව්‍යාපාරිකයන් සිර භාරයට ගෙන ඔවුන්ට වධ හිංසා පමුණුවා අඩම්තේට්ටම් කළහ. මේ යුගයේ සිංහලයන් වෙනුවෙන් පෙනී සිටි ප්‍රධාන පුද්ගලයන් අතර ඩී.ආර්. විජයවර්ධන මහතා ප්‍රමුඛ ස්ථානයක් ගත්තේය.

ලංකාවේ වෙසෙන ඉංගී‍්‍රසි පාලකයන්ගේ අගතිගාමී ක්‍රියාකලාපය එංගලන්ත රජයට පැවසීම සඳහා රැගෙන යන පෙත්සමක් සකස් කෙරිණි. මෙම පෙත්සම රැගෙන ගියේ “කෝට්ටේ සිංහයා”යැයි විරුදාවලිය ලත් අධිනීතිඥ ඊ.ඩබ්ලිව්. පෙරේරා මහතා විසිනි. මෙරට ඉංගී‍්‍රසි පාලකයන් හට හසු නොවන ලෙස විශේෂයෙන් තැනූ පාවහන් සඟලක පෙත්සම තැන්පත් කරගෙන ඊ.ඩබ්ලිව්. පෙරේරා මහතා විදේශගත විය. මෙම ගමනට අවශ්‍ය සියලු වියදම් දැරුවේ ඩී.ආර්.විජයවර්ධන මහතා විසිනි.

ලංකාව යටත් විජිතයක් බවට පත්වී වසර සියයක් සපිරෙන 1915 වසරේදී අප රටේ සිංහ ධජයත් රජුගේ ඔටුන්න සමඟ සිංහාසනයේ ඡායාරූපයක් ද දිනමිණ පුවත්පතේ පළ කරමින් විජයවර්ධන මහතා සිරිලක් වැසි ස්වදේශිකයන්ගේ සිතේ යළි දේශවාත්සල්‍ය ඇතිකිරීමට ගත් වෙහෙස ඉතා ප්‍රබල එකක් විය. 1915 දී ඉංගී‍්‍රසින්ගේ අමානුෂික පීඩනය නිසා මෙරට ජනනායකයන් එක්වී බිහිකළ ජාතික දේශපාලන සංවිධානය වූයේ ලංකා ජාතික සංගමය යි. 1919 වසරේදී ඇරඹුණු මෙම සංවිධානයට මෙරට සිංහල දෙමළ,මුස්ලිම් ජනනායකයන් රාශියක් එකතු වූහ. මෙහි ප්‍රථම සභාපතිවරයා වූයේ ශ්‍රීමත් ජේමිස් පීරිස් මහතාය. ලංකා ජාතික සංගමයේ බොහෝ ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය ධනය පරිත්‍යාග කළ අය අතර විජයවර්ධන මහතා ප්‍රමුඛයෙක් විය. ඉංගී‍්‍රසි ආණ්ඩුවේ විරෝධතා නොසලකා සිය පුවත්පත් ආයතනයෙන් නිකුත් කළ ‘දිනමිණ’ පුවත්පත නිදහස දිනා ගැනීමට සටන් වදින සෙබළෙකු මෙන් මුවහත් කළේ එතුමාගේ නොමද ආශීර්වාදය තුළිනි.

ඩී.ආර්.විජයවර්ධන මහතා නිසි වයස පැමිණි කල්හි විවාහ ජීවිතයට පත්විය. පි‍්‍රය මනාලිය වූයේ ඇලිස් ගර්ටි රූපි මීදෙණිය මෙනෙවියයි. ඇය ව්‍යවස්ථා දායක සභාවේ මන්ත්‍රිවරයෙකුව කෑගල්ල දිසාව නියෝජනය කළ හෙන්රි මීදෙණිය අදිකාරම් තුමාගේ දෙවෙනි දියණිය වූවාය. ඇයගේ වැඩිමහල් සහෝදරිය වූ ඇඩ්ලින් මීදෙණිය කුමාරිහාමි මෙරට මැති සබය නියෝජනය කළ ප්‍රථම මන්ත්‍රීවරිය වූවාය. ඇය විවාහ වූයේ පාර්ලිමේන්තුවේ ප්‍රථම කථානායක වූ ශ්‍රීමත් ප්‍රැන්සිස් මොලමුරේ මහතා සමඟය.

ඩී.ආර්.විජයවර්ධන මහතාගේ විවාහයෙන් මෙම දෙපළට දූ දරුවන් පස් දෙනෙකු ලැබිණි. සීවලී විජයවර්ධන, රංජිත් විජයවර්ධන යන පුතණුවන් දෙපළත් නාලිනී, කුසුමා හා රාණි යන දියණියන් තිදෙනාත් එම දරුවන් පස් දෙනා වූහ. හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නාලිනී විජයවර්ධන මහත්මියගේ පුතණුවෙකි.

ලේක් හවුස් ආයතනය මගින් 1923 දී ඔබ්සවර් ඉංගී‍්‍රසි පුවත්පත නිකුත් කරන්නට වූ අතර 1930 මාර්තු 30 වෙනිදා සිට පුවත්පත් ලොවේ මුදුන් මල්කඩ වූ “සිළුමිණ” නිකුත් කෙරිණි. මෙරටට මෙම පුවත්පත් නිසා සංඛ්‍යාවෙන් අති විශාල වූ කීර්තිමත් පුවත්පත් කලාවේදීන් රාශියක් බිහිවිය. ජාත්‍යන්තරය දිනූ එම මාධ්‍යවේදීන් සිය මහගෙදර ලෙස ලේක් හවුස් ආයතනයට ගරු කළහ.

ලංකාවේ ප්‍රථම ආණ්ඩුකාර සර් ඔලිවර් ගුණකිලක මහතා පවා ලේක් හවුස් ආයතනයේ සේවය කළ සේවක මහත්මයෙකි. පුවත්පත් කලාවෙන් දොරට වැඩි දේශපාලකයන් රාශියක් ලේක් හවුස් ආයතනයෙන් බිහිවී ඇත.

ලංකාආණ්ඩුව මෙරට අභිනව සරසවියක් බිහි කිරීමට සැලසුම් කිරීමේදී එය මහනුවර පිහිටුවීමට යෝජනා කළත් එය මහනුවර පේරාදෙණියේ ආරම්භ කිරීමට බොහෝ දෙනා අකමැති විය. මෙම සරසවිය පේරාදෙණියේම පිහිටුවිය යුතුයැයි හඬ නැගූ ප්‍රධානීන් දෙදෙනෙකි. ඒ දෙදෙනා නම් ඩී.ආර්.විජයවර්ධන මහතා සහ බළපිටිය රාජ්‍ය මන්ත්‍රිවරයාව සිටි රාජනීතිඥ ප්‍රැන්සිස් ද සොයිසා වේ. ඔවුන් දෙදෙනාගේ සටන ජයගෙන පේරාදෙණිය විශ්ව විද්‍යාලය ඇරඹිණි.

ඩී.ආර්.විජයවර්ධන මහතා නිදහස් සටනට උර දුන්න ද පුවත්පත් මහ ගෙදර ගොඩ නැගුව ද ජනතාව අතරට ගියේ මඳ වශයෙනි. ඔහු ලේක් හවුස් පුවත්පත් කර්තෘවරුන්ට පවසා තිබුණේ කිසිම විටෙක තමාගේවත් තම පවුලේ කිසිවෙකුගේවත් ඡායාරූප. තොරතුරු සිය පුවත්පත් වල පළ නොකරන ලෙසය. එය අකුරටම රැකුණි. ලේක් හවුස් පුවත්පත්වල විජයවර්ධන මහතා පිළිබඳව ලියැවුණේ එතුමාගේ අභාවයෙන් පසුවය. ඡායාරූප පළ වුයේ ද ඒ අයුරිනි. දිවිගමනේ හැට හතර වන වියේදී එතුමා ජාතියට සමුදුන්නේ ය. ඒ 1950 වසරේදීය. නිදහස් ලංකාවක් බිහිකිරීමට උරදී එය ඉටුවී වසර දෙකකට පසු ඩී.ආර්. විජයවර්ධන මැතිතුමන් දිවංගත විය. නමුත් ලේක් හවුස් ආයතනය නම් පත්තර මහගෙදර ජාතියටම මග පෙන්වමින් තවත් සියවස් කල් පවතිනු ඇත. විජයවර්ධන මහතාගේ අභාවය නිමිති කර එවකට ආණ්ඩුකාර සෝල්බරී සාමිවරයා එතුමාගේ මැතිණියට ලබා දුන් ශෝක ප්‍රකාශයේ මෙසේ සඳහන් විය.

“ඔබගේ ස්වාමිපුරුෂයාගේ අභාවය ගැන මා තුළ පහළ වූ දැඩි ශෝකය ප්‍රකාශ කර එවීමට මට සෑහෙන තරම් වචන සොයාගත නොහැක. ඔහුගේ එම අභාවය මුළු ලංකාවටත් මටත් එකසේ දැනී ගිය පාඩුවකි. සිය රටේ අනාගත අභිවෘද්ධිය ගැන මෙතරම් වැඩදායක වූත්, බොහෝ සේ බලයක් විදහා පා ක්‍රියාකළ අයෙකු කුමන රටක වුව ද අල්ප වෙති. ලංකාව ඔබේ ස්වාමිපුරුෂයාට කොතරම් ණය ගැතිද යන වග ලක්වැසියනට කිසිම දිනෙක අවබෝධකර ගත නොහැක”.

ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන් අප රටට උරුම කළ මාධ්‍ය කලාව එතුමාගේ පරපුරේ උපන් රංජිත් විජයවර්ධන, උපාලි විජයවර්ධන, ශාන් වික්‍රමසිංහ යන අය විසින් මෙම සියවසටත් උරුම කර දෙමින් ඉදිරියට ගෙන යන අයුරු ප්‍රශංසනීය වේ. ලේක් හවුස් ආයතනය අද රාජ්‍ය ආයතනයක් වුව ද ඩී.ආර්.විජයවර්ධන නාමය සුරකිමින් පවත්වාගෙන යාම පී‍්‍රතියට කරුණකි. නිදහස් රටක් දැයක් අප ජාතියට උරුම කිරීම සඳහා වෙහෙසුණු මෙම සුවිශේෂි ජාතික විරුවා වෙනුවෙන් කොළඹ නගරයේ ලේක් හවුස් වටරවුමේ එතුමාගේ ජීවමාන ප්‍රමාණයේ ප්‍රතිමාවක් පිහිටුවීම කාලෝචිත යැයි සිතමි.

එතුමන් ජන්මය ලබා වසර 135 ක් සපිරෙන මෙම අවස්ථාවේදී එතුමන් සිරිලක පත්තර රජ්ජුරුවෝ ලෙස විරුදාවලිය ලැබිය යුතුයැයි මා සිතමි.

 

 

අහුන්ගල්ලේ

දේ.සු.ද සොයිසා

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.