සසුන බැබළවූ සදා මතකයේ රැඳුණු බලංගොඩ ආනන්ද මෛත්‍රෙය නාහිමි

මාර්තු 12, 2021

අඟහරුගෙන් කතරගම දෙවියන් පිළිබඳවද කියවේ. දෙවියන් පිළිබඳව විශ්වාසයද උන්වහන්සේගේ ජීවිතයේ කැපී පෙනෙන ලක්ෂණයක් විය. කතරගම පුදබිමේ අලුයම ගිනි පෑගීම කරන අවස්ථාවක කතරගම දෙවියන් සියසින් දුටු බව බලංගොඩ ආනන්ද මෛත්‍රෙය හිමි නමින් රචිත කෘතියෙහිද දැක්වේ.

 

ඉපැරණි අතීතයේ පමණක් නොව මෑත ඉතිහාසයේ ලොව දස අතම වාගේ වටිනා චරිත බිහි වී ඇත.

 

ඒ අතර අප ශ්‍රී ලංකාවේ ගිහි පැවිදි සමාජයේ පහළ වුණු චරිත අතර පැවිදි සමාජයේ පහළ වුණු ශ්‍රේෂ්ඨ පඬිරුවනක් ලෙස මෑත යුගයේ සසුන් කෙත බැබළවූ ලෝක පූජිත බොදු ජනතාවගේ පිනට පහළ වූ සදානුස්මරණීය නාහිමිපාණන් වහන්සේ නමක් ලෙස බලංගොඩ ආනන්ද මෛත්‍රෙය හිමිපාණන් වහන්සේ හැඳින්විය හැකිය. ක්‍රි.ව.1896 අගෝස්තු 23 වන දින රාත්‍රී 12.05 ට අපූරු වෙලාවක ජන්මලාභිය ලද උන්වහනසේගේ චරිතය දෙස ඡ්‍යොතිෂ ඇසින් විග්‍රහයක යෙදී බලමු.

ලග්නාධිපති සිකුරු දික් බලවින් යුතුව චතුර්ග්‍රහ යෝග බලයෙන් සතර වැන්නේ සිටී. මෙහිදී හතරවැන්න වූ කේන්ද්‍රස්ථානය හිමි රවි බලවත්ව පස්වැනි ත්‍රිකෝණස්ථානාධිපති බුධ සමඟ සංයෝගව බලගතු කේන්ද්‍රාධි යෝගයක් නිර්මාණය කර ඇත.

වෘෂභ ලග්නයට ධර්ම කර්මාධිපති යෝග බලය ලබා දෙන එකම ග්‍රහයා වූ සෙනසුරු උපචය ස්ථානයක් වූ 06 වැනි තුලා රාශියේ සේනක යෝගයද මතු කරමින් උන්වහන්සේගේ ජීවිතයේ දැඩි ආත්ම ශක්තියක් හා ප්‍රබල පෞරුෂයකින් යුත් නොසැලෙන ගති පැවතුම්වලින් ශෝභමාන වූහ. ලග්නයේ සිටි කුජගෙන් මෙම ලක්ෂණ ඉස්මතු වූ දැයි කෙනෙකුට සිතිය හැකිය. එය එසේ නොවේ. මෙම මහඟු සේනක යෝග බලයම මෙම මාහිමිපාණන් වහන්සේගේ ඉහත කී ලක්ෂණ විදහා පෑමට හේතු විය. බොහෝ දෙනෙකු සෙනසුරු ග්‍රහයා පාප ග්‍රහයෙකු ලෙස සලකා බියක් තැති ගැන්මක් ඇති කළ ද මෙම මාහිමිපාණන් වහන්සේගේ පැවිදි දිවිය ඔපවත් කිරීමට මෙම සෙනසුරු ග්‍රහයා මහෝපකාරී වූ බව මෙම ජන්ම පත්‍රය පරීක්ෂා කර බැලීමේදී පෙනී යයි. මෙම ධර්ම කර්මාධිපති සෙනසුරු යෝග බලයකින් ලග්නයේ උච්චව සිටින අතර නවාංශකයේදී නීච වීමෙන් නීච භංග රාජ යෝග බලයකටද පත්ව ඇත.

තවද මෙම යෝග බලය උදා කළ සෙනසුරු සිටියේ විසා නැකතේ පළමු පාදයේය. විසා නැකත හිමි වන්නේ ගුරුටයි. ගුරු ග්‍රහයා උව්චව ජයසිඳු යෝග බලයෙන් තුන් වැන්නේ සිටින්නේ ධර්මස්ථානය දෙස බලාගෙනය. එසේ බලගතු යෝග බලයකින් සිටින මෙම බ්‍රහස්පති ග්‍රහයාද මෙම මාහිමිපාණන් වහන්සේගේ පැවිදි දිවිය බැබළවීමට පසුබිම සකස් කළේ ය. උතුම් ශීලාදි ගුණ ධර්මවලින් හෙබි සසුනඹරේ තාරකාවක් බඳු මෙම මාහිමිපාණන් වහන්සේ දෙස් විදෙස්හි සුපතළ වීමටද උසස් ප්‍රාර්ථනාවන් හද තුළ ජනිත වීමටද පුණ්‍යකාමි සිතුවිලි ඔස්සේම දීර්ඝ ආයුෂයක් විඳීමටද මෙම යෝග බලය ඉවහල් වූ බව පෙනේ. ජයසිඳු යෝගයෙන් බ්‍රහස්පති ධර්මස්ථානය දකින අතර නවාංශකයේද මෙම බ්‍රහස්පති විමල නමැති රාජ යෝගයකින්ද බලවත්ව මීන රාශියේ ස්වක්ෙ‍ෂ්ත්‍ර බලයෙන්ද සිටී.

මෙහිදී ඉතා බලවත් වූ බුධ ආධිත්‍ය යෝගය නොහොත් රවි බුධ යෝගය ද යෙදී ඇත. ජීවිතය හා ග්‍රහයෝ නමැති පොතේ 302 පිටුවේ සඳහන් කර ඇති ආකාරයට ත්‍රිග්‍රහ යෝග බලයක් වූ රවි බුධ සිකුරු යෝගය පිහිටීම නිසා මටසිලිටු ශරීරයක් හා පිරිපුන් දේහ ලක්ෂණයක් ඇති මෙම නාහිමිපාණන් වහන්සේ වටිනා සංඝ පීතෘවරයාණන් වහන්සේ කෙනෙකුට අවශ්‍ය රූප සම්පත්තියක් ද ලබා ඇත. එමෙන්ම එම කෘතියට අනුව කාව්‍ය ශාස්ත්‍රය ඇතුළුව සංස්කෘත, පාලි, ඉංග්‍රීසි හා හින්දි භාෂා දැනුම පිළිබඳව පැහැදිලි අවබෝධයක් තිබුණ බවද උන්වහන්සේ ලියන ලද පොත පත ද උන්වහන්සේගේ දේශණවලින්ද විද්‍යමාන වේ.

මෙම මාහිමිපාණන් වහන්සේගේ ජන්ම පත්‍රයේ ඉතා සුවිශේෂි සඳුගෙන් යෙදුණු අධියෝග බලයක්ද දක්නට ලැබේ. බැලූ බැල්මට රාහු හා සංයෝග වූ සඳු කර්මස්ථානගතව දක්නට ලැබෙතත් එම සඳුට දික්බල ස්ථානය වූ සතර වැන්නේ සප්තම දෘෂ්ටියට හසුවූ බුධ සිකුරුත් හයවැන්නේ ජයසිඳු යෝග බලයෙන් බ්‍රහස්පතිද සිටි නිසා මෙම වටිනා අධියෝග බලය තවත් විද්‍යමාන වේ. මෙම අධියෝග බලය කෙතෙක් බලවත්ව යත් පරසිත් දැනීමේ නුවණද උන්වහන්සේ තුළ විද්‍යමාන වේ.

හත්වැන්න සහ දොළොස්වැන්න අධිපති කුජ වර්ගෝත්තම බලයෙන් ලග්නගතව සිටි නිසා ඕනෑම ගැටලුවකට නිර්භීතව අභියෝගාත්මකව මුහුණ දීමට අඟහරු වර්ගෝත්තම භාව බලයෙන් ලග්නයේ හා නවාංශකයේ පළමුවැන්නේ සිටීමද වැදගත් වේ. මෙම අඟහරු නවාංශකයේද නීච භංග රාජ යෝගයක් උදාකර ඇත.

අඟහරුගෙන් කතරගම දෙවියන් පිළිබඳවද කියවේ. දෙවියන් පිළිබඳව විශ්වාසයද උන්වහන්සේගේ ජීවිතයේ කැපී පෙනෙන ලක්ෂණයක් විය. කතරගම පුදබිමේ අලුයම ගිනි පෑගීම කරන අවස්ථාවක කතරගම දෙවියන් සියසින් දුටු බව බලංගොඩ ආනන්ද මෛත්‍රෙය හිමි නමින් රචිත කෘතියෙහිද දැක්වේ.

චන්ද්‍රාදි යෝගයට සම්බන්ධ සඳු රාහුගෙන් පීඩා වී සිටි නිසාද කේතුගේ සප්තම දෘෂ්ටියට හසු වූ නිසාද නවාංශකයේද එම සඳු රාහුගෙන් පීඩා වී ශනි කේතු දෙදෙනාගෙන්ම සප්තම දෘෂ්ටියෙන් පීඩා වීම නිසාද එය ප්‍රබල පැවිදි යෝගයක් විය. පාරලෞකික දිවියට නැඹුරු වූ කුඩා කලම සසුන්ගත වූ විශාරද ඥානයෙන් යුත් මනා දේහ ලක්ෂණයකින් යුත් උන්වහන්සේ මුණ ගැසීමට විදෙස් ජාතිකයන් නිතර නිතර බලංගොඩට පැමිණීමට ප්‍රිය කළ අතර බලංගොඩ නමැති ග්‍රාමයද උන්වහන්සේ නිසා ඉතා ප්‍රසිද්ධ විය. දෙස් විදෙස් දෙකෙහිම සුපතළ චරිතයක් වූ බලංගොඩ ආනන්ද මෛත්‍රෙය නාහිමියන් සදා මතකයේ රැඳෙන පූජිත චරිතයකි.

 

සටහන

ශ්‍යාමලී විනෝද්‍යා

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.