නිර්මාංශ ගැබිනි මව්වරුන් විශේෂයෙන්ම දැනුම්වත් විය යුතු කරුණු

මාර්තු 19, 2021

සමබල ආහාර වේල් දෛනිකව නිසි ලෙස ගැනීම ගැබිනියකට අනිවාර්යයි. විශේෂයෙන් නිර්මාංශ ගැබිනිය සමබල ආහාර වේලකින් ලැබෙන පෝෂණය කෙරෙහි වඩාත් සැලකිලිමත් විය යුතුයි. ඒ ඈ මාංශජනක ධාතු අඩංගු ආහාර ආහාරයට නොගන්නා බැවිනි. නිර්මාංශභාවය ගැබිනියකට ඇති කරන බලපෑම් මොනවාද? මස් මාංශ ආහාර අනුභවයට නොගැනීම දරුවාට සහ මවට අයහපත් වෙනවාද? පිළිබඳව ඔබ නිසැක අවබෝධයක් ලබා සිටීම වැදගත් වෙයි. මස් මාංශ අනුභවයට නොගත්තාය කියා ගැබිනි මවටවත්, කුසෙහි වැඩෙන දරුවාටවත් එය අයහපතක් වන්නේ නෑ. එහෙත් ගැබිනි මවක් සමබල ආහාර වේලක් නිරතුරුවම ගත යුතුයි. එසේ නොවුණහොත් එය දරුවාගේ මෙන්ම මවගේ ද පෝෂණයට යම් යම් බලපෑම් එල්ල කරනවා. නමුත් මව නිර්මාංශ අයෙකු වූවා කියා එය සමබල ආහාර වේලකින් බැහැර වීමට බාධාවක් වන්නේ නැහැ.

නිර්මාංශ වීම නිසා ගැබිනියට අහිමිව යන යකඩ සහ ප්‍රෝටීන් ලබාගන්නේ කෙසේද?

ගැබිනියක විශේෂයෙන්ම තම ආහාර වේල සමබල කර ගැනීම අනිවාර්යයි. එලෙසම සමබල ආහාර වේලකට හුරුවීම තුළින් මවට මෙන්ම දරුවාට ද ලැබෙන පෝෂණය ඉතාම ඉහළයි. ඒ නිසා මව නිර්මාංශ වීම හේතුකොට ගෙන ඇයට නොලැබී යන යකඩ සහ ප්‍රෝටීන් කොටස් ලබා ගැනීමට ඇය සැලකිලිමත් විය යුතුයි. එය ඕනෑවට වඩා සිතට ගතයුතු බරපතළ කාරණයක් නොවේ. මස් මාංශ වල අඩංගු පෝෂණීය ශක්තිය ලබා ගැනීම සඳහා නිර්මාංශ ගැබිනියට තිබෙන සරලම මාර්ගය වන්නේ, සෝයා මිශ්‍රව ගත හැකි ආහාර කාණ්ඩයි. එම ආහාර කාණ්ඩ අතර සෝයා කිරි, සෝයා ඇට, වගේම සෝයා ‌බෝංචි ද ප්‍රධානයි. ධාන්‍ය සහ විවිධ වූ තවත් ඇටවර්ග වලින් ද මාංසජනක ධාතුවලින් නොලැබී යන පෝෂණය වඩාත් පරිපූර්ණව ලබා ගන්නට පුළුවනි. ඒ අතර ආමන්ඩ්, මුං, කඩල, කව්පි, තල, පීනට්, බටර් සහ වට්ටක්කා ඇට ද ප්‍රධාන වෙනවා. වට්ටක්කා කපන විට අප ඉවතට දමන ඇට ගෙන හොඳීන් සෝදා පොතු ඉවත්කර වියළා ආහාරයට ගැනීම ඉතාම පෝෂණීයයි. අවශ්‍ය නම් වට්ටක්කා ඇට යන්තමට බේක් කර ආහාරයට ගත හැකියි.

නිර්මාශ වීම නිසා අහිමිව යන යකඩ කොටස් සිරුරට ලබා ගැනීම සඳහා ප්‍රධානම වශයෙන් ලබගත හැකි හොඳම ආදේශක වන්නේ, කොළ පැහැති එළවළු වර්ග සහ පලා වර්ග ආහාරයට ගැනීමයි. ඒ සඳහා පලා වර්ගවලට අමතරව කොළ පැහැති බෝංචි ද ඉතාම සුදුසුයි. එයට අමතරව රට ඉඳී, ටොෆි, හබල පෙති, පොල් හකුරු, වියළි මිදි වුවද මස් මාංශ වලින් ලබා ගත හැකි පෝෂණය ගැබිනියට ලබා දීමට සහාය වෙනවා. කැල්සියම් පරිපූර්ණව ලබා ගැනීමේ දී සෝයා, ආමන්ඩ්, මුංපැළ වෑංජන (පැළ වූ මුංඇට) සලාද ආකාරයට සකසා ගැබිනියගේ ආහාර වේල් සඳහා එක්කර ගැනීම ඉතාම වැදගත්. චීස්, මීකිරි සහ සාමාන්‍ය නැවුම් කිරි සහ එළු කිරිද මෙහිදී සුවිශේෂී ආහාර බවට පත්වෙනවා.

අනිවාර්යයෙන්ම සැලකිලිමත් විය යුතුයි.

ගැබිනි මවක් මස් මාංශ ආහාරයට නොගන්නවා නම් ඒ පිළිබඳව අනිවාර්යයෙන්ම පවුල් සෞඛ්‍ය නිලධාරිනිය මෙන්ම අදාළ වෛද්‍යවරයා ද දැනුම්වත් කළ යුතුමයි. එමෙන්ම

පෝෂණවේදියෙක් හමුවී තමා ගතයුතු ආහාරපාන ගැන වගේම, එය අනුභව කළ යුතු නිවැරදි ආකාරය ගැන ද දැනුම්වත් විය යුතුයි. ඒ වගේම සායනයෙන් ලැබෙන යකඩ පෙති නොවරදවාම ලබාගත යුතුයි. ඊ 12 විටමිනය ද නිර්මාංශ ගැබිනියට ඉතාම අත්‍යවශ්‍යයි. නිර්මාංශව නොසිටි කාන්තාවක් ගැබිනියක වීමෙන් පසු නිර්මාංශ වීම අයහපත් බවට මතයක් තිබුණත් එම මතය සත්‍යයෙන් තොර බව කිව යුතුයි. නමුත් නිර්මාංශ වීම සැලකිල්ලට නොගැනීම සහ ආහාර වේල සමබල ලෙස නොගැනීමත්, වෛද්‍ය උපදෙස් අනුව කි‍්‍රයා නොකිරීමත් නිසා නිර්මාංශභාවය ගැබිනියට අයහපත් විය හැකි අවස්ථා ඕනෑ තරම් තිබෙනවා. ඉතාම සරල ආකාරයට නිර්මාංශ ගැබිනියක විසින් ගතයුතු නිවැරදි ආහාර රටාවන් මෙලෙස තවදුරටත් දැක්විය හැකියි. කැල්සියම් සපිරි ආහාර වශයෙන් තද කොළ පැහැති එළවළු, තල ඇට සහ තල මිශ්‍ර ආහාර, සෝයා කිරි සහ දොඩම් යුෂ, බත් සහ ඕට්ස් පානය (හාල් නැත්නම්) , යකඩ සපිරි ආහාර වශයෙන්, පරළු පාන්, මාමයිට් මිශ්‍ර ආහාර, කිරි මිශ්‍ර ආහාර, ධාන්‍ය මිශ්‍ර ආහාර, වියළි පලතුරු ආදිය වගේම උදෑසන හිරු එළියට නිරාවරණය වීමෙන් ද විටමින් ඩී ලබාගත හැකියි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.