ගැබිනි සමයේ ව්‍යායාම නිරෝගී දරු උපතකට ගැබිනි සමයේ ව්‍යායාම නිරෝගී දරු උපතකට ඉතාම යහපත්

මාර්තු 26, 2021

අද බරපතල සමාජීය ව්‍යසනයක් බවට පත්ව තිබෙන අධිරුධිර පීඩනය, ස්ථූලතාවය, කොලෙස්ටරෝල්, දියවැඩියාව, ආතරයිටිස් වැනි බෝ නොවන රෝග වලින් පීඩා විඳීන පිරිස අතර, බහුලවම සිටින්නේ කාන්තා පක්ෂයයි.

වර්තමානයේ බො‌හෝ කාන්තාවන් දවසේ වැ‌ඩි කාලයක් එක තැන හිඳ කරන රැකියාවල නියුක්ත වූවන්ය. සතියේ දින පහක් හෝ හයක් දිනකට පැය හත අටක් එක තැන හිඳ රැකියා කරන කාන්තාවක් දිනපතා තවත් පැය තුන හතරක් රූපවාහිනිය ඉදිරියේ වාඩි වී හි¼දීමද නවීන සමාජයේ එතරම් අරුමයක් නොවේ.

සාම්ප්‍රදායික සමාජයේ කාන්තාවක් දවස ගෙවූ ආකාරය පිළිබඳව සිතා බලන විට ඇය‌ගේ දින චර්යාව ඉතා සංකීර්ණ වූවක් බව පැහැදිලිවම පෙනී යයි. කුඹුරු ගොවිතැන, හේන් වගාව, වී කෙටීම, මිරිස් කෙටීම, මිරිස් ගල භාවිත කර මිරිස් ඇඹරීම, ඇඹරුම් ගලක ආධාරයෙන් සිදුකළ කටයුතු, පොල් අතු විවීම, සත්ව පාලන කටයුතු, පයින් ගමන් කිරීම, සාම්ප්‍රදායිකව සිදුකළ රෙදි සේදීම, දර සෙවීම, දර ලිපෙන් කෑම පිසීම ආදී සෑම කටයුත්තකදීම සිරුර වෙහෙස වීම තුළින් මනා කායික හා මානසික නීරෝගීතාවක් ලබාගත් බව නොරහසකි. එහෙත් නවීන කාන්තාව සියලු කාර්යයන් හා බද්ධ වන්නේ වැඩ පහසු කරන නවීන මෙවලම් හා විවිධ උපක්‍රම සමඟිනි. මේ නිසාම අද බරපතල සමාජීය ව්‍යසනයක් බවට පත්ව තිබෙන අධිරුධිර පීඩනය, ස්ථූලතාවය, කොලෙස්ටරෝල්, දියවැඩියාව, ආතරයිටිස් වැනි බෝ නොවන රෝග වලින් පීඩා විඳීන පිරිස අතර, බහුලවම සිටින්නේ කාන්තා පක්ෂයයි. ලෝකය නවීන වීමත් සමඟම කාන්තාව අලස වීම නිසාම දෛනිකව ආහාර පිටතින් ගෙන ඒමද සුලබ වී ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස බිරිඳ පමණක් නොව සැමියාද, දරුවන්ද සුලභව රෝගී තත්ත්වයන්ට පත් වි තිබේ. මීට දශක හතරකට පහකට පෙර නොඇසූ තරම් විවිධ පිළිකා තත්ත්වයන්ගෙන් පෙළෙන පිළිකා රෝගීන් වර්තමානයේ බහුල වීමට සෘජුවම බලපාන්නේ මේ තත්ත්වයම බවට විවාදයක් නැත.

 

ගැබිනි සමයේ ව්‍යායාම කිරීමේ වාසි

මවක් වීමේ සිහිනය සැබෑ කර ගත්තද නිසි පිළිවෙත් අනුව ගැබිනි සමය ගත නොකිරීමෙන් මවටද, දරුවාටද ඇතිවිය හැකි අසාමාන්‍යතා හා සංකූලතා රැසකි. ගැබිනි සමයේ පසුවන කාන්තාවක් “සකී‍්‍රයව” දෛනික කටයුතු වල‌ යෙදීම ඉතාම ඵලදායකය. එහි වාසි මවට මෙන්ම දරුවාටද පොදුවේ ලැබෙනු ඇත. ඔබ දන්නවාද ගැබිනි සමයේ සුදුසු ව්‍යායාම වල නිරත වීමෙන් ලැබෙන යහපත මවගේත්, දරුවාගේත් සෞඛ්‍යයට සෘජුවම දායක වන බව, ශාරීරික මෙන්ම මානසිකව ද ගැබිනි සමයේ සිදු කරන නිසි ව්‍යායාම මඟින් බොහෝ වාසි අත්කරගත හැකිය. අලුත්ම සමීක්ෂණ වාර්තා වලට අනුව ව්‍යායාම නොකරන ගැබිනියන් සාමාන්‍ය දරු උපතකට වඩා සිසේරියන් සැත්කමට භාජනය කිරීමට සිදුවීමේ අවස්ථාවේ සාපේක්ෂ බව 30% කින් පමණ ඉහළය. සාමාන්‍ය දරු ප්‍රසූතියකදී තරම් වේදනාකාරී හෝ පීඩාකාරී නොවූවද සිසේරියන් සැත්කමකින් දරුවකු බිහි කිරීම මවට විවිධ සංකූලතා රැසක් ඇති කරවීමට ඇති ඉඩකඩ සුලභ කරවන බව සාමාන්‍ය පිළිගැනීමයි.

 

ගැබිනියකට ව්‍යායාම තුළින් ලැබෙන සහන

සිතේ පැන නඟින දුක්බර සිතුවිලි අවම කර ගැනීමට හැකි වීම.

මානසික ආතතියෙන් නිදහස් වීම.

හිසරදය තත්ත්වයෙන් මිදීම.

අසාමාන්‍ය ලෙස දැනෙන වෙහෙස හා විඩාව දුරුකර ගැනීම.

කොන්ද සහ ‍උකුලේ වේදනාවන් සමනය වීම.

කෙණ්ඩා පෙරළීම අවම වීම.

දෙපා සහ පිටිපතුල් ඉදිමීමෙන් නිදහස් වීම.

මළබද්ධය දුරු වීම.

ව්‍යායාම මඟින් වැදෑමහට ලැබෙන රුධිර ප්‍රමාණය වැඩිවීම මඟින් කුස තුළ සිටින දරුවාගේ වර්ධනයට එය ඉතා වැදගත් වීම.

 

ගැබිනි සමයේ ව්‍යායාම කිරීමට පෙර කළ යුතු දේ

‍ගැබිනි සමයේ ව්‍යායාම කිරීම කිසිසේත් අයහපත් නොවේ. එහෙත් ගැබිනියක් තමාට සුදුසු ව්‍යායාම කිරීමට පෙර සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු මෙන්ම සුදුසුකම් ලැබූ ව්‍යායාම උපදේශකවරයෙකුගෙන් උපදෙස් ලබා ගැනීම අත්‍යවශ්‍ය තත්ත්වයකි. අවම වශයෙන් දිනකට පැය භාගයක් බැගින් සතියකට දින හතරක්වත් සුදුසු ව්‍යායාම සිදු කිරීම ඉතාම යහපත්ය. මේ සඳහා සෑම සතියකම ව්‍යායාම ඉලක්කයක් පවත්වා ගැනීම ඉතාම යහපත්ය.

ව්‍යායාම කිරීමේ දී ගැබිනියක් සැළකිලිමත් වියයුතු මූලික කරුණු

ව්‍යායාම සිදු කරන්නේ කා සමඟද?

කුමන දවසේ ද? කුමන වෙලාවේද?‍

සිදු කරන්නේ කුමන ව්‍යායාමද?

ව්‍යායාම සිදු කරන කාලය?

සිදු කරන ව්‍යායාමයෙන් ලැබෙන යහපත පිළිබඳ ඔබ තුළ ඇති අවබෝධය නිවැරදිද?

 

ගැබිනි සමයේ ව්‍යායාම සිදු කිරීම අවදීන් තුනකට පැහැදිලිවම බෙදා දැක්විය හැකිය. ඒ පළමු මාස තුනක කාලය, මාස තුනේ සිට මාස හතක කාලය, මාස හතේ සිට දරු ප්‍රසූතියට ආසන්න වන කාලය දක්වා කාලය ලෙසයි. ගැබිනි සමයේ ව්‍යායාම සිදු කිරීමේ දී මෙම කාල වකවානු වලට ගැළපෙන ව්‍යායාම පිළිබඳව ඔබ ඉතාමත් සැළකිල්ලක් දැක්විය යුතුමයි. මේ ඒ සඳහා සුදුසු ව්‍යායාම පිළිබඳව සටහනකි.

 

සති 1 – 12 දක්වා කාලය

 

ඔබ දැනටමත් කිසියම් ව්‍යායාමයක නිරත වෙනවා නම් එය තව දුරටත් කරගෙන යන්න. මින් පෙර නොකළ ව්‍යායාමයක් අරඹනවා නම් නිසි වෛද්‍ය උපදෙස් මත සරල ව්‍යායාමයක් තෝරා ගන්න.

මෙම කාලය තුළ දිනපතා සැතපුම් භාගයක් හෝ සැතපුමක් පමණ ඇවිදීම හොඳ ව්‍යායාමයකි.

දැඩි උණුසුම සහිත අවස්ථාවල ව්‍යායාම සිදු කිරීමෙන් වළකින්න.

නුසුදුසු අනාරක්ෂිත ස්ථාන වල ව්‍යායාම සිදු කිරීමෙන් ද වළකින්න.

අවදානම් සහිත හා නියමිත උපදෙස් වලට පිටුපාමින් සිතුමතේ ව්‍යායාම නොකරන්න. ගැබිනි කාන්තාවන් සඳහා ඔබ ප්‍රදේශයේ රෝහල් වල සිදු කරන සායනයන්ට සහභාගී වෙමින් හා පවුල් සෞඛ්‍ය සේවිකාවගෙන් තවදුරටත් විමසා දැනුම්වත් වීම ඉතාම යහපත් බව සළකන්න.

 

සති 13 – 28 දක්වා කාලය

ශරීරය උණුසුම් කරන සරල ව්‍යායාම තවදුරටත් පවත්වාගෙන යන්න. මෙමඟින් මෙම කාලයේ ඔබට දැනෙන විඩාබර ගතිය සමනයවනු ඇත.

ඔබට අපහසුවක් දැනෙන ව්‍යායාම වල නිරත නොවීම අත්‍යවශ්‍යම තත්ත්වයකි.

ව්‍යායාම කරන අතරතුර කතාබහ කරන විට හුස්ම ගැනීම තරමක් හෝ අපහසු නම් නිසි උපදෙස් මත තවදුරටත් ව්‍යායාම සරල කරන්න.

මේ කාලය තුළ උදරය තෙරපීමකට ලක් කරන ව්‍යායාම සිදු කිරීම් සුදුසු නොවේ.

 

සති 29 – 40 දක්වා කාලය

මෙම කාලය තුළ ඇවිදීම, නර්තනය, පිහිනීම වැනි ව්‍යායාම වල නොයෙදෙන්න.

ගර්භනී කාන්තාවන් සඳහා රෝහල් වල හෝ මාතෘ සායන වල සිදු කෙරෙන සරල ව්‍යායාම වල නිරත වන්න.

ඔබේ ශරීරය තුළින් ඔබට දන්වන විශේෂ ඉඟි පිළිබඳව සැළකිලිමත් වන්න. මේ කාලය තුළ සුළු ව්‍යායාමයකින් පවා ඔබ අසාමාන්‍ය ලෙස වෙහෙසට පත්වේ නම් ව්‍යායාම නවත්වන්න. කෙටි කලක් හෝ භාවනාවක නිරත වන්න.

 

සුවිශේෂි අවධානයට ගන්න

පූර්ණ ගැබිනි සමය තුළම ප්‍රමාණවත් තරම් පිරිසිදු ජලය පානය කරන්න. සන්සුන් විවේකි මනසක් ඇතිකර ගන්න. අයහපත් සිතුවිලි හෝ භයානක රූපවාහිනි හෝ චිත්‍රපට දර්ශන වලින් ඈත්වන්න. හදිසි සංකූලතා වල දී නොපමාව ප්‍රතිකාර සඳහා රෝහල්ගත වන්න. පෝෂ්‍යදායී සමබල කුඩා ආහාර වේල් වලින් යැපෙන්න. අලුත් පලතුරු, අලුත් පළා හා අලුත් එළවළු කෑමට ගන්න. හදිසි රුධිර වහනයක් සිදු වී නම් නොපමාව රෝහල් ගත වන්න. තම රුචිය පරිදි හිතුමතේ හෝ වෙනත් අය නිර්දේශ කරන කිසිම අවිශ්වාස ව්‍යායාමයක නිරත නොවන්න.

 

වල්ගම රජයේ ආයුර්වේද රෝහලේ,

වෛද්‍යාචාරිනී,

ධම්මිකා අමරසේකර

 

 

සටහන

කීර්ති.එස්. කුමාර

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.