ඇයගේ හදවත දැකිය හැකි කැඩපත මුහුණයි

මාර්තු 26, 2021

කාන්තාවකගේ මුහුණේ අලංකාරය වැඩිවන්නේ ඇයගේ නළලේ පිහිටීම අනුවය. උස් වූ නළලක් කෙනෙකුට පිහිටියේ නම් ඇයට සියලු සැප සම්පත් ලැබීමේ වාසනාව ඇති බවද නළල මැද උස්ව ඉහළින් හා පළලින් මස් කඳු දෙකක් මෙන් පිහිටා මැද ගැඹුරු ලෙස පිහිටා ඇත්නම් නොයෙකුත් කර්මාන්තයන්හි දක්ෂ සැලකීමක් ඇතිව හැම කාර්යයක්ම කරන රළු වූ කතාවෙහි දක්ෂ තැනැත්තියකි.

දේහ ලක්ෂණ විද්‍යාව අනුව ඇයගේ මුහුණ ඇයගේ චරිතය පිළිබිඹු කරන කැඩපතක් බඳු වේ. මුහුණෙහි පවතින හැඩරුව හා යම් යම් ලක්ෂණ අනුව ඇගේ චරිතය මෙසේ යැයි දේහ ලක්ෂණ විද්‍යාවෙහි සඳහන් කර ඇත. මේ අයුරින් ස්ත්‍රියකගේ මුහුණෙහි පවත්නා විවිධ ලකුණු අනුව පැවසෙන පලාපල විවිධාකාර ලෙස දැක්විය හැකි ය.

පැරණි කවීන් සුන්දර වස්තුවක් ලෙස සලකා චන්ද්‍රයාට හෝ පිපුණු නෙළුම් මලකට උපමාකොට කවි සංකල්පනා මැව්වේ කාන්තාවගේ සුන්දර මුහුණ දෙස බලමිනි. රුවක් ඇති දුවක් වැදුවා යයි මවක් සැනසෙන්නේද සිය දියණියගේ පියකරු මුහුණ බලමිනි. කෙසේ වෙතත් පුරාණ ආචාර්යවරුන් ස්ත්‍රියකගේ මුහුණ බලමින් ඇය සතු ගති පැවතුම් හෙළිකර ඇත්තේ මේ අයුරිනි. යම් ස්ත්‍රියක් හට මදක් පිරුන වටවූ පියුමක් සේ පියකරු මුහුණක් පිහිටියේ නම් ඇය හැබෑම වාසනාවන්තියක් වන්නී ය. තම ස්වාමියාට සෙනෙහෙබර භාර්යාවක් වන ඇය ගෙදරදොර වැඩ කටයුතු නොපිරිහෙලා ඉටුකරන නිවසට සිරිකතක් වැනි ය. වාසනාවන්ත දූ පුතුන් ලැබ දිවි ඇතිතුරාම සතුටින් විවාහ ජීවිතයක් ගත කිරීමට ඇයට වාසනාව ඇත.

කර්මාන්තයෙහි දක්ෂ අනුන් කෙරෙහි සැක උපදවන, එසේම තම අදහස් පමණක් ඉටුකර ගැනීමට උත්සාහ දරන ස්ත්‍රියකගේ මුහුණ කඩවසම් ගතියෙන් යුක්තය. රළු ගති මුහුණද ස්ත්‍රීන්ට නැත්තේ නොවේ. එවැනි අය පුරුෂයින් මෙන් රළු ගති අය වේ. මුහුණේ දකුණු පැත්තේ රතු ඉන්නෙක් හෝ කැළලක් පිහිටියේ නම් එවැනි කාන්තාව හදිසියේම වාගේ ධනවත් වන කරුණාව හා මෛත්‍රියෙන් පිරුණ තැනැත්තියකි.

කාන්තාවකගේ මුහුණේ අලංකාරය වැඩිවන්නේ ඇයගේ නළලේ පිහිටීම අනුවය. උස් වූ නළලක් කෙනෙකුට පිහිටියේ නම් ඇයට සියලු සැප සම්පත් ලැබීමේ වාසනාව ඇති බවද නළල මැද උස්ව ඉහළින් හා පළලින් මස් කඳු දෙකක් මෙන් පිහිටා මැද ගැඹුරු ලෙස පිහිටා ඇත්නම් නොයෙකුත් කර්මාන්තයන්හි දක්ෂ සැලකීමක් ඇතිව හැම කාර්යයක්ම කරන රළු වූ කතාවෙහි දක්ෂ තැනැත්තියකි. දුන්නක් ආකාරයෙන් පිහිටි ඇහි බැමි මෘදු නීල වර්ණ රෝමවලින් පිහිටියා වූ ස්ත්‍රිය කාම සම්පත් හා වස්තු ලබන රාගාධික තැනැත්තියක් වේ. සිලිටු වූ හොඳ කඩවසම් මුහුණක් පිහිටියේ නම් කඩිසර බවද, තියුණු වූ හොඳ ඥානයක් ඇති බවද මිහිරි ලෙස කතා කරන බවද හා සියල්ලන්ට අවංකව ආදරයෙන් කටයුතු කරන්නියක් ද වේ.

සුදු මැලි මුහුණක් කාන්තාවකට පිහිටියේ නම් ඇය මාංශ භක්ෂණයෙහි ආසා ඇති බවද, බය සහිත බවද කියවේ. රක්ත වර්ණවූ මුහුණක් පිහිටියේ නම් ශාරීරික දුර්වලතා ද, සිහි නුවණ අඩු බවද ශරීර ශක්තිය හීන බවද, රෝග පීඩාවලින් නිතර පීඩා විඳින බවද කියැවේ.

මුහුණේ දිග පළල එක සමානව ඇති මසින් පිරීගිය මුහුණක් හිමි කාන්තාව වෙළඳ ව්‍යාපාරවලට දක්ෂකමක් දක්වයි. මුලින් සුළුවෙන් ආරම්භ කරන ව්‍යාපාර පසුව මහා පරිමාණ ව්‍යාපාර දක්වා දියුණු කිරීමේ ශක්තිය වාසනාව ඇයට හිමිය. සැපවත් නිවාස, දැසි දස්සන්, යාන වාහන පවා ලැබ සතුටින් ජීවිතය ගත කිරීමට ද මෙවැනි කාන්තාවන්ට වාසනාව ඇත. ඉතා කුඩා මුහුණක් හිමි කාන්තාවගේ ජීවිතය එතරම් සාර්ථක නොවේ. අධ්‍යාපන කටයුතු මෙන්ම පවුල් ජීවිතයද අසාර්ථකය.

හැම දෙයකටම බාධා එල්ලවෙයි. දිගටි මුහුණක් හිමි කාන්තාව ඉතා අහංකාරය. නිතර අන් අයගේ දෝෂ දර්ශනයට ලක්වෙයි. එහෙත් සමාජයේ ඉහළ තනතුරු ලැබීමට වාසනාව ඇත. විවාහ ජීවිතයේ දී ද සැමියාට වඩා ප්‍රබලව නැඟී සිටියි. දුෂ්චරිතයට බර වේ. සතරැස් මුහුණක් ඇති කාන්තාව දුරදිග බලා කටයුතු කරයි. ඉතිරි කිරීමට හා දියුණුවට සැමියාට අත්වැලක් සේ ක්‍රියා කරන්නීය. නළල දික්ව පිහිටි ස්ත්‍රියකගේ ස්වාමි පුරුෂයා අකාලයේ මිය යාම නැතහොත් වෙන්වීම බොහෝවිට සිදුවන්නේ ය. නළල කෙළවර ගැට සහිතව පිහිටියේ නම් ඇය සොර සිතක් ඇති සල්ලාල ගැහැනියක් හැටියට සැලකේ. අලංකාර ලෙස දික්ව කෙලින් පිහිටා ඇති නාසය ඇති කාන්තාවට නොයෙක් සුබ පලදෙයි. යන එන හැම තැනකදීම මුල් තැන හිමි වේ.

මෙබඳු කාන්තාවන් ඉතා වාසනාවන්ත ය. සැප සම්පත් හිමි යහපත් සැමියකු මෙවැනි කතුන්ට ලැබෙනු ඇත.

යම් ස්ත්‍රියකගේ දෙකන් එල්ලෙන ස්වභාවයෙන් හා වටවූ ආකාරයෙන් පිහිටියේ නම් ශුභපල අධික වන්නේ ය. වැහැරුණ කන් පිහිටියේ නම් අශුභ බව පෙන්නුම් කරයි. මධ්‍යම ප්‍රමාණයේ ඝනව, දිගටිව පිහිටා ඇති කොණ්ඩය ඇයට මහඟු ආභරණයකි. එවන් හිසකෙස් පිහිටි ස්ත්‍රිය බොහෝ සැප සම්පත් ලබන අතර තම උත්සාහය තුළින් ජීවිතය ජය ගැනීමට ඉමහත් වෙහෙසක් දරයි. ලේඛන කලාව හා මාධ්‍ය අංශවලට ද සම්බන්ධවන මොවුන් හොඳ සංකල්පනාවන් බිහි කිරීමට සමත් වන්නී ය.

 

හිඹුටානේ

පියතිලක ද අල්විස්

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.