මුතුන්මිත්තන්ගේ කාලයේ පැවැති සිංහල අවුරුදු සිරිත් විරිත්

අප්‍රේල් 9, 2021

ඡ්‍යොතිෂය ගැන මනා දැනුමක් ලබා සිටි ගුරුන්නාන්සේ කෙනෙකු විසින් අවුරුදු කුමාරයාගේ චිත්‍රයත් සමඟ සකස් කරනු ලද අවුරුදු සීට්ටුව නමින් ප්‍රකට සියලු නැකත් චාරිත්‍ර ඇතුළු පත්‍රිකාවක් ගමේ සෑම නිවසකටම යමින් බෙදා දෙනු ලැබීය. එය ගෙහිමියන්ට ලබාදුන්නේ මහත් ගෞරවාන්විතවය. එම අවුරුදු සීට්ටුවේ අවුරුද්දේ වත්පිළිවෙත්, සිරිත් විරිත්, සුබ නැකත්, ලග්න පලාපල, ඉදිරි කාලයේ ඇතිවිය හැකි අපල උපද්‍රව, කාලගුණ තත්ත්වය ද සඳහන්ව තිබුණි.

සිංහල හින්දු ජනතාව එදා අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර මහ ඉහළින් සැමරූහ. හිරු දෙවි වන්දනාව මුල්කරගෙන අවුරුද්ද සැමරීමට ගමේ ගොඩේ කොයි කවුරුත් එකා මෙන් ලක ලෑස්ති වූහ. සමහර චාරිත්‍ර ගමින් ගමට වෙනස් වූහ. අපේ‍්‍රල් පළවනදා සිටි ගෘහනියන්ට පැවරුණු වැඩ අධික විය. වතුපිටි සුද්ධ පවිත්‍ර කිරීම, නිවෙස් අලුත්වැඩියා කිරීම, ගොම මැටි ගා සකස් කිරීම, පරිසරය පිරිසුදු කිරීමත් ඒ අතර විය.

පෙර කළ බොහෝ උත්සව චන්ද්‍ර මාස ක්‍රමයට පැවැත්වීමට පුරුදුව සිටියත් වසන්ත සැණකෙළිය ලෙස ප්‍රකට වූ බක්මහ උලෙඝ සූර්ය මාස ක්‍රමයට අනුව පැවැත්විය .වසන්ත සැණකෙළිය නමින් පැවැත්වූ බක්මහ උලෙළ වඩාත්ම සකස්වූයේ නැකැත් කෙළියක් ලෙසිනි. අවුරුද්දේ ආරම්භයේ සිට අවසානය දක්වාම සැම කටයුත්තක්ම ඉටුකළේ නැකැත් කටයුතු වලට මුල් තැන දෙමිනි.

ඡ්‍යොතිෂය ගැන මනා දැනුමක් ලබා සිටි ගුරුන්නාන්සේ කෙනෙකු විසින් අවුරුදු කුමාරයාගේ චිත්‍රයත් සමඟ සකස් කරනු ලද අවුරුදු සීට්ටුව නමින් ප්‍රකට සියලු නැකත් චාරිත්‍ර ඇතුළු පත්‍රිකාවක් ගමේ සෑම නිවසකටම යමින් බෙදා දෙනු ලැබීය. එය ගෙහිමියන්ට ලබාදුන්නේ මහත් ගෞරවාන්විතවය. එම අවුරුදු සීට්ටුවේ අවුරුද්දේ වත්පිළිවෙත්, සිරිත් විරිත්, සුබ නැකැත්, ලග්න පලාපල, ඉදිරි කාලයේ ඇතිවිය හැකි අපල උපද්‍රව, කාලගුණ තත්ත්වය ද සඳහන්ව තිබුණි. ගුරුන්නාන්සේ විසින් එසේ බෙදා දුන් අවුරුදු සීට්ටුවට අනුව අවුරුදු චාරිත්‍ර ඉටු කිරීමට හැම කෙනෙක්ම වාගේ ක්‍රියා කළහ.

අවුරුදු සීට්ටුව ගෙවල්වලට බෙදාදීමෙන් පසු නැවත දින දෙක තුනකට පසුව ඒ ගුරුන්නාන්සේ එම ගෙවල්වලට යනු ලබන්නේ දෙනු ලබන තෑගි භෝග රැගෙන යාමටය. අප රටේ සූර්ය මංගල්‍ය සිංහල ,දෙමළ ජනතාවගේ අලුත් අවුරුද්ද ලෙස සලකමින් අපේ‍්‍රල් පළමුවනදා සිටම එය සැමරීමට ලක ලෑස්ති වේ. මාස් කන්නයේ ගොයම් කපා පාගා සුබ දවසක අස්වැන්න ගෙට ගැනීම ද මේ කාලයේ පවතින සුබ කටයුත්තකි. ඒ සඳහා අපේ‍්‍රල් මාසයේ පළමුවනදා සිට මෙයට සූදානම් වේ. අස්වැන්න ගෙට ගැනීම ද විශේෂ චාරිත්‍රයකි. එයින් පළමු කොටස අග්ගස්සදානය බුදුන් වහන්සේට පූජා කරති. එය අපේ‍්‍රල් මස පළමුවනදා සිට දහතුන් වනදා දක්වා දෙවියන්ට ද පුද පූජා තැබීමත් කිරි ඉතිරවීමත් කරති.

අවුරුද්ද මුළුල්ලේම හේන් කුඹුරුවල භවභෝග සශ්‍රීකත්වයට හා ආරක්ෂාවට දෙවියන්ට වූ බාරහාර ඔප්පු කිරීම අලුත් අවුරුද්දට පෙර සිදු කිරීමට ගැමි ජනතාව පියවර ගනී. ඒ සඳහා මුලින්ම සිදු කරන්නේ අගස්ති පූජාවයි. අවුරුදු නැකැත් එළඹෙන තාක් කුස්සියේ හෝ ගෙමැද සූදානම් කර ඇති ලිප දල්වන්නේ නැත. ලිපට සෝදා පිරිසුදු කළ ගුරුගඩොල් හෝ ගල්තුනක් ගෙන ලිප සාදාගනියි. එම ගිනි දල්වන කාලය එන තාක් ගෙමිදුලේ වෙනත් ලිපක් බැඳ වතුර උණු කිරීමට හා අනෙකුත් ආහාර සකස් කර ගැනීමට කටයුතු කරති. නැකැත් උදාවූ විට කිරි උතුරවන්නේ අලුත් ලිපේ තබාය. අවුරුද්දට උයන පිසින දේට අවශ්‍ය හට්ටි මුට්ටි සියල්ලම ගන්නේ අලුතිනි. කිරි ඉතිරවීමෙන් පසු කිරිබතට ද නැවුම් වලඳක් ගනියි. කිරිබත උයන මුට්ටියට හකුරු හා මුං ඇට ආදිය ද සහල් සමඟ එක් කරති.

අපේ‍්‍රල් මාසයේ දෙවන සතිය ලබත්ම ගෘහමූලිකයා තම බිරිඳ හා එක්ව කථා බස් කොට දූ දරුවන්ට මවුපියන්ට අලුත් ඇඳුම් සකස් කිරීම සඳහා අවශ්‍ය දේ වෙළෙඳ පොළට ගොස් රැගෙන එති. එමෙන්ම නිවෙස්වලින් බැහැරව පිට පළාත්වලට ගොස් සිටි අය නිවෙස්වලට පැමිණේ. එසේ පැමිණෙන ඇය දෙමාපියන්ට හා සහෝදර සහෝදරියන්ට ඇඳුම් පැලඳුම් ගෙන ඒමට ද අමතක නොකරති. ඔවුන් පැමිණි පසුව නිවසේ අවුරුද්දට සූදානම් කරති.

පරණ අවුරුද්දටත් අලුත් අවුරුද්දටත් දෙකටම නැති නොනගතය කිසිදු නැකතක් නැති කාලය පුණ්‍ය කාලයයි. එම කාලයේදී විහාරස්ථානවලට ගොස් පුද පූජා පැවැත්වීමට සෑම කෙනෙක්ම උනන්දුවක් දැක්වූහ. නොනගතයේදී ගෙන් ගෙට යෑමක් හෝ පිටතින් යමක් ගෙට ගැනීම හෝ සිදු නොකළහ. සමහර ගම්වල කැවුම් සෑදීමට පෙර පුලුටු ජාති සාදා තෙල් තාච්චිය ලිප තබති. ඒ වගේම දෙවියන්ට වූ සෑම භාරයක්ම ඔප්පු කිරීම ද සිරිතකි. එමෙන්ම අවුරුද්දේ ඉටුකරන කටයුතු වලදී වැඩිහිටියන්ගේ අවවාද අනුශාසනාවලට යටත්ව සෑම කටයුත්තක්ම කළහ. අවුරුදු උත්සවයට ඇත්තේ දීර්ඝ ඉතිහාසයකි. ක්‍රි.පූ. හාරසිය වන වකවානුවේදී පණ්ඩුකාභය රජු සූර්ය මංගල්‍යයක් පැවැත්වූ බවට ද ඉතිහාසය පෙන්වා දෙයි. එදා හිරුට මෙන්ම සඳට ලැබුණේද මහත් ගෞරව කිරීමකි. මේ නිසා හිරුට හා සඳට ද පූජා පැවැත්වූහ.

සඳ සැලකුවේ ස්වභාවධර්මයට අධිපතියකු ලෙසිනි. බොහෝවිට එදා සුබ දෙයක් කිරීමට පෙර සඳ බැලීමේ චාරිත්‍රයක් ද විය. එලෙසම වස් දොස් දුරුකරලීම සඳහා ද සඳ බැලීමේ සිරිතක් වූ බැවින් ගමේ යමෙකු පළමුව සඳ දුටුවේ නම් හූ හඬක් නඟති. එම හඬට පිබිදෙන අය හා පිබිදී සිටින සැම අහස දෙස බැලීම නව සඳ බැලීමේ චාරිත්‍රයට එක්ව තිබුණි. සඳ දුටු අය මහත් සතුටට පත්ව සඳ පිදීමත් ඒ සතුට වෙනුවෙන් හකුරු සමඟ පොල් කෑලි කෑමත් පැවති එක් චාරිත්‍රයක් විය.

පරණ අවුරුදු ස්නානය කිරීම සිංහල අවුරුද්ද සියල්ලම අලුත් වන විට තම තමන්ද අලුත් විය යුතු බවට වූ සිරිත අනුව ස්නානට කොට අවසානයේදී ඖෂධීය වතුරෙන් සේදීමට ද පියවර ගත්හ. සිංහල හින්දු අලුත් අවුරුදු උදාවේදී ප්‍රථම කොට සිදුකළේ සූර්ය නමස්කාරයයි. හිරු ස්වභාවධර්මයේ පියා ලෙස සැලකූ අතර, ලොව පැවැති දා සිටම ලොව හැම දෙයක්ම ආරක්ෂාකාරි බැවින් හිරු නැමැදීම බෙහෙවින්ම සිදු කළහ. පුන්‍යකාලය නොනගතය නොහොත් සංක්‍රාන්තිය නමින් වැඩි අවධානයක් යොමු කළ සංක්‍රාන්තියට පූජනීය ස්ථානවලට ගොස් පුද පූජා පැවැත්වීමට එදා පවුලේ සැම දෙනාම උනන්දුවක් දැක්වූහ.

මෙසේ පුණ්‍ය කාලය ලෙස හඳුන්වන්නේ සූර්යයා මේෂ රාශියට ළඟාවීම සඳහා ගමන් අරඹන මීන රාශියෙන් පිටත්වන වේලාවටය. ලිප ගිනි දැල්වීම අවුරුද්දේ ප්‍රධානතම කරුණුවලට මෙයත් අයත්ව කටයුතු කරති. එදා ලිපි ගිනි දැල්වීමට ප්‍රධාන තැනක් ලබාදුන්නේ සුබම සුබ කටයුත්තක් වන බැවිනි.

නියමිත වර්ණයෙන් යුක්තව වස්ත්‍රාභරණයෙන් සැරසී අලුතින් බැඳි ලිපට ගිනි මොලවා නියමිත නැකත් වේලාවේදී කිරිබතක් පිළියෙල කරති. එදා සිදු කළේ ගිනිදැල්වීම මවගේ අතින් සිදු කිරීමයි. වර්තමානයේ ඒ තත්වය ද වෙනස්වී ඇති බව පෙනේ. බොහෝවිට මව ඒ කටයුත්තෙන් ඉවත් වී දුවෙකුට ලේලියකට හෝ තමාගේ සහෝදරියකට පවරයි. පැරන්නන් අවුරුද්ද සැමරුවේ වර්තමානයේ මෙන් නැකැත් චාරිත්‍ර සුළුවට තකමින් නොව්. අද මෙන් නොනගත කාලයේදී කැවිලි පෙවිලි රස බලමින් මත්වතුර බීවේ නැත. සූදු ක්‍රීඩාවට ගෙන්ගෙට ගියේ නැත. දූ දරුවන් සමඟ විහාරස්ථානවලට යමින් දරු පවුල රැකදෙන නිරෝගීභාවය අත්කරදෙන ලෙස ඉල්ලා සිටියේය. උදාවූ නැකතට අනුව ආහාර අනුභව කළේ පළමුව බුදු පහන ආලෝක කරමිනි. බුද්ධ පූජාව තබා අලුත් අවුරුදු කුමාරයා හා මියගිය ඥාතීන් සිහිපත් කරමින් නව අවුරුදු කිරිබතෙන් පිඩක් වෙන්කර තබති. සතුන් වෙනුවෙන් ද වෙනම කොටසක් වෙනම ගොටුවකට වෙන්කර තබති. ගෙදර ගෘහමූලිකයා විසින් නැකත් අනුව ලබාදී ඇති දිසාව බලා පියා විසින් හෝ සිටින වැඩිහිටියකු විසින් අප හැමගේ ජීවිත සැපවත් වේවා. ‘නිරෝගි වේවා’, දීර්ඝායු වේවා පතමින් පහන දල්වා මේසයේ වඩා තිබෙන ප්‍රධාන කිරිබත් දීසියෙන් කිරිබත් ටිකක් ගෙන වැඩිහිටි නාමය අනුව එක් එක් කෙනාට කවනු ලැබේ. මෙහිදී පියාට බුලත් අතක්දී දරුවන් විසින් ද පියාට සුබ පතනතුරුම සැමදෙනා එක්ව කිරිබත් අනුභව කරති.

පසුව එම නැකත් වේලාවේදීම පියා විසින් මවට මෙන්ම දරුවන්ට ද තුටු පඬුරු දී ගනුදෙනු කරති. සමහර ප්‍රදේශවල ගනුදෙනු කිරීමට යමක් තියෙන ගමේ ප්‍රභූවරයෙකුට ගම්මුලාදෑනි තැනට හෝ කුඹුරේ හේනේ කාර්යෂම නීරෝගී අයෙකුට හෝ ආරාධනය කොට ඔහු සමඟ ගනුදෙනු කරති. අනතුරුව කිරිගහකට කෙටීම, පැළයක් සිටුවීම ද සිදු කරති. නැකැතට හිස තෙල් ගෑම එදා නැකතටම ගෙදර පියා හෝ වැඩිහිටියකු හෝ විහාරස්ථානයේ ස්වාමින් වහන්සේ නමක් හෝ ගමේ වෙදමහතා සිදු කළහ. ඒ නියමිත නැකැත් වේලාවේම සිදුකිරීමෙන් නිරෝගි සුවය හා දීර්ඝායුෂ ලැබ සුවසේ ජීවත් වීමට හැකියාව උදාවන බැවිනි. වර්තමානයේ හිසතෙල් ගෑම ද සංදර්ශනයක් බවට පත්ව ඇති බව පෙනේ. උත්සවාකාරයෙන් සිදු කරන හිසතෙල් ගෑමේදී වැඩි පිරිසකට හිසතෙල් ගෑමට සිදුවන්නේ නැකැත් වේලාව ගෙවී බොහෝ වේලාවකට පසුවය. එබැවින් සිංහල අවුරුද්දේදී නිවැරදි නැකැත් වේලාවට සියලු වත්පිළිවෙත් ඉටු කිරීමෙන් සතුට සම්පත් නිරෝගිභාවය අත්කර ගැනීමට කටයුතු කරන්න. සුබ සිංහල අලුත් අවුුරුද්දක් වේවා.

 

බත්තරමුල්ල පැළවත්ත

රාජපුර වෙද මැදුරේ, ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය

එම්.පී. සුමිත් රාජපුර

 

සටහන මාධ්‍යවේදී

බී.ඇල්. පේ‍්‍රමරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.