රටින් රට පෙදෙසින් පෙදෙසට වෙනස් වූ මල්වර චාරිත්‍ර

මැයි 7, 2021

ලොව වෙසෙන සෑම සියලු දෙනා අතරම ඔවු නොවුන්ගේ ආගම්, කුල, වර්ණ පැවතුම් චාරිත්‍ර විධි මෙන්ම භාෂා විලාසයන්ද මෙන්ම සිරිත් විරිත් ද විවිධාකාර ය. මේ නිසා උපතේ සිට අවසානය දක්වාම ඉටු කරනු ලබන සියලු චාරිත්‍ර එකිනෙකට වෙනස් ය. අප රටේ දියණියක් මල්වර වූ බව දැනගත් වහාම ඉටු කරනු ලබන්නේ එම දැරිය කාටත් නොපෙනෙන සේ (පිරිමින්ට) කාමරයකට යවා තනියට වැඩිහිටි කාන්තාවක් හෝ වෙනත් දැරියක නවතාලීමයි. පසුව සිය මවගේ වෙනත් වැඩිහිටි කාන්තාවක් සමඟ ඡ්‍යොතිෂ් ශාස්ත්‍රඥයකු වෙත ගොස් ඇගේ ජන්මපත බුලත් අතක් හා තුඩුපඬුරු සමඟ දී හොඳ නොහොද විමසා සරණයට (නෑවීමටත්) ගෙට ගැනීමටත් ගෙන් පිට යෑමටත් නැකැත් ඉල්ලා සිටීමයි.

 

දියණිය නාවා ගෙටගනු ලබන නැකැත් වේලාව හා දිනය එළඹෙන තෙක් ඇයට කිසිදු පුළුටු ජාතියක් නොදෙයි. එසේ තෙල් බැදුම්වලින් හා කිලිටි ජාති වලින් ආරක්ෂා කර ගනු ලබන්නේ මල්වර දැරියට ඇතිවිය හැකි තනිකම් දෝෂවලින් හා වෙනත් අපල උපද්‍රවලින් ආරක්ෂා කර ගැනීම උදෙසා ය. යම් අවස්ථාවකදී දැරිය ස්නානය කර ගෙට ඒමට පෙර භයවීමක් හෝ වෙනයම් දොසක් හෝ ඇති වුවහොත් එය ඉදිරි කාලයේ දී ශරීරයට බලවත් සේ බලපාන තත්ත්වයක් ඇති වේ. මේ නිසා මල්වර දැරිය ආරක්ෂිතව තබා ගැනීමට බෙහෙවින් උනන්දු වෙති. එමෙන්ම මල්වර දැරිය ඒ දිනවලදී හැසිරිය යුතු අන්දම ගැන ද උපදෙස් ලබා දෙයි. දහවල් නිදා ගැනීම නියපොතු කැපීම හා නිය පොතු විකීම අඳුන් ගැල්වීම හඬනඟා සිනාසීම, වේගයෙන් දුව යෑම, සිව්පා සතුන් ස්පර්ෂ කිරීම ග්‍රහ තාරකා දෙස බැලීම, නූල් බැඳීම යම් යම් ආභරණ පැළඳීම නැකතට පෙර ස්නානය කිරීම නොකළ යුතු කරුණු අතර වේ. බස්නාහිර පළාතේ පෙර පැවැති චාරිත්‍රය වූයේ මල්වර දැරිය නවතාලීම සඳහා කිළි පැළ තැනීමට හා ස්නානයට නැකත් ලබාදීමයි. එම කිළි පැළට ඇය යවා තනියට දැරියක් හෝ වෙනත් කාන්තාවක් නතර කරවයි. එහිදී ආහාරද සකස් කර ගත යුතු යි. ගමේ අය කිළි පැළ නිසා කීමට පුරුදුව සිටියේ කිළිවත්ත යනුවෙනි.

මල්වර කිල්ල තුන් මසක් පවතින බවට විශ්වාසය කරන නිසා මස්, මාළු, තෙල් බැදුම්, කැවුම්, අතිරස ආදී කෑම පවා සතියක් ඉක්මවනතෙක් නොදෙයි. තනි නොවීම සඳහා අතේ තබා ගැනීමට යකඩ කුමක් හෝ ආයුධයක් ද ලබා දෙයි. නැකැත් දිනයේ දී රෙදි නැන්දා ලවා නාවා පිළි අන්දවා මොට්ටක්කිළියක් පොරවා හිස මුහුණ වැසෙන සේ පොරවා ගෙයි මැදට කැන්දවා පහනක් දල්වයි. ගෙට එන මගුල ලෙස කියන එය නෑ හිතවතුන් සමඟ එක්ව විනෝද වෙති. මෙදින රෙදි නැන්දාට තෑගි බෝග, මිල මුදල්, ආහාර පාන මෙන්ම කරාබු දෙක ද ලබා දෙන්නේ දැරියගේ වස් දොස් ඉවත්වීමටයි. එමෙන්ම තවත් චාරිත්‍රයක් වන්නේ නාවා අවසන් වූ දැරිය අතට පොල්තෙල් පහනක් දී නිවසේ දොරකඩ අසළට කැන්දාගෙන යෑමයි. එහිදී ඇය දොරකඩ දෙපස තබා ඇති කළ දෙකට පයින් ගසා කුඩුකර ඇතුළු වී දොරකඩ මැද තබා ඇති පොල්ගෙඩිය බිඳීමයි. පොල්ගෙඩිය බිඳීමෙන් බලාපොරොත්තු වන්නේ දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගැනීමයි. ගෙයි මැද සාලයේ පැදුරක් එළා හාල් සේරු දෙකක් කැවුම්, කොකිස්, කිරිබත්, කෙසෙල් ගෙඩි, ඉදල් තබා ඇත්තේ රෙදි නැන්දාට රැගෙන යාමට ය.

රෙදි නැන්දා පොල්තෙල් පහනක් ද දල්වා පැදුර වටා යමින් මල්වර වූ දැරියට යස ඉසුරු පහළ වේවා, ලෙඩ දුක් දුරුවේවායි ප්‍රාර්ථනා කරමින් පහන් නිවා දමති. මේ කරුණුවලින් අනතුරුව කොටහලු මඟුල ආරම්භ වේ. සමහර ප්‍රදේශවල පැවැති සමහර ජන සමාජයේ දැරියක වැඩිවියට පැමිණෙන විට කඩවර දිෂ්ටියට අසුවන බවත් ඉන් බේරීමට නම් යක්ෂයාට භාර හාර වී පසුව ඔප්පු කළ යුතු බවත් ය. උඩරට සමහර ප්‍රදේශවල හා දඹානේ චාරිත්‍ර බෙහෙවින් වෙනස් ය. ඔවුන් අවුරුදු පහළොව වන විට සෑම තරුණයකුම හා තරුණියක විවාහ ජීවිතයට පත් කරති. විවාහවන මනාලිය මල්වරවීම හෝ නොවීම ගැන නොසළකති. විවාහයට සුදුසුකමක් වන්නේ ගස්වලින් ගත් ආවට්ටා පටියක් ඉනේ බැඳීමෙනි. අනුරාධපුර ප්‍රදේශවල කොටහලු මඟුල නම් කෙරුණේ කොළමඩු මංගල්‍ය ලෙසය. වැඩිවියට පත් දැරිය වෙන්කර තැබූ මඩුව කොළ මඬුව නම් විය. එය අලංකාර කර ඇත්තේ කොළ අතුවලින් හා කෙසෙල්කැන් එල්ලීමෙනි.

දකුණු අපි‍්‍රකාවේ සමහර කොටස්වල දැරියක ඇවිදින විටකදී හෝ දර පලන විටකදී හෝ ගොවි පලකදී හෝ වැඩි වියට පත් වුවහොත් ඇය වහාම ගඟට දුවයයි. එසේ ගොස් වැටකෙයි ගොල්ලක සැඟ වී මුළු දවසම එහි ගත කරයි. රෙදි ගෙන්වා හිසද වසාගනිති. ඒ කිසිදු පිරිමියකු නොදකින ලෙසටය. ටික වේලාවකට පසු වැටකෙයියා ගාලේ සිට ගෙදර ගෙන එයි. එවිට වෙනමම පැළක ඇය නතර කරයි. තවත් චාරිත්‍රයක් වනුයේ දැරියක් මල්වර වූ විට තවත් තරුණ කාන්තාවන් කීප දෙනෙකු සමඟ ඇය ඇදුරු ගෙයක තැබීමයි. ගෙයි පොළොවට කෙසෙල් කොළ අතුරා එහි සිටීමට සළස්වයි. මෙහි ගිනිදැල්වීමද තහනම් ය. මැබ්‍රග්යැක් දිවයිනේ මල්වර ලකුණු පහළ වූ විට ගෙයි මුල්ලක පැදුරුවලින් ආවරණයක් සාදා එහි යවා ඇය උරමාලා බාහුමාලා පාදමාලා ආදියෙන් සරසනු ලබති. හිසේ මල්කඩක් ඇති කරයි. සිප්පිකටු මල්මාලා වළලු පළඳවයි. පැදුරුවලින් එක පිට එක තබා වටයක් සාදා එහි තුන් මසක්ම ඇයට සිටීමට සළස්වයි.

මැනස් නැමැති මනුෂ්‍ය වර්ගයට අයත් දැරියන් බාලවයසේදීම විවාහයට පත් කරවයි. එහෙත් ඇය මල්වර වීමෙන් පසු තහන්චි පැනවේ. මොවුන් මල්වර උත්සව පවත්වනු ලබන්නේ අවට ජනයාට ද කියා මහ ඉහළිනි. ගැහැනු දරුවකු වැඩිවියට පත්වූවිට ඇගේ පියා හෝ වැඩහිටියකු විසින් පොල්ගෙඩි විශාල සංඛ්‍යාවක් මුහුදට විසී කරති. අවට ළමයි කෑකෝ ගසමින් පොල් එකතු කර ගනිති. ඉන් වැඩිවියට පත් දැරියක් සිටින බව ගම පුරා පැතිර වීමේ හේතුවකි. වැඩිවියට පත් දැරියගේ ගෙලෙහි බලු දත්වලින් සාදන ලද මාලයක් පළඳවති. ඇය දින හතක් නොසෙල් වී කාමරයේ සිටිය යුතු ය. තවත් චාරිත්‍රයක් වී ඇත්තේ වැඩිවියට පත් තරුණිය කුඩම්මාවරු දෙදෙනෙකු විසින් ආරක්ෂා කිරීමයි. ඇය අතින් අල්ලා කෑම ගැනීම හා කෑම කෑම නොකළයුතුය. මේ නිසා ඇයට කවනු ලබන්නේ කුඩම්මාවරුන් විසිනි. ඇයට අවශ්‍ය කෑම පිසනු ලබන්නේ වනතුළ සැකසූ මැළයක් තුළිනි. කෑමට මස් මාළු කිසිවක් නොදේ. ඇය රඳවා සිටින කුටියට පියාට හෝ ඇතුළුවීමට අවසරයක් නොමැත. ඒ ඇය දුටුවහොත් පියාට විපත් සිදුවන බැවිනි.

තුන් මාසයක්ම කුඩම්මලාගේ රැකවරණයේ සිටින ඇය ඇගේ පිරිවර ස්ත්‍රීන්ගේ කරේ උරහිසෙහි එල්ලී පය බිම නොගෑවෙන සේ ඔසවා ඔයකට ගෙනයයි. එහිදී වතුර ඉසිති. පසුව ගල්පරයකට දුවගොස් එක් ස්ත්‍රියක් කකුළුවකු අල්ලාගෙන විත් පුළුස්සා කකුළු අඬු කෑමට මල්වර දැරියට දෙති. පසුව ඇය ආභරණ වලින් සරසා, පේළියට ගමන් කරති. එහිදී එක් කුඩම්මා කෙනෙකුගේ පුරුෂයකු ඇය පිළිගෙන නිවසට කැඳවාගෙන යයි. එහිදී කා බී විනෝද වෙති.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.