නිවසේ දී ඔබේ දරුවාට නිසිආරක්ෂාවක් ලැබෙනවාද?

මැයි 14, 2021

අප ජීවත් වන නිවස හැකි තරම් උපරිම ලෙස පහසුකම් සහිත ස්ථානයක් කරන්නට අප සෑම දෙනාම තුළ ඇත්තේ විශාල වගකීමකි. ඉන් අදහස් කරන්නේ නිවස තනි මහලක් ද, දෙමහල් නිවසක් ද යන්න හෝ එය නවීන පන්නයේ අංග සම්පූර්ණ වූ නිවසක් ද යන්න ගැන නම් නොවේ. නැතිනම් එහි බිත්ති විවිධ ලෙස විචිත්‍රව වර්ණ ගන්වා තිබීම හෝ එහි නවීන පන්නයේ ගෘහභාණ්ඩ පිරී තිබීම හෝ නවීන තාක්ෂණික මෙවලම්වලින් පරිපූර්ණ වුවක්ද යන්න ද නොවේ.

 

නිවස වටා ඇති කුඩා ගෙවත්ත පිරිසිදුවීම, එය ක්‍රමානුකූල වීම දරුවන්ට අනතුරක් සිදුවිය හැකි අනවශ්‍ය වතුර වළවල් ගෙවත්තේ නොතිබීම අබලිද්‍රව්‍ය, මදුරුවන් බෝවිය හැකි හිස් බඳුන් හෝ මලකඩ කෑමට ලක්විය හැකි කිසිවකින් තොරවීම, විෂකුරු කෘමි සතුන්ට හෝ සර්පයන්ට ගැවසීමට හෝ සැඟවීමට හැකි අපිරිසිදු හා අඳුරු ස්ථාන නොමැතිවීම, කඩාවැටීමට ලක්විය හැකි ගස් හෝ සිමෙන්ති කුලුනු ආදිය ඔබේ නිවස අවට හෝ ගෙවත්තේ තිබේ නම් ඔබේ ඇසුරේ ජීවිතය යදින හය හතරක් නොදන්නා කුඩාම දරුවාගේ සිට අන් වයස්වල දරුවන්ටත්, ඔබටත් ඉතාම අයහපත් ප්‍රතිඵල ඇතිවීමට හේතුවනු ඇත. මීට අමතරව නිවස අභ්‍යන්තරය ද මනා පිළිවෙළට පිරිසිදුවට තබා ගැනීමට ද ඔබ උපරිම ලෙස සැළකිලිමත් විය යුතුවේ. නිවස වටපිටාව මෙන්ම නිවසේ ආලින්දයේ සිට මුළුතැන්ගෙය දක්වාම ආරක්ෂිත ස්ථානයක් ලෙස ඇසිරීම, පිළියෙළ කිරීම, කළමනාකරණය කිරීම නිව‌සේ වෙසෙන හා නිවසට පිටින් පැමිණෙන පුංචිම දරුවාගේ සිට වැඩිහිටියා දක්වාම ආරක්ෂාවට අත්‍යවශ්‍ය මෙන්ම වැදගත් කටයුත්තකි. එසේ නොවුණහොත් අප වඩාත් සුරක්ෂිත යැයි සිතන නිවසේ දී පවා සිදුවිය හැකි අනතුරු රාශියකි.

නිවස තුළදී හා නිවස අවට වටපිටාවේ දී දරුවන්ට සිදුවිය හැකි සුලබ අනතුරු මොනවාද?

වැටීම්,හිසට සිදුවන අනතුරු ,අස්ථි බි¼දීම, විෂවීම්,සීරීම්,පිළිස්සීම්, දියේ ගිලීම්, උගුරේ සිරවීම්, කැපීම් මෙවන් හදිසි අනතුරු වැළැක්වීම සඳහා මව්පියන්ගේ හා වැඩිහිටියන්ගේ අවධානය විශේෂයෙන්ම යොමුවිය යුතුයි. ඒ සඳහා ගතයුතු පියවර පිළිබඳ මාර්ගෝපදේශනයකි මේ.

කුඩා දරුවන් වැටීම්වලින් වැළැක්වීමට ගතයුතු පියවර.

පොළොව, ගෙබිම, පඩිපෙළ, ආදිය නිරන්තරයෙන්ම වියළිව තබාගන්න. බිළිඳු දරුවන් මෙවැනි තැන්වල පා ඔසවා ඇවිදගෙන යනවිට ඉතාම හොඳීන් පරීක්ෂාකාරී වන්න. ගෙබිමේ තැන තැන ගෘහ භාණ්ඩ හා විවිධ තාක්ෂණික උපකරණ, සෙල්ලම් බඩු ආදිය නොතබන්න. විශේෂයෙන්ම විදුලියෙන් ක්‍රියා කරන මෙවලම් හා රෝද සහිත සෙල්ලම් බඩු අනාරක්ෂිත මෙන්ම නුසුදුසු තැන්වල තැබීමෙන් වළකින්න.

ඇඳක්, පුටුවක් වැනි උස් තැනක සිටින දරුවකු තනිකර නොයන්න. තොටිල්ලක නම් සෑම විටකම එහි ඇඳී ඔසවා තබන්න.

පාපිසි, පැදුරු, කළාල, කාපට් එලන විට කෙනෙකු ඒවායේ පටලැවීමට ඉඩ නොතබා නිසි ලෙස එලීම සිදු කරන්න.

නිවසින් පිටතට හෝ කුස්සියට හෝ නාන කාමරයට හෝ පුංචිම දරුවන්ට ඇවිදගෙන හෝ බඩගාගෙන හෝ යා නොහැකි වන පරිදි වැටවල් සහ සුදුසු බාධක සකසා තබන්න.

අනාරක්ෂිත ජනෙල් සහ වෙනත් කවුළු අසළ දරුවාට නැඟිය හැකි සේ පුටු හෝ වෙනත් භාණ්ඩ නොතබන්න.

විෂවීම් වළක්වා ගැනීමට ගතයුතු පියවර.

නිවසේ කුමන ස්ථානයක තිබුණ ද රසායනික ද්‍රව්‍ය හා ඖෂධ හෝ හොඳීන් වැසිය හැකි බෝතල්වල හෝ ටින්වල හෝ සුදුසු බඳුන්වල බහා දරුවාට අත පෙවිය නොහැකි තරම් උසක අසුරා තබන්න.

සෑම නිවසකම පාහේ කුස්සිය, වැසිකිළිය, නාන කාමරය, නිදන කාමරය, ආදියෙහි තිබෙන විවිධ රසායනික ද්‍රව්‍ය, ඖෂධ වර්ග, හිස ගැල්වුම් විවිධ ක්‍රීම් වර්ග හා ආලේපන, තොල් හා නිය ආලේපන ආදිය වර්තමානයේ සුලබය. මෙවැනි දේ අනවබෝධයෙන් අතපත ගෑම හෝ ගිලීම් හෝ ශරීරයේ තවරා ගැනීම් නිසා දරුවන්ට විෂවීම් හෝ අසාත්මිකතා ඇතිවිය හැකියි. මෙම තත්ත්වයන් වැළක්වීම සඳහා දෙමාපියන් හා වැඩිහිටියන් ඉතාම අවධානයෙන් කටයුතු කළ යුතුයි.

කිසිම අවස්ථාවක කිසිම ඖෂධ වර්ගයක්, ටොෆි, ලොසින්ජර්, හෝ පැණි ආදිය ලෙස හඳුන්වා දරුවන් තුළ වැරදි වැටහීම් ඇතිවීම නොකරන්න. එවන් දේ පිළිබඳව දරුවන් තුළ වැඩි අවධානයක් යොමු වීම ඉන්පසු සිදුවේ.

සියලු රසායනික ද්‍රව්‍ය ආරක්ෂිතව එම ඇසුරුම් තුළම තබන්න. ඔබේ වගාවන් සඳහා කෘෂි රසායනික ද්‍රව්‍ය කිසිවක් භාවිත කරයි නම් එවැනි කිසිවක් නිවස තුළට ගෙන යාමෙන් වළකින්න.

කණ්ණාඩි මේසය මත ඇති සුවඳ විලවුන්, ඕඩිකොලෝන්, පුයර වර්ග හා ආලේපන සියල්ල භාවිතයෙන් පසු දරුවාට අත පෙවිය නොහැකි උසක තැබීමට හෝ ලාච්චුවක හෝ කබඩ් එකක දමා යතුරු ලා තැබීමට අමතක නොකරන්න. කුස්සියට හෝ නාන කාමරයට දරුවාට තනිව ගමන් කළ නොහැකි වන සේ බාධක සදා තබන්න.

දියේ ගිලීම් වළක්වා ගැනීමට ගතයුතු පියවර.

ජලය පිරුණු බේසම, බාල්දි, කොරහ ඇතුළු භාජන අසළ දරුවන් (විශේෂයෙන් ළදරුවන්) තනිකර නොයන්න.

ගෙවත්තේ ළිඳක් ඇත්නම් එම ළිඳ වටා ද බැම්මක් ද, ජල ටැංකි හා පොකුණු වටා ද ශක්තිමත් වැටක් හෝ බැඳ ආරක්ෂාව ඇති කරන්න.

නිවාස සමීපයේ ඇති වතුර පිරුණු කුඩා පරිමාණයේ වළවල්, ගලා යන දිය දහර, ඇළදොළ වතුර බැසයන කාණු ආදිය අසළට දරුවා යාමට ඇති ඉඩකඩ සම්පූර්ණයෙන් වළක්වන්න.

මුහුදු වෙරළ, වැව්, ගංගා ඉවුරු ආදිය අසළට දරුවා රැගෙන ගියහොත් (විනෝද චාරිකාවලදී හෝ වන්දනා ගමන්වලදී) දරුවාට එහි විනෝද වීමට ඉඩ සලස්වන්නේ නම් ඉතා අවධානයෙන් දරුවා ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය පරිදි ඊට අවධානය යොමු කරන්න. එසේ නොමැති නම් අනාරක්ෂිත ස්ථානවලින් දිය නෑමට දරුවාට අවසර හෝ අවස්ථාව නොදෙන්න.

වැසිකිළි ආසනය ඇතුළට, රෙදි සෝදන යන්ත්‍රය ඇතුළට නොදරුවන් හිස දැමීය හැකි බැවින් එවැනි අවස්ථා වැළක්වීමට පියවර ගන්න.

පිළිස්සීම් වැළැක්වීමට ගතයුතු පියවර.

උණුසුම් ආහාරපාන වර්ග, ව්‍යාංජන හෝ හොදි දීසි ආදිය අනාරක්ෂිත ලෙස මේස මත තැබීමෙන් වළකින්න. විශේෂයෙන්ම පිසූ උණු ආහාර සහිත බඳුන් මේසය මත තිබියදී දරුවා විසින් මේස රෙද්ද පහළට ඇඳීමෙන් ඒවා දරුවාගේ සිරුර මතට ඇද වැටිය හැකියි.

උණු වතුර හෝ වෙනත් උණුසුම් පාන සහිත භාජන (කේතල, ජෝගු, තේ බඳුන්) ආදිය රැගෙන යනවිට ඒ සමඟ දරුවා වඩාගෙන යාමෙන් හෝ කැටුව යාමෙන් වළකින්න.

ඉස්ත්‍රික්ක, කේතල, ගිල්ලුම් තාපක(හීටර්), ආදිය රත්ව තිබෙන විට දරුවාට අත ගැසීමට නොහැකි තැනක තබන්න. මෙම උපකරණ සමහරක තිබෙන දිග වයර නිසා දරුවා ඒවා ඇදීමට පෙළඹිය හැකි වන බවත්, ඉන් ඔබ නොසිතන තරම් බරපතළ අවදානම් සිදුවන බවත් අමතක නොකරන්න.

විදුලි පේණුවල සිදුරු තුළට දරුවාට ඇඟිලි ගැසිය නොහැකි වන ලෙස ඒවා නිසිලෙස ආවරණය කර තබන්න.

දරුවා සේදීම හෝ නෑවීම සඳහා උණු ජලය සූදානම් කරන විට පළමුව බේසමට ඇල් ජලය දමා දෙවනුව උණු ජලය දමන්න. දරුවා ජල භාජනය තුළ ඉන්දවීමට පළමුව ඔබගේ වැළමිට එතුළට දමා දරුවාට එම උණුසුමට ඔරොත්තු දිය හැකිදැයි පරීක්ෂා කරන්න.

ආහාර පිසින දර ලිප බිම් මට්ටමේ පිහිටුවා ඇත්නම් දරුවා ඊට ළංවීමට ඇති ඉඩ අසුරන්න. ලිප උසක පිහිටුවා ඇත්නම් එහි ඇති දර කැබලි ඇදීමෙන් දරුවා වළක්වන්න. ලිප මත ඇති ආහාර භාජනවලට අත පෙවීමට ඉඩ නොතබන්න. ගෑස්, උඳුන්, රයිස් කුකර්, ආදිය ආසන්නයට දරුවා නොයවන්න. ආහාර පිසීමට යොදා ගන්නා හැලිවළං, ඇතිලි, තාච්චි, සෝස් පෑන් ආදිය උණුසුම්ව තිබියදී දරුවාට අත ගැසෙන ලෙස නොතැබීමට කටයුතු කරන්න. ගිනිපෙට්ටි, ලයිටර් ආදිය දරුවාට අත පෙවීමට නොහැකි තැනක තබන්න. එවැනි දෑ සෙල්ලම් බඩු ලෙස දරුවන්ට ලබා දීමෙන් වළකින්න.

ගිණිපෙනෙලි, ගිනිපෙට්ටි, හෝ ගින්දර ගෙන සෙල්ලම් කිරීමට දරුවන්ට ඉඩ නොතබන්න. කිසිසේත්ම රතිඤ්ඤා, අහස් කූරු දැල්වීමට දරුවන්ට ඉඩ දෙන්න එපා. වැඩිහිටියන් රතිඤ්ඤා දල්වනවා නම් දරුවන් ඒ අසළින් ඈත් කරන්න.

 

සටහන

කීර්ති එස්.කුමාර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.