මිහිඳු මහ රහතන්වහන්සේ අපට දායාද කළ සම්බුද්ධ ශාසනය

ජුනි 18, 2021

බුද්ධ වර්ෂ දෙසිය තිස්හයේ ද මිහිඳු මහරහතන් වහන්සේ මිහින්තලයට වැඩමවා දෙවන පෑතිස් මහරජාණන් ප්‍රධාන කොට සතළිස් දහසක් පමණ මහජනයාට ධර්මය දේශනා කිරීමෙන් මේ ලක්දිව නියම රාජ්‍ය ආගම කිරීමේ මූලස්ථානය බවට මිහින්තලේ පත් කෙරින. තෙවෙනි ධර්ම සංඝායනාවෙන් පසු ධර්මාශෝක රජු ලක්දිවට ද ධර්මදූත පිරිසක් එවනලදී.

 

එහි ප්‍රධානත්වය දැරුවේ අසෝක රජුගේ පුත් මිහිඳු මහ රහතන් වහන්සේ ය. රහතන් වහන්සේ සමඟ ඉත්ථිය, උත්තිය, සම්බල, භද්දසාල යන තෙරුන් සමඟ සුමන සාමණේර සහ භණ්ඩුක උපාසකද පොසොන් පුර පසළොස්වක් පොහෝ දිනක අනුරාධපුර මිස්සක පව්වනම් ස්ථානයට පැමිණිය හ. ඒ වන විට දේවානම් පියතිස්ස රජු දුණු ඊතල රැගෙන පිරිවර සමඟින් මුව දඩයමේ යෙදෙමින් සිටි අවස්ථාවක් වූහ. එහිදී මිහිඳු මහරහතන් වහන්සේ තිස්ස තිස්ස නමින් රජුට ආමන්ත්‍රණය කළහ. ඉන් තිගැස්සුණු දේවානම් පියතිස්ස රජු මිස්සක පව්ව දෙස බලාම එහි වැඩ සිටි අනුබුදු මිහිඳු මාහිමිපාණන් වහන්සේ දුටහ.

සමණාමයං මහා රාජ

ධම්ම රාජස්ස සාවකා

කමේව අනුකම්පාය

ජම්බු දීපා ඉධා ගතා

මහරජ අප බුදුරදුන්ගේ ශ්‍රාවකයන් වෙමු. ලක්වැසි ජනතාව කෙරෙහි අනුකම්පාවෙන් මෙහි වැඩම කළ බව කියමින් දේශනා කළහ. අනතුරුව රජුට දහම් දෙසනු සඳහා රිසි වූ මිහිඳු හිමියෝ රජුගේ නැණ මහිමය මැන බැලීම සඳහා අඹ ගස මුල් කරගෙන ප්‍රශ්නයක් නැඟූහ. මහරජ මේ කිනම් ගසක් ද? මේ අඹ ගස හැර තවත් අඹ ගස් ඇද්ද? එසේය හිමියනි. තවත් බොහෝ අඹගස් ඇත. මේ අඹ ගසත් ඒ අඹගසුත් හැර තවත් ගස් ඇද්ද රජු එසේය හිමියනි, තවත් බොහෝ ගස් ඇත. එහෙත් ඒවා අඹගස් නොවේ. මහරජ ඒ අඹ ගසුත් නො අඹගසුත් හැර වෙනත් ගස් ඇද්ද? එසේය හිමියණි මේ අඹගස්ය.

රජුගේ නැණ මහිමය ගැන පැහැදුණු මිහිඳු නාහිමියෝ රජුගේ නෑයන් හා නොනෑයන් ගැනත් රජුගෙන් විමසූහ. ඒවාටද ඉතා යහපත් පිළිතුරු ලබා දීම ගැන පැහැදුණු මිහිඳු හිමියෝ මහරජුට බුදු දහම වටහා ගැනීමට නුවණ ඇත්තාහුයයි පවසමින් දහම් දෙසා රජු ඇතුළු පිරිස තිසරණ සරණයෙහි පිහිටවූහ.

පසුව මිහිඳු හිමිපාණන් විසින් චුල්ල හත්ති පදෝපම සූත්‍රයෙන් ධර්මය දේශනා කළහ. එය අසා සිටි රජ ඇතුළු පිරිස සෝවාන් ඵලයට පත් වූ බව මහාවංශයේ සඳහන් වේ. අනතුරුව විමානවත්ථු පේතවත්ථු සච්ච සංයුක්ත සමචිත්ත පරියාය ආදී සූත්‍ර දේශනාවන්ද දේශනා කරමින් බුද්ධි ප්‍රබෝධය ඇති කළහ. මිහිඳු නාහිමියන් විසින් තම බෑණාවන භණ්ඩුක කුමරුට මහණකම හා උපසම්පදාව ලබාදීමෙන් ද රැස්ව සිටි දෙවියන්ට සමචිත්ත පරියාය සූත්‍රයෙන් දහම් දෙසීමත් ඇසළපුර පසළොස්වක පෝදිනකදී රජුගේ බෑණාවන මහ අරිට්ඨනම් ඇමැති ඇතුළු පනස් ගණනක් මිහිඳු නාහිමියන් විසින් පැවිදි කිරීමත් මහණ උපසම්පදාව ලත් හැට නමක් භික්ෂූන් වහන්සේලා වස් සමාදන් වී වැඩ වැසීමටත් සැලැස් වීමත් මිහින්තලය මුල්කරගෙන සිදු කෙරෙති. එමෙන්ම අනුබුදු මිහිඳු මාහිමිපාණන් ලක්දෙරණට වැඩමවීමත් සමඟ සංස්කෘතිය සහ සභ්‍යත්වය ශිෂ්ටාචාරය මූර්ති කැටයම් ගෘහ නිර්මාණ ශිල්පය ඇතුළු ශිල්ප රාශියක්ම ලංකාවාසී පොදු මහජනතාවට ලැබිණ.

මිහිඳු මාහිමිපාණන්ගේ දහම නිසා ලක්දිව පැවැති මිසදිටු ඇදහිලි හා පුද සිරිත් තුරන් වී සමදිටු වන්දනා මාන හා පුදසිරිත් ඇතිවූහ. තෙරුවන් සරණ යෑම ත්‍රිවිධ චෛත්‍ය වන්දනා බෝධි පූජා පිරිත් දේශනා දෙවියන්ට හා මියගිය ඥාති මිත්‍රාදීන්ට පින් දීම මෙන්ම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා නමින් සිව්වනක් පිරිස් මෙරට බිහි වූහ. අනුරාධපුර මහා විහාරය හා ථූපාරාමය ඉදිවීමත් සමඟ ලක්දිව දස දෙස වෙහෙර විහාර ඉදිවෙන්නට වූයේත් මිහිඳු මාහිමියන්ගේ වැඩමවීමෙන් පසුවය. ජනතාවගේ සිතුම් පැතුම් බෞද්ධාගමික ඉගැන්වීම්වලට අනුව සැකසිනි. සම්මා සම්බුදුරජාණන් වහන්සේට වැඳුම් පිදුම් කිරීම සඳහා සර්වඥධාතු නිධන්කොට දාගැබ් නිර්මාණය කිරීම ද සිදු විය. දෙවන පෑතිස් රජුගේ කාලය් දී බුදුරජාණන් වහන්සේගේ අකු ධාතුව තැන්පත් කොට ථූපාරාමය ඉදි කළේ ය. සංඝමිත්තා තෙරණියන් විසින් ශ්‍රී මහා බෝධි ශාඛාව මෙහි වැඩම කොට මහමෙවුනා උයනේ රෝපණය කර ජනතා පූජෝපහාරයට ලක් කරන ලදී. සංඝමිත්තා තෙරණියන් ශ්‍රී මහා බෝධි ශාඛාව මෙහි වැඩම කරවන විට එහි ආරක්ෂාව පිණිස අටළොස් කුලයක ජනයා ද මෙහි පැමිණි බව වංශ කතාවලින් කියවේ. එපමණක් ද නොව බෞද්ධ විහාරාරාම ආශි‍්‍රතව අධ්‍යාපනික කටයුතු ආරම්භ වූයේ ත් දහම් අධ්‍යාපනය ප්‍රචලිත වීමට කටයුතු කෙරුණේත් මිහිඳු හිමියන් වැඩමවීමෙන් පසුවය.

මිහිඳු හිමියන්ගෙන් ධර්මය ඇසූ අය බොහෝ ය. ධර්මය වැළඳගත් අයද බොහෝ ය. මේ අය අතර අනුලා දේවියගේ පැවිදි වීම ලාංකික සමාජයේ කාන්තා පක්ෂයට පැවිදිවීමේ අවස්ථාව උදා වූවා ය. ඒ අනුව පැවිදිවීම ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම සමාන අයිතිවාසිකමක් බව ඔප්පු කරන ලදී.

 

බත්තරමුල්ල පැළවත්ත

රාජපුර වෙද මැදුරේ ප්‍රධාන ආයුර්වේද ෙවෛද්‍ය

සුමිත් එම්.පී. රාජපුර

 

සටහන මාධ්‍යවේදී,

බී. ඇල්. ප්‍රේමරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.