ව්‍යාපාරයක් වූ විවාහ සිරිත

ඔක්තෝබර් 29, 2021

අතීතයේ දී විවාහ මංගල්‍යයක් පවත්වනු ලැබුවේ ඉපැරණි සිරිත් විරිත් ගරු කරමින් නැකැත් දින, හෝරා ශුභ වූ වේලාවක් මුල් කර ගනිමිනි. මන්ද යත් දෙදෙනකුගේ නව ගමනක් විවාහය තුළින් ඉදිරියට නිර්මාණය වන බැවින් එය ඉතාමත් ශුභ ආකාරයට සිදුවිය යුතු නිසා ය.

පවුලේ වැඩිහිටි වුවත් උගත් හා අත්දැකීම් බහුල අයෙකුගේ පූර්ණ උපදේශකත්වය යටතේ පවුලේ හා ඥාති හිත මිත්‍රාදීන්ගේ ආශිර්වාදය හා උදව් ඇතිව මෙය සරල හා ඔවුනොවුන්ගේ ඇති හැකි ප්‍රමාණයට සිදුවන උත්සවයකි.

විවාහයට සූදානම් වන යුවළ සඳහා ඔවුනොවුන්ගේ නිවැස්වලින් බෝධි පූජා, පින්කම් හා දේව පූජා, සෙත්කවි ආදිය සිදු කරනුයේ ඉදිරියේ පා තැබීමට නියමිත නව ගමනට ආශිර්වාද වශයෙනි. මූලිකවම දෙපක්ෂය විසින් සලකා බලනුයේ ගුණවත්කම, ඥාතීන්ගේ යහපත් ස්වභාවය, යහපත් හැසිරීම් ආදියයි.

නවීන තාක්ෂණය ජනගත වීමත් සමඟ ශ්‍රී ලාංකීය සමාජයේ නිවැරදි තාක්ෂණික භාවිතයන් පිළිබඳ පවතින ගැටලු ද මූලික වීමෙන් උතුම් වූ විවාහ සිරිත ද තවත් එක් තාක්ෂණික කටයුත්තක් වී හමාර ය. අද වන විට බොහෝ තරුණ තරුණියන් දැන හඳුනා ගන්නේ සමාජ මාධ්‍යය හරහා ය. කපු මහතකු හරහා සිදු වූ විවාහ යෝජනා සිදු කිරීම අද වන විට අන්තර්ජාලය හරහා කෙරෙන ව්‍යාපාරික කටයුත්තක් වී හමාර ය. ගුණයහපත්කම් පසෙකලා ඡායාරූපයකට සිදුවන ආකර්ශනය මූලිකව දැන හඳුනා ගැනීම් සිදුවන අතර දෙමාපියන් කිසිදු තොරතුරක් නොදනියි. දෙදෙනා දැන හඳුනාගෙන විවාහය ද තීන්දු කර ඔවුන් පවසනතුරුම කිසිවක් දෙමාපියන් නොදන්නා තැන් එමට ය.

තරුණ තරුණියන් කාර්ය බහුල බැවින් විවාහයේ කටයුතු පිළියෙල කිරීම සඳහා වෙඩින් ප්ලෑනර් ලෙස නවීන රැකියාවක් ද ජනගත වී ඇත. මොවුන් මුදල් ඉපයීම ප්‍රධාන කාර්යයක් කරගත් අතර විවාහ සිරිත් හෝ එහි පසුබිම නොදන්නා නාමික හා තාවකාලික කළමනාකරුවෙක් පමණක් වේ. දෙදෙනාගේ ගැළපීම් සඳහා කේන්ද්‍ර පරීක්ෂාවක් නොවන අතර පොරොන්දම් ගැළපීමක් සිදු කරනුයේ පරිගණකයක් හරහා පරිගණක මෘදුකාංග යෙදවුම් කරුවකු විසිනි. එය ද විලාසිතාවක් පමණක් වන අතර ඔහුද මුදලක් උපයා ගැනීම සඳහා පොරොන්දම් බැලීම සිදුකරන අයෙකි. විවාහය සඳහා දිනය නියම කරනුයේ වෙඩින් ප්ලෑනර් හට අවශ්‍ය ලෙස වන අතර මනාල යුවලට වැඩ අඩු නිදහස් දිනයක් හෝ හෝටල් හිමියා වෙතින් ලබා ගන්නා එම හෝටලය නිදහස් දිනයකි. නැකැත විලාසිතාවක් මිස විද්‍යාත්මක වූත් හරවත් වූත් ඡ්‍යොතිෂ්‍යානුකූල තත්ත්වයක් අද බොහෝ තැන්වල නැත.

මනාල යුවලගේ ඇඳුම් නිර්මාණය කරනුයේ ද ව්‍යාපාරික ලෝකය විසිනි. බොහෝ විට මෙය ද අන්තර්ජාල ව්‍යාපාරයකි. ඇඳුම් සඳහා අධික මිලක් නියම කිරීම, ඒ සඳහා පහසු ගෙවීම් ක්‍රම හඳුන්වා දීමද විවාහ දිනයේ දී එම ඇඳුම්වලින් සැරසී සිටින මනාළ යුවලගේ ඡායාරූප අන්තර්ජාලයේ ම පල කර තවත් පිරිසක් මේ සඳහා යොමුකර ගැනීම ද අද සාර්ථක ව්‍යාපාර වී හමාර ය.මනාලිය හැඩ ගන්වන රූපලාවන්‍ය ශිල්පීන් ද මේ ලෙසම විවාහය ඉලක්කර බොහෝ මුදල් උපයාගනිති. විවාහ දිනය ජීවිතයේ ම සුවිශේෂී දිනය යැයි උළුප්පා දක්වමින් එදිනට සුන්දරව සිටීමට විවිධාකාරයේ සත්කාර පිළිබඳව විවිධ මාධ්‍ය ඔස්සේ දැනුවත් කර තමන් වෙත පැමිණෙන යුවතියන්ගෙන් මුදල් අයකරනුයේ අධික ලෙස ය. මෙම කටයුතු සඳහා අවුරුද්දක් පමණ පෙර සිටම වෙහෙසෙන තරුණියන් අද සමාජයේ සිටියි. විවාහ දිනය ඉලක්කකර පැහැපත් වීම සඳහා යයි. විවිධ නිෂ්පාදන අලෙවි කරන ආයතන ද අද සුලභ ය.

විවාහයේ දී පෝරුවේ චාරිත්‍ර හා අදාළ සියල්ල ම සිදු කරනුයේ ඡායාරූප හා වීඩියෝ දර්ශන සඳහා පමණක් බව අද බොහෝ තැන්වල දක්නට ඇත. මන්ද යත් ඡායාරූප කරුවන්ගේ හා වීඩියෝ සකසන්නන්ට පහසු වේලාවට නැකැත් සාදන බැවිනි. දෙවැනි ගමන ද විවාහයේ වැදගත් වුවද අද දින එය ද විලාසිතාවක් වී හමාර ය. දෙවැනි ගමන ද පළමු දිනයේ ම පිටත් වන මනාල යුවල ඒ සඳහා ද අධික මිලක් යොදා අලුත් ඇඳුම් කට්ටලයක් සකසා ගනුයේ වෙඩින් ප්ලෑනර් ගේ වුවමනාව පරිදි ඡායාරූපකරන වීඩියෝ සංදර්ශන පැවැත්වීමේ වුවමනාව උදෙසා ය.

විවාහ සඳහා මල් සැකසුම්කරුවන් තවත් පිරිසක් ව්‍යාපාරයක් පවත්වාගෙන යන අතර මංගල පෝරුව සකසනුයේ ඔවුන් විසිනි. මංගල පෝරුව සකසන නිවැරැදි ක්‍රමවේදයන් සහ ඒ හරහා මනාල යුවලගේ ඇස්වහ කටවහ දුරු කිරීමේ ක්‍රමවේදයන් පිළිබඳව මොවුන්ට වැටහීමක් නැත. ව්‍යාපාර අරමුණු උදෙසා මනාළ යුවලගේ අභිමතය පරිදි අන් අය කිසිදා නොසෑදු පෝරුවක් නිර්මාණය කරනු දක්නට ඇත.

විවාහය යළි සිහිවීම සඳහා හැකි ආකාරයට ඡායාරූප ගැනීම වරදක් නොවේ. නමුත් විවාහ දින උදේම ඡායාරූප ගෙන ඒම අවස්ථාවේම පැමිණි පිරිසට පෙනෙන්නට අති විශාල ලෙස සකසා ප්‍රදර්ශනය කිරීමද පැමිණි පිරිසට ඡායාරූප ලබාදීම ද අධික මිල අය කරමින් ඡායාරූප හා වීඩියෝ දර්ශන සඳහා දර්ශන තලයන් ලබාදෙන ස්ථාන තෝරා ගැනීම ද විවාහයට පෙරද වීඩියෝ දර්ශන සකසා ගැනීම ආදී දේවල් අධික ලෙස වියදම් කරමින් සිදු කරනුයේ මුදල් ඇති හැකි නිසා නොව සමාජ විලාසිතාවක් ලෙස ය.

මේ අයුරින් බලන විට අද විවාහය යනු තවත් එක් ව්‍යාපාරික කටයුත්තක් වී හමාර ය. හෝටල් කරුවන් මල් සැකසුම් කරුවන්, ඡායාරූප ශිල්පීන්, රූපලාවන්‍ය ශිල්පීන් සහ වෙඩින් ප්ලෑනර් ලාට අවශ්‍ය ලෙස සියලු දේ සිදුවෙයි. බොහෝ තරුණ පිරිස් මෙම පුද්ගලයින්ගේ අසීමිත ප්‍රචාරණයන්ට නතු වී හරි වැරැද්ද තෝරා ගත නොහැකි තරමට අතරමං වී ඇත. මේ සියල්ල සඳහා වියදම් කරනුයේ තරගයට මිස අවශ්‍යතාවයට නොවේ. බොහෝ කාලයක් වෙහෙස මහන්සි වී උපයාගත් සේසතම වියදම් කර ගේ දොර යාන වාහන උකස් කර හෝ විශාල වශයෙන් ණය ලබා ගනිමින් මේ දේවල් සඳහා වියදම් කරන තරුණ පිරිස් අද සමාජයේ සිටියි..

විවාහයෙන් පසු ජීවිතය සකසා ගන්නවා වෙනුවට ඉන් එහාට ණය ගෙවමින් තමාටම කියා ගෙයක් දොරක් හෝ නොමැතිව කුලී නිවාසවල දුක් විඳින තරුණ පිරිස් බොහෝ විට අද සමාජයේ ඇත. විවාහයේ සතුට, දූදරුවන් නිසා ඇති සතුට ආදී සියල්ලම අහිමි වූ ඔවුන් ජීවිත එපා වී ජීවත් වෙති. මේ නිසා අද පවතින ප්‍රචාරණ මාධ්‍යයන්ට නොරැවටී වැඩිහිටි අනුශාසනා මත පිහිටා තමා ගැළපෙන ලෙස සහ දැරිය හැකි මුදලකට ඔබින ලෙස මෙම ජීවිතයේ වැදගත් දිනයක් වන විවාහ දිනය සැළසුම් කර ගැනීම ඉතා වැදගත් වනු ඇත.

 

රුවන් එච් අත්තනායක

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.