හෘද රේඛාව දූපත් ලකුණකින් අවසන්වීම ඉතා අශුභයි

නොවැම්බර් 12, 2021

අත්ලේ ප්‍රධාන රේඛාවන් ලෙස සැලකෙන හෘද රේඛාව සුළඟිල්ලට පහළ ප්‍රදේශයේ සිට ශීර්ෂ රේඛාවට ඉදිරිපසින් දබරැඟිල්ල දෙසට විහිදීයයි. මෙම හෘද රේඛාව ක්‍රම කීපයකින් අවසන්විය හැකි ය. ඇතැම් අයගේ මෙම රේඛාව ශනි මණ්ඩලයෙන් (මැදඟිල්ල මුල) අවසන් වෙන අතර තවත් විටෙක දබරැඟිල්ල දෙසටත් පහළට නැමී යන ආකාරයට පිහිටා තිබෙනු දැකිය හැකි ය. ගුරු, ශනි, රවි, බුධ යන ග්‍රහ මණ්ඩල හතරේ විද්‍යුත් ශක්තීන්ගෙන් පෝෂණය වන හෘද රේඛාව පුද්ගලයාගේ මනස කෙරෙහි ද එක එල්ලේම බලපෑමක් කරයි.

හෘදය වස්තුව සහ පෙනහලුවල ස්වභාවය සහ ඒවායෙහි ක්‍රියාකාරීත්වය සටහන්වන අත්ලේ ඇති ප්‍රධානතම රේඛාව වන්නේ මෙම රේඛාව බැවින් එයට හෘද රේඛාව යන නම භාවිතා කරන්නට ඇති. ඒ හැරෙන්නට මෙම රේඛාව මඟින් පුද්ගලයාගේ විවාහ ජීවිතය, ආදරය, ලිංගික ආශා, රුධිර ධාවනය යම් යම් දේවල් නිර්මාණය කිරීමේ සහජ බුද්ධිය ක්‍රියාකාරී හැඟීම් ගතිගුණ පිළිබඳ විශේෂ ලක්ෂණද පෙන්නුම් කරයි. සමහර අයගේ අත්වල මෙම රේඛාව නොමැතිවීමට ද හේතු ඇත. හෘද රේඛාව අතේ පිහිටා නැති අය අපි ව්‍යවහාර කරන ආකාරයට හිතක්, පපුවක් නැති අය ලෙස හැඳින්විය හැකි ය. අන් අය කෙරෙහි සෙනෙහසක් අනුකම්පාවක් ඔවුන් තුළ නොමැත. තමාගේ වාසිය පමණක් අපේක්ෂා කරන ආත්මාර්ථකාමී අය වෙති. එමෙන්ම ඔවුන් කෝප සහගත ඇත්තෝ ය. හොඳ හෘද රේඛාවක් සුළඟිල්ල මුලින් (බුධ මණ්ඩලයෙන්) ආරම්භ වී රවි, ශනි මණ්ඩල අතරින් ගුරු මණ්ඩලයෙන් අවසාන විය යුතුªව ඇත. එසේම එය ශීර්ෂ රේඛාවට ළඟින් ම හෝ ශීර්ෂ රේඛාවට බොහෝ දුරින් හෝ නොවිය යුතු ය. හෘද රේඛාව පටන් ගැනීමේ දී තියුණුව පෙනිය යුතු ය. එසේම අවසානයේ දී ද එලෙසම තිබිය යුතු ය. (හැරීම් කැඩීම් නොමැතිව) එසේම එම රේඛාවේ පළල, ගැඹුර, වර්ණය ගැන ද සැලකිය යුතු ය.

හොඳ හෘද රේඛාවක් පවතින විට හොඳ පෞරුෂයක්, යහපත් සෞඛ්‍ය තත්ත්වයක් යන හැමදේම පවතී. හෘද රේඛාව ප්‍රමාණයට වඩා මණ්ඩලවලට ළංව පිහිටීමද සුබ නොවේ. එවිට මණ්ඩලවල ශක්තිය හීනවීමෙන් පුද්ගලයා තුළ ඊර්ෂ්‍යාසහගත බවත් දරුණු ස්වභාවයක් ඇතිවීමට ද හේතුවේ. ඔවුහු බොහෝ ප්‍රේම සම්බන්ධතා ද ඇති කර ගනිති. රේඛාව ප්‍රමාණයට වඩා පහත්විමද ආත්මාර්ථකාමී බවත් කලබලකාරී මානසික තත්ත්වයක් ඇතිවීමට ද හේතු වෙයි.

හෘද රේඛාව තැනින් තැන කැඩී තිබීම අශුභ ලක්ෂණයකි. එමගින් ප්‍රකට වන්නේ රුධිර ධාවනයේ විෂමතාවයක් ඇති බවයි. පැලීගිය ආකාරයක් හෘද රේඛාවෙන් පෙන්නුම් කරයි නම් හෘද වස්තුවේ කිසියම් දුර්වලතාවයකි. හෘද රේඛාව සමඟ එවැනිම රේඛාවක් කාගේ හෝ අතක පිහිටියේ නම් ඔහු හෝ ඇය ධනවත්වේ. හෘදය රේඛාවත් ශීර්ෂ රේඛාවත් එකට සම්බන්ධවී එකම රේඛාවක් ලෙස විහිද යෑමද අසුබය. තදබල මානසික පීඩාවකට සදහටම දුකඋරුම වූ අය එම ලකුණින් හඳුනාගත හැකි ය.

හෘද රේඛාව ගුරු මණ්ඩලය තුළින් මතුවී තිබීම ඉතාමත් හොඳ පිහිටීමකි. පෙම් රජදහනේ කිරුළු පළඳින්නට වරම් ලබන එවැන්නන්ගේ යුග ජීවිතය ඉතාමත් වාසනාවන්තය. හෘද රේඛාව අර්ධ කවාකාර හැඩයෙන් පිහිටීමද සුබ නොවේ. ඇදුම වැනි සෙම් රෝග වැලඳීමට එය හේතුවක් වෙයි. මෙම රේඛාවේ කෙළවර ශාඛා දෙක තුනකට බෙදී තිබීමද යුග දිවියේ සාර්ථකත්වය පෙන්නුම් කිරීමකි. හෘද රේඛාව දෙකඩවීමත් එම රේඛාවෙන් මතුවන අවරෝහණ රේඛාවක් (පහළට යන) ශීර්ෂ රේඛාව දෙසට ඇදීයාමත් අශුභ පලදෙයි. පරාජිත පෙම්වතෙක් හෝ පෙම්වතියක් එමඟින් මූර්තිමත් කරයි. දම්වැලක ආකාරයෙන් විහිද යන හෘද රේඛාවෙන් ආලය පිළිබඳ නිරතුරුවම ඇතිවන අස්ථිර බව පෙන්නුම් කරයි. ඔවුන් කෙරෙහි කිසිදු විශ්වාසයක් තැබිය හැකි නොවේ. මෙම රේඛාවේ කතිර ලක්ෂණයක් පිහිටීම වාසනාවන්ත භාවයේ ලක්ෂණයකි. උතුම් ගුණාංගවලින් යුත් ධෛර්ය සම්පන්න කෙනෙකු වේ. අංශභාග වැනි ස්නායු රෝගවලට හේතුවන බැවින් හෘද රේඛාව ගැඹුරට තිබීමත් සුබ නොවේ. එම රේඛාවේ කළු තිත් මඟින් වකුගඩු රෝග සෑදීමේ ප්‍රවණතාවක් ඇති බව ප්‍රකටවන අතර, දම්වැල් ආකාර ලක්ෂණයෙන් පෙනහලු දුර්වල අයෙක් හඳුනාගත හැක. හෘදය රේඛාවේ දූපත් ලක්ෂණවලින් නහරගත ආබාධ පෙන්නුම් කරයි.

සමහර අයගේ හෘද රේඛාව අත්ලේ එක කෙළවරක සිට අනිත් කෙළවර දක්වා කෙළින් ගැසූ ඉරක් මෙන් තිබිය හැකි ය. ඔවුන් ඉතාමත් රාගාධික ය. මනුෂ්‍යත්වයක් ඔවුන් තුළින් දැකිය නොහැකි තරම් ය. විනෝදයට පෙම්වතුන් ආශ්‍රය කරන අය තුළ මෙම ලකුණු දැකිය හැක. හෘද රේඛාව රෝස පැහැවීමත් සුබපලගෙන දෙන්නකි. සුවිනීත ගති පැවතුම් ඇති ඔවුන් බොහෝ විට කලාවට ලැදි අය වෙති. මෙම රේඛාව දූපත් ලකුණකින් අවසන්වීම ඉතා අශුභය. හෘදයාබාධයකින් මිය යාමට එය හේතුවිය හැක. බොහෝවිට එම අයගේ ජීවිතය ලේ කැටි ගැසීමේ රෝගයකින් අවසන් විය හැක. කොලෙස්ටරෝල් වැඩිවීමෙන් පීඩා විඳින එවැනි ලකුණු ඇති අය වහාම ලේ පරීක්ෂණයක් කර ගැනීම වැදගත් ය.

හිඹුටානේ

පියතිලක ද අල්විස්

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.