ඔබගේ අනාගත සහකරු සහකාරිය කෙබඳු වෙයිද?

දෙසැම්බර් 31, 2021

යොවුන් වියට පත් තරුණ තරුණියන් තම අනාගත සහකරු සහකාරිය ගැන මෙන්ම විවාහ ජීවිතය ගැනද දැන ගැනීමට බොහෝ කැමැත්තක් දක්වති. විවාහය ප්‍රේම සබඳතාවයක් මත සිදුවේද, යෝජිත විවාහයක් ද, සහකරු සහකාරිය කුමන ක්ෂේත්‍රයක නිරත වන අයකුද යන්න දැන ගැනීමට ඉතා ආශාවක් දක්වති.

සෑම කාන්තාවක්ම තම අනාගත පැවැත්ම සඳහා පුරුෂයාගෙන් ලැබෙන ආදරය සෙනෙහස රැකවරණය බලාපොරොත්තු වෙයි. කේන්ද්‍රයක් තුළින් තම සහකරු සහකාරිය ගැන තොරතුරු පෙන්නුම් කරන අතර කිසියම් කේන්ද්‍රයක හත්වැන්න හත්වැන්න අධිපතියාද ඔහු සිටින නවාංශකයද හත්වැන්නේ සිටින වෙනත් ග්‍රහයකු ද හත්වැන්නට දෘෂ්ටි හෙලන ග්‍රහයන් ගැන ද හොදින් සලකා බැලිය යුතුයි.

සිකුරු විවාහ කාරක ග්‍රහයා වන අතර කුජ නොහොත් අඟහරු පුරුෂ කාරක ග්‍රහයාය. සිත සඳු පාලනය කරන අතර මෙම නිසා විවාහයේදී සඳු ,සිකුරු , කුජ යන ග්‍රහයන්ගේ බල දුබලතාවය පරීක්ෂා කළ යුතු යි‍. සඳු තම රාශිය වූ කටයකයේදී ස්වක්ෂේත්‍ර වීම නිසා බලවත් වන අතර වෘෂභයේදී උච්ච වීම නිසා බලවත් වේ. වෘශ්චිකය තම නීච රාශිය බැවින් දුර්වල වනු ඇත‍.

සිකුරු ග්‍රහයා මීන රාශියේදී උච්චවීම නිසා බලවත් වන අතර තුලා හා වෘෂභ රාශි වලට ස්වක්ෂේත්‍ර වීම නිසා බලවත් වේ. කටක හා කන්‍යා රාශි වලදී දුර්වල වනු ඇත. කුජ ග්‍රහයා මකර රාශියේදී උච්චවීම නිසා බලවත් වන අතර මේෂ, වාශ්චික රාශි දෙකෙහිද ස්වක්ෂේත්‍ර වීම නිසා බලවත්වේ. කටක හා කන්‍යාවේදී දුර්වල වනු ඇත. ස්ත්‍රී කේන්ද්‍රයක කුජ බලවත්ව සිටියේ නම් ඇයට ලැබෙන්නේ එඩිතර සැමියෙකි. සිකුරු බලවත් නම් විනෝදයෙන් කාලය ගත කරන යහපත් ගතිගුණ ඇති හොඳ සැමියකු ලැබේ. පුරුෂ හෝ ස්ත්‍රී හෝ වේවා ඕනෑම කේන්ද්‍රයක හත අධිපති දෙවැන්නේ නම් ධනවත් සැමියකු හෝ බිරිඳක් හිමිකරයි. හත් වැන්න අධිපතියා දහ වැන්නේ නම් දියුණු වන අයෙක් ය.

එකොළොස්වැන්නේ නම් ව්‍යාපාරික කටයුතු වලට සම්බන්ධ අයෙක් හිමිකර යි. හත අධිපතියා හත් වැන්නේ සිටීනම් තමාට ආදරය කරන ගරු කරන සැමියෙක් හෝ බිරිඳක් ලැබෙනු ඇත. ගුරු කටක, මීන,ධනු රාශියක බලවත් නම් උගත් සහකරුවකු හිමිකරයි.

බුධ කටක මීන රාශි දෙකේ බලවත්ව සිටී නම් උගත් ගණිත අංශයේ දක්ෂ සැමියකු හෝ බිරිඳක් හිමිකරයි. ගුරු සිකුරු දෙදෙනාම බලවත් නම් ඉඩ කඩම් යාන වාහන හිමි උගත් ධනවත් ව්‍යාපාරික අංශයට නැඹුරු සැමියකු ලැබේ.

සමාජයේ කැපී පෙනෙන සමඟි සම්පන්න ප්‍රීතිමත් යුග දිවියක් ගත කිරීමට නම් පින් වත් බිරිඳක් හෝ ස්වාමිපුරුෂයකු ලැබෙනු ඇත. පුරුෂ කේන්ද්‍රයක හත් වැන්නේ හෝ නව වැන්නේ සිකුරු ග්‍රහයා බලවත් නම් ඒකී නීච තත්වය උදා වනු ඇත.

හත අධිපති ලග්නාධිපතියා සමඟ සංයෝගව සිටීමෙන් හෝ පස් වැන්නේ ග්‍රහයෙක් සිටීමෙන් හෝ පස් වැන්නේ සිටින ග්‍රහයාගේ හෝ පස්වැන්න අධිපති ග්‍රහයාගේ දෘෂ්ටිය හත් වැන්නට වැටේ නම් ඔහුගේ හෝ ඇයගේ විවාහය ප්‍රේම සබඳතාවයක් මත සිදුවේ.

පුරුෂ කේන්ද්‍රයේ හත් වැන්න අධිපති සෙනසුරු වී ඒ් ග්‍රහයා දුර්වල නම් විවාහය ප්‍රමාද වේ. පාප ග්‍රහයෙක් හත් වැන්නේ සිටීමෙන් හා හත් වැන්නාට අශුභ දෘෂ්ටි වැටීමෙන් පින්වත් සහකරුවකු හෝ සහකාරියක් ලබා ගැනීමට නොහැකිවේ.

සෙනසුරු හත් වැන්නේ සිටින අයගේ විවාහය ප්‍රමාද වුවත් ඔවුනට රුව ඇති සහකරුවෙක් ලැබේ. කුජ ,සිකුරු හත් වැන්නේ සිටින ස්ත්‍රී පුරුෂ දෙපාර්ෂවයටම ඊට ගැළපෙන රාහු සිකුරු යෝග ඇති අය හෝ කුජ සිකුරු සිටින අය තෝරා ගැනීමෙන් විවාහ ජීවිතය සාර්ථක වේ. නැතිනම් අසාර්ථක වේ. ස්ත්‍රී පුරුෂ කේන්ද්‍රවල දෙවැන්න බලවත් නම් හෝ දෙවැන්නේ බලවත් ග්‍රහයන් සිටීනම් එයට සුබ ග්‍රහයන්ගේ දෘෂ්ටිය වැටේ නම් එවැනි අයට විවාහයට ධනවත් අයකු ලැබෙනු ඇත.

හත් වැන්න අධිපති හතර වැන්නේ නම් ඉඩ කඩම්, යාන වාහන, මිල මුදල් ඇති අයද හත අධිපති දහ වැන්නේ සිටීනම් උසස් රැකියාවක් කරන අයකු ද හත් වැන්න අධිපතියා නව වැන්නේ නම් තම අනාගතය සෞභාග්‍යමත් කර ගත හැකි අයකුද හත් වැන්න අධිපති හය වැන්නේ නම් නිතර රෝගී වන අයකු ද ලැබෙනු ඇත.

හත් වැන්න අධිපතියා අට වැන්නේ සිටීමෙන් හදිසි ධන ලාභ වලට හිමිකම් කියන අයකු ලැබේ. ඇතැම් විට හදිසි කරදර වලට මුහුණපෑමට සිදුවීමට ද ඉඩ තිබේ. හත අධිපතියාගේ මහ දශා අතුරු දශා විදශා ආදියේදී විවාහය සිදුවිය හැකි අතර ලග්නාධිපතියාගේ මහ දශා වලදීද විවාහය සිදුවිය හැකි අතර ඊට අමතරව නව වැන්න අධිපතියාගේදශා වලදී ගුරු ග්‍රහයාගේ මහ දශාව තුළදී ද විවාහය සිදුවේ.

හත අධිපති ග්‍රහයා එම ග්‍රහයා සිටින නවාංශකය හිමි ග්‍රහයා ගැන බැලීමෙන් සහකරු හා සහකාරිය කවර දිශාවකින් ලැබේ ද යන්න දැන ගත හැකිය. ගුරු, බුධ දෙදෙනාට උතුරු දිශාවත් රවි කුජට බස්නාහිර දිශාවත් සඳු සිකුරුට නැගෙනහිර දිශාවත් හිමිවේ. ඒ් අනුව හත්වැන්න අධිපති සිකුරුගේ නවාංශකයක සිටී නම් නැගෙනහිර දිශාවෙන් ලැබෙන බව දැන ගත යුතු වනු ඇත.

 

ජ්‍යොතිෂවේදිනී

ගීතිකා සමරතුංග

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.