කළගුණ සැලකීම මුල්කරගෙන සොබාදහමට තුති පුදන ‍ෛත‍ෙපාංගල්

ජනවාරි 14, 2022

ඈත අතීතයේ සිටම හින්දු ජනතාව තෛපොංගල් දිනය සමරනු ලබන්නේ කෙත බත බුලත සශ්‍රීකත්වය හා සෞභාග්‍ය උදා කෙරෙන ආගමික උත්සවයක් ලෙසිනි. හිරු දෙවියන් සියලු වස්තූන් අතරින් උත්තම වස්තුව ලෙසට ද සලකති.

 

හිරු වර්ෂය ආරම්භ වන්නේ එනම් මුල්දවසේ තම තමන්ගේ කෙත්වතු සරුසාරවත් කර ගැනීමට හිරුදෙවියන් වන්දනාමාන කර ගැනීම ඇප කැප වී කටයුතු කරති. උදාවන මෙම කාලය ඉන්දියාවේ අස්වනු නෙළා පිරී ඉතිරීයන කාලය බැවින් එය සූර්යපොංගල් යනුවෙන් හඳුන්වති. සූර්ය දිව්‍යරාජයා ධනු රාශියේ සිට මකර රාශියට සංක්‍රමණයවීමෙන් ඇතිවන උත්තරාය නම් නැකැත් කාලයේ දී පවත්වනු ලබන තෛපොංගල් උත්සවය හිරු දෙවියන්ට කෘතගුණ සැලකීම ප්‍රධානකොට පවත්වනු ලබන ආගමික උත්වයකි. මකර සංක්‍රාන්තිය යනුවෙන්ද හඳුන්වනු ලබන මෙම උත්සවය කෙතේ බත බුලත සශ්‍රීකත්වය හා සෞභාග්‍ය උදා කිරීමට මුල්වන ප්‍රධාන ආගමික උත්සවය ද වේ.

තෛපොංගල් උත්සවයේ දී හිරු දෙවියන් නැමැදමින් නැවත නැවතත් ඉල්ලා සිටින්නේ පෙර මෙන් තමතමන්ට සියලු සශ්‍රීකත්වය හා දියුණුව ලබාදෙන ලෙසයි. තෛපොංගල් දිනයේ දී සූර්ය දිව්‍ය රාජයා උදාවීමට පැය කීපයකට පෙර අලුයම් කාලයේ දී අවදිවන හින්දු ජනතාව ස්නානය කොට පිරිසුදුවේ. නිවැසියන් සියලුදෙනාම එසේ පිරිසුදුවීමෙන් අනතුරුව නිවස ඉදිරිපිට මිදුලේ කොටසක් ගොමගා පිරිසුදුකොට සුදුරන්පැහැ පිටිවලින් ලස්සන මල්රටා ඇඳ අලංකාර කරනු ලබන්නේ සූර්ය දිව්‍ය රාජයාගේ කිරණ වැටෙන නැඟෙනහිර දිසාව දෙසටය. එම ස්ථානයේ කැන් සහිත කෙසෙල්ගස්, උක්ගස් මෙන්ම කෙසෙල් කැන් නොමැති ගස්ද සිටුවා මකර තොරණක් ද සාදා අලංකාරකර ගනිති. හින්දු ජනතාවගේ ප්‍රධාන උත්සවවලින් එකක්වන හිරු දෙවි නමදින තෛපොංගල් උත්සවය යෙදී ඇත්තේ ජනවාරි දාහතරවනදාටය. මෙදින පුද පූජා පවත්වන හින්දු භක්තිකයින් සලකනු ලබන්නේ මෙම සූර්ය සංක්‍රමණයක් ලෙසයි.

හිරු තෛ මාසය නොහොත් දුරුතු මාසයේ සිට ආණා මාසය බිනර මාසය තෙක් උතුර බලා ගමන් කිරීම හඳුන්වනු ලබන්නේ උත්තරාය යනුවෙනි. මෙය හින්දු ජනතාවගේ පිළිගැනීමට අනුව සූර්යවංශයේ ආරම්භය වන තෛ ජනවාරි දාහතරවනදා බවයි. තෛපොංගල් උදාවත් සමඟම ජීවිතයද අලුත් වී සතුට සම්පත සෞභාග්‍ය ලැබෙන බවට ද විශ්වාස කරති. සතුන්ට හා වෘක්ෂලතාවන් සඳහා හිරුගේ බලපෑමක් පවතින බැවින් අලුත් වී අස්වැන්නක් ලබාගත් විගස සහල්වලින් කිරිබත් සාදා දියුණුවට මඟ පෑදූ හිරු දෙවියන්ට පූජා පවත්වති. තෛපොංගල් උත්සවය ආරම්භවීමට සති කීපයකට පෙර නිවෙස් හා නිවෙස් අවට පිරිසුදු කිරීමද සිදු කෙරේ. තෛපොංගල් දිනයේ දී පිසිනු ලබන කිරිබතට ගනු ලබන්නේ අස්වැන්නෙන් ලබාගත් හොඳම කොටසයි. කිරි ඉතිරවීමට සකස් කරගනු ලබන්නේ නිවසේ ගෙවත්තේ හොඳට හිරුඑළිය වැටෙන ස්ථානයකි. තෛයිපොංගල් දිනයේ සූර්ය දිව්‍ය රාජ්‍යා උදාවීමට පැය පහකට පෙර අවදිවී ස්නානයකොට පිරිසිදු වී නිවසේ ගෙමිදුලෙහි ගොමපිරිමැද පිරිසුදු කළ ස්ථානයට ගොස් මල් රටා ඇති ස්ථානයෙහි ගණ දෙවියන්ගේ ඡායාරූපයක් හෝ ගණදෙවි පිළිමයක් තබා පිරිසුදු පොල්තෙල් පහනක් දල්වති.

හාල් පිටි හෝ අස්වැන්නෙන් ලබාගන්නා වී හෝ අතුරා පොල්ගෙඩියක් කෙසෙල් ඇවරියක් හා බුලත් පුවක් ද ලබා පුල්ලෙයාර් දෙවියන්ට ද පුද පූජා වන්දනා මාන කර අනෙකුත් දෙවියන්ට ද පූජා පවත්වති.

ඉන් අනතුරුව සූදානම් කළ හිරු එළිය එන ස්ථානයේ දී කිරි ඉතිරවීම සිදුකරනු ලබයි. කිරි ඉතිරවීමට ගන්නා නැවුම් මුට්ටියේ කට වටේට කහ කොළ ඉඟුරු කොළ, අඹ කොළ තබා බැඳ පිරිසුදු ජලය දමා සෝදා මුට්ටිය පිටපැත්තේ තිරනුර් තවරා ත්‍රිශුලයක් මෙන් තුන් පැත්තකට ඇද කට්ටකුමංජල් සුවඳකුඩු තවරා පොට්ටුවක්ද තබති. පසුව මුට්ටියට එළිකිරිවත්කොට ලිප තබා කපුරුවලින් ගින්වත් කොට පවුලේ අය කිරිමුට්ටිය දෙස බලා සිටින්නේ කිරි උතුරායන විට පොංගල් කියමිනන් පී‍්‍රතිවීමටයි. ඒ අතර මුලින්ම කිරි උතුරාගිය දිසාව බලා ඔවුන් මහත් සැටට පත් වන්නේ සාමය හා සමෘද්ධිය ළඟාවන බවට විශ්වාස කරමිනි. කිරි උතුරවා ගිය පසු අලුත් නොයිදුල් සැළියකට සහල් දමා කිරිබතක් ද උයාගනු ලබන්නේ උක්වගාවෙන් සාදාගන්නා ලද සක්කරද, මුං ඇට හා පොල්කිරි ද වියළි කජු, මිදි, එන්සාල් ද, ගිතෙල් හා එළකිරි ද, පොල්කිරිද එක්කිරීමෙනි. එම කිරිබතේ ප්‍රථම කොටස සූර්යය දිව්‍ය රාජයාට පූජා කරති.

එම කටයුතුවලින් පසුව ගෙමිදුගේ පැදුරු දමා ඒ මත කෙසෙල් කොළ අතුරා කිරිබත් බෙදා කෑමට සූදානම් කරති. කිරිබත් කෑමෙන් පසු දෙවන දිනයේ දී උදාවන්නේ මාට්ටු පොංගල් දිනයයි. මාට්ටු පොංගල් දිනයේ විශේෂය වන්නේ ගොවිතැනට උදව්වූ ගවයන්ට කිරිබත් කැවීමයි. කළගුණ සැලකීම පරපුරෙන් පරපුරට පුහුණු කිරීම එහි අරමුණයි. ඊළඟට උදාවන්නේ තෛයිපොංගල් තෙවන දිනයයි. එය හඳුන්වන්නේ පුන් පොංගල් දිනය ලෙසයි. එදින දැරියන් මල් නෙළාගෙනවිත් මල් මාලා සාදාගෙන ගඟටගොස් ස්නානයකොට මල්මාලා පැලඳගෙන ගං ඉවුරට එකතු වී මිහිරි ගී ගයමින් නටති. හතරවන දිනයේදී මස් මාංශවලින් තොරව බත් පිස ව්‍යාංජන බත්වලට එකතුකර බත් පිඩවල් සාදා කපුටන්ට දීම සිරිතකි. තෛපොංගල් සමරන හින්දු ජනනතාව මෙදින විශේෂ කෙම්ක්‍රමද අනුගමනය කරති. එනම් ඵල හට නොගන්නා ගස්වලට හා මල් හට නොගන්නා මල්ගස්වලට පහරදීමයි. එසේ පහරදෙනු ලබන්නේ ඉන් පසු ඉක්මනින් ගස්වල පල හට ගන්නා හා මල් ගස්වල මල් හටගන්නා බවට ඇති විශ්වාසය නිසා ය.

 

මොනරාගල සිරිගල ආයුර්වේද වෛද්‍ය,

මැණික් නේරංජනා හෙට්ටිආරච්චි

 

සටහන

එස්.එස්.එස්. ප්‍රනාන්දු

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.