ඔබේ චරිතය ගැන කියන කෙස් කළඹ

අප්‍රේල් 1, 2022

ගමන බිමන, දේහ විලාශය වගේම කිසියම් අයකුගේ කේශ කලාපය අනුව ද ඔහුගේ හෝ ඇයගේ චරිත ස්වභාවයන් පැවසිය හැකි බව පැරණි කාලයේ විසූ සෘෂිවරුන් පවසා ඇතැයි අපේ පැරණි පත පොතෙහි සඳහන් කර ඇත. හැම අයකුටම උපතින්ම උරුම වී ඇති හිසකෙස් කෙනකුගෙන් කෙනකුට විවිධාකාර වෙනස්කම් පෙන්වයි. එම වෙනස එක් එක් අයගේ චරිත ලක්ෂණ වෙනස් කිරීමට ද හේතුවක් වෙයි.

මධ්‍යම ප්‍රමාණයෙන් ඝනව, දිගටිව පිහිටා ඇති කොණ්ඩය කාන්තාවකට මහඟු ආභරණයකි. මෙවන් හිසකෙස් පිහිටි ස්ත්‍රිය බොහෝ සැප සම්පත් ලබන අතර තම උත්සාහය තුළින් ජීවිතය ජීවත් කර ගැනීමට ඉමහත් වෙහෙසක් දරයි. ලේඛන කලාව හා මාධ්‍ය අංශවලටද සම්බන්ධවන මොවුන් හොඳ සංකල්පනාවන් බිහි කිරීමට හැකියාවක් පෙන්වයි. ස්ත්‍රියකට තවත් වඩා සුබ පලදෙන ආකාරයේ හිසකෙස්වල පිහිටීමක් වනුයේ මී මැස්සකුගේ පියාපත් මෙන් ඉතා යහපත් වර්ණයෙන් හිසකෙස්වල අග කොටස් වක්‍රාකාරව මදක් නැමුණ ආකාරයෙන් පිහිටා තිබීම වෙයි. මෙසේ වූ විට බොහෝ සැප සම්පත් ලබමින් ඉතා වාසනාවන්ත මිහිරි යුග ජීවිතයක් ගත කිරීමට වාසනාව හිමිවනු ඇත.

ඝනව වැඩුණු කෙස් කළඹ බෙල්ල තෙක් වැටී ඇති කාන්තාව අන්‍යයන් ගැන නොසිතන, කුල සිරිත්, චාරිත්‍රවාරිත්‍ර අනුගමනය නොකරන නවීන විලාසිතාවන් පි‍්‍රය කරන ආත්මාර්ථකාමී ගති පෙන්නුම් කරයි. එකට පැටලුණ අවුල් සහගත අගට යෑමේ දී මහත් වූ හිස කෙස් ඇති ස්ත්‍රිය වාසනාවන්ත නොවේ. පී‍්‍රතිමත් යුග ජීවිතයක් ගත කිරීමට වාසනාව නොමැති ඇයට දුක්බර ජීවිතයක් උරුමවිය හැකි ය. තමන්හට හැසිරවිය නොහැකි කේශ කලාපයක් හිමි කාන්තාව ද අවාසනාවන්තය. හැම මොහොතකම සුළු දෙයකට පවා කෝපවෙන ඇය ලද දෙයින් සතුටු නොවෙන අතර හැමවිටම අසතුටෙන් කල් ගෙවන්නීය. තවද ඇය යුග ජීවිතයට පත්වූ පසුවද තම ස්වාමිපුරුෂයා හා දබර කිරීමට පෙළඹේ. අන්සතු දේවල් ගැන නිතර සෙවිල්ලෙන් පසුවන ඇය අන්‍යයන් අපහසුතාවයට පත්කර සතුටු වන්නියකි.

ඉතා දික්වූ මහත කෙස් ඇති කාන්තාවගේ ස්වාමියා අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්විය හැක. පිරුණු බවින් යුතු හිසකෙස් පිහිටා ඇති කාන්තාව අධික මානයෙන් යුතුවන අතර කාම සල්ලාලයන් හා දිවි ගෙවන්නියකි.

පිරිමියෙක් දෙස බැලීමේ දී ඔහුගේ කෙස් කළඹ කළු පැහැතිව, ඝන වූ මට සිලිටුව ඇත්තේ නම් හේ ශාන්ත වූ, තැන්පත් ගතිගුණ ඇත්තෙකි. ඉක්මනින් කෝප සහගත නොවන තැන්පත් ගතිගුණවලින් පිරුණු මොහු ඉතාමත් ධෛර්යවන්තය. අන්‍යයන්ට කරදරයක් නොවන ලෙස ජීවත්වෙන මොහු මිතු දමක් වුව ද ස්ථිරව පවත්වාගෙන යයි. මිතුරන් අතර ද ජනපි‍්‍රය වේ. මොවුන්ගේ දුර්වලකමක් ලෙස දැක්විය හැක්කේ පටන්ගත් කාර්යයක් අවසානය තෙක් නිම කිරීමට අසමත්වීමය. එබඳුම කෙස් කලඹක් හිමි කාන්තාව ආශාවන් කෙරෙහි වැඩිපුර සිත් යොමු නොකරයි. හැම දෙයක් කෙරෙහිම විමසිල්ලෙන් පසුවන ඇය කාම සේවනයට කැමැත්තක් නොදැක්වුව ද තම සැමියාට වැඩි ආදරයක් දක්වයි. ශක්තිමත් ශරීරයක් නැතිවුව ද මැය දුර්වල තැනැත්තියක් ද නොවේ. හැමවිටම සතුටින් කල් ගෙවන්නීය.

තරමක් කෙට්ටු, පිරුණු බවකින් යුක්ත වූ කෙස් කළඹක් පිහිටීම ස්ති‍්‍රයකට සුබ නොවේ. මහත් ආඩම්බර ගතියකින් යුක්තව ජීවත්වන මෙවැනි ස්ත්‍රීන් දාමරිකයින් හා දරුණු පුද්ගලයින් සමඟ පවා හිතවත්කම් ඇති කර ගනිති. පුරුෂයින් මෙන් මොවුන් ක්‍රියාශීලීය.

කණවැන්දුම් භාවය ඇතිවන ස්ත්‍රීන්ගේ හිසකෙස් පිඟුවන් වර්ණයෙන් යුක්තය. රළුවූ ලෙස ද පිහිටයි. මෙවැනි හිස කෙස් පිහිටි ස්ත්‍රීන් හට යුගදිවි සම්පත් ලැබීම අපහසු ය. විවාහ කීපයක් කරගත්තත් සාර්ථක නොවේ.

හිසකෙස් රැළි ගැසී ඉදිරිය ඉලිප්පි ඇති අය ඉතා දුප්පත් වුවත් උසස් පුද්ගලයන්ගේ ඇසුර ලබා ගනී. අයහපත් මහ දශාවක් හෝ ග්‍රහ බලයක් යෙදී තිබුණොත් තම චරිතය පවා කෙළෙසා ගනී.

ඉතා කාලවර්ණවූ, වකුටු වූද, හිසකෙස් පිරිමියෙක් තුළ පිහිටියේ නම් ඔහු මත්පැන්වලට ඇබ්බැහිවන අතර කල කෝලාහලවලටද ඇලුම් කරයි. රෞද්‍ර ගති පැවතුම්වලින් ඔවුහු අශීලාචාරවූද, තම දියුණුව ගැන ද නොසලකන අය වෙති. රැළි සහිත මෘදු හිසකෙස්වලින් සමන්විත වූ පුද්ගලයා ඉතා බුද්ධිමත්ය. මොවුන් ඉතා ජනපි‍්‍රය ප්‍රසිද්ධ පුද්ගලයන් වේ. කලාවට, විනෝදයට, පිරිසුදුකමට, අලංකාරයට විශේෂ තැනක් දී කටයුතු කරන අතර දේපළ වස්තුව සැප සම්පත් නොමඳව ලබයි. විවාහයෙන් පසුවද ජීවිතය වඩාත් යහපත් වේ.

හිසකෙස් අඩු ස්ත්‍රිය අවාසනාවන්තය. ජීවිතයේ සැනසීමක් ලැබීමට නොහැකි සමාජයේ ද මුළු ගැන්වී සිටින අයෙක් වේ. ඇය දූ දරුවන්ගෙන්ද සැපක් නොලබයි. ඉතා සිහින්ව දණ හිස දක්වා දිගු වරලස හිමි ස්ත්‍රීන්ගේ යුග දිවිය ගැටලු සහගතය. නිතර දුක් කරදරවලට පත්වේ. බොහෝ විට පළමු විවාහය බිඳ වැටීමට ද ඉඩ ඇත. විවාහ ජීවිතයේ දී කරදර රැසකට මුහුණදීමට සිදුවිය හැක.

තලෙළුපාට හිසකෙස් ඇති පුරුෂයෝ දුර්වල ශරීර ඇත්තෝ වෙති. සුචරිතයෙහි යෙදෙමින් ආගම පිළිබඳ මනා පැහැදීමකින් යුතුව දිවිගෙවන මොවුහු සෘජු ගතිගුණවලින් යුක්තය. නමුත් මොවුන්ගේ ආයුෂ කෙටිය. එවැනි හිසකෙස් ඇති කාන්තාවක් යහපත් ශරීර ශක්තියකින් හෙබි අයවන අතර ගරු ප්‍රශංසාවට කැමති අය ද වෙති. කම් සැපයට දැඩි ආශාවක් දක්වන ඇය ඇගේ රූපවර්ණනා කිරීම ගැනද වඩාත් සතුටු වේ. දිගු කල් ජීවත්වීමේ වාසනාවද ඇයට හිමිය.

ඉතා රළු වියළි ස්වභාවයෙන් යුත් කොටට වැඩුණ කෙස් කළඹක් ඇති ස්ත්‍රිය අඥාන බවක් පෙන්නුම් කරන්නීය. උසස් අධ්‍යාපනයක් ලැබුවත් ජන්ම ගති ඉස්මතු වේ. ස්වකීය අනාගත අභිවෘද්ධිය ගැන නොසලකන අතර උපයන හැම ධනයක්ම වියදම් කිරීමට පෙළඹෙති. අනාගතය ගැන නොසිතා කටයුතු කිරීම නිසාම අසරණ තත්ත්වයට පත්වේ. කිසිවකුගේ අවවාද, උපදෙස්වලට ද කන් නොදෙන ඇය හිතුවක්කාර බවක් පෙන්වන්නීය. ඉබි වලිගයක් මෙන් සිහින් තුනී කොණ්ඩයක් ඇති ස්ත්‍රිය ද වාසනාවන්ත නොවේ. උසස් අධ්‍යාපනයට හිමිකමක් නැති ඇය තරුණ වියේදීම අනාථ තත්ත්වයට පත්වේ.

තද කළු පැහැති සෘජු හිසකෙස් හිස පුරා ඝනව වැටුණේ ද එවන් හිසකෙස් හිමි පුරුෂයා උසස් අධ්‍යාපනයක් ලබන අදීන පුද්ගලයෙක් වෙයි. නිදහස පි‍්‍රය කරන ඔවුන් ගුණ ගරුකය. යුක්තිය, සාධාරණය අගය කරන අතර අසාධාරණය ඉදිරියේ කෝපවෙති. ස්වඋත්සාහයෙන්ම නැඟී සිටීමට තරම් දැඩි ආත්ම ශක්තියක් ඔවුන් තුළ ඇත.

හිඹුටානේ පියතිලක ද අල්විස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.