රට රැකියාවකට යන්න පුළුවන්ද? කේන්දරයෙන් බලා ගන්න

අප්‍රේල් 22, 2022

විද්‍යාවේ සහ තාක්ෂණ‍යේ දියුණුවත් සමඟම ලෝක ජනතාව දියුණුවේ දොරකඩටම ළං වී තිබේ. දේශ සීමාවන්ගෙන් වෙන් වූවත් රට රටවල් අතර ඇති අන්තර් සබඳතාවය ළං වී තිබේ. ගුවන් හා නාවික ගමනා ගමනය හේතුකොටගෙන පිටරට යෑමට අවකාශය ද ක්‍රම ක්‍රමයෙන් කඩිනම් වී ඇත. විශේෂයෙන් ම මැද පෙරදිග රැකියාවන් සඳහා අපේ රටේ ශ්‍රමික පිරිස විදේශ ගත වේ. උගත් නූගත් දෙපක්ෂයම පිටවී යෑමට උත්සාහ දරනු ඇත.

විවාහ වී සතියෙන් දෙකෙන් පිට රට රැකියාවකට යෑම ද ප්‍රශ්නකාරී වේ. දෙදෙනා දෙපැත්තක විසීම නිසා පිටරට යෑමට ග්‍රහබලය ඉඩ දේවිද යන්න කේන්දරයෙන් පිරික්සා බලමු. ඒ සඳහා ලග්න 3, 7, 9, 12 මුල්වේ. ශනි ලග්නාධිපති දුර්වල වීම අශුභයින් සමඟ එක්වීම අශුභයින් නක්ෂත්‍රයේ පිහිටීම විදේශ ගතවීමට බාධා කරයි. තුන් වැන්න කෙටි ගමන් ද, නව වැන්න දුර ගමන් ද භාර කරුවන් වේ. 12 වැන්න ද උපකාරක වේ. කටක, තුලා, මකර රාශි උභය ලෙස මිථුන, කන්‍යා, ධනු, මීන පිටරට පමණක් නොව සියලුම විදේශ ගත සංචාරක ගමන්වලට සෘජුව සබඳතා ගොඩ නැගේ.

1, 3, 7, 9, 12 භාවාධිපතීන් චර රාශියක් වී නම් ඒ රාශි ඇසුරෙන් විදේශගතවීමට උපකාරක වේ. 12 වැන්නාධිපති සම රාහු චර රාශිගතවීම හරහා පිටරට යෑමට වරම් ලැබේ. ආලෝක ග්‍රහයා වූ රාහුගෙන් විදේශ ගත වීමට ඉමහත් ශක්තියක් ඇතිවේ. මූල්‍ය කළමනාකරණය ද ධනාත්මක වේ.

තුන්වැන්නටත් නව වැන්නටත් සඳු හා කුජ සම්බන්ධ වීම ග්‍රහයන් දෙදෙනාම චර රාශියක් ඇසුරු කිරීම විදේශ රැකියාවලට බලය ගෙනදේ. රාහු චර රාශි හා සම්බන්ධවීම ද 1, 3,7, 9, 12 යන භාවයක අධිපතීන් සම්බන්ධවීම නිසා පිටරට රැකියා සාර්ථක වේ. ග්‍රහ දෘෂ්ටි සංයෝග හා අශුභ ග්‍රහයන් නැකත් ආදියෙන් එකී භාවාධිපතීන් පීඩා වීම හරහා පිටරට යෑමට නොහැකි වේ.

මෙරටින් පිටරට යන්නේ අතමිට සරු කර ගැනීමයි. මෙරට ආර්ථිකය හොඳ නම් කිසිවෙක් පිට රට නොයනු ඇත. 1948.02.04 දින ලංකාවට නිදහස ලැබීමෙන් එයට මුල් වූ අගමැති ඩී.එස්. සේනානායක මැතිතුමාත් හෙන්රි මුවර් අග්‍රාණ්ඩුකාරතුමාත් නිසා ලංකාව කුම්භ රාශිය වී සෙනසුරු ලග්නාධිපතියා ද විය. උදේ 8.30 අත්සන් කළේ නම් කුම්භය. 10ට අත්සන් කළේ නම් මීනය. ජනතාවගේ අවාසනාවට ලංකාව කුම්භ ලග්න වී ඇති බැව් පෙනේ. හැමදාම ජනතාව දුක් විඳින තැනට පත් වී ඇත. ප්‍රශ්නය කෙසේ වෙතත් ඔබ පිටරට යනවා නම් කේන්දරය පරීක්ෂා කර බැලීම වැදගත්. කායික හා මානසිකව පිටරට දී ඇද වැටේ ද යන්න ගැන කල්තියා දැන යන්න. එසේ වන පිරිස වැඩිය. මා දන්නා පරිදි පිට රට ගොස් විවිධ කායික හා මානසික පීඩනයන්ට ගොදුරු වූ අය දුරකතනයෙන් කතා කරන විට කාරණා පැහැදිලි වේ. පිට රට යන්නට පෙර ඔබේ කේන්දරය පළපුරුදු උගත් ඡ්‍යොතිෂ වේදියෙකුට කියා පරීක්ෂා කර ගන්න.

එවිට ඔබට වැටහේවි පිට රට රැකියාවෙන් ප්‍රයෝජන ලැබේ ද? නැත්නම් ගැටලු ඇතිවේ ද යන්න සමහරු සිතන්නේ පිට රට ගියවිට මෙහිදී තිබෙන අපල අඩුවේවි කියා. එයට කිසිදු ඡ්‍යොතිෂමය සාධකයක් නැත. විවාහ වී සතියෙන් දින පහළොවකින්, මාසයකින් හෝ මාස කීපයකින් පිටරට රැකියාවකට යෑම එතරම් සුබවාදී නොවේ. දෙදෙනාගෙන් එක් අයකු තනි වූ විට දැනෙන මහා හුදකලාව එතරම් යෝග්‍ය නොවේ. යුගදිවියට විශාල ලෙස ලිංගිකමය වෙන්වීමක් නිසා ආසාවන් බලයෙන් යටපත් කරන්නට යෑමෙන් අයථා සබඳතාවලට පෙළඹීමට ඉඩකඩ තිබේ. සියලුම බාහිරව ඇතිවන ගිනි (අග්නි) නිවා දැමිය හැකි වූවත් රාග ගින්න නිවා දැමීම එතරම් පහසු නැත. මේ ගැන වඩාත් සිතිය යුත්තේ සැමියාගේ හෝ බිරිඳගේ කේන්දරයේ 7 වැන්නේ කුජ, ශුක්‍ර, රාහු, රවි සංයෝගය පිහිටා ඇත්නම් පාලනය කළ නොහැකි ආසාවන් යටපත් කර ගැනීම කාමගින්න නිවා ගැනීමට දරන වෑයම ගැනයි. ඇයි මෙහෙම වෙන්නේ යන්නට කල්තබා ප්‍රශ්නයකට විසඳුමක් ලබා ගැනීම අනිවාර්ය වේ. හොඳම ස්ථාවර විසඳුම් කරුවා වන්නේ තමාගේ කේන්දරයයි. පිට රට ගොස් අතට මුදල් ලැබෙන විට කසාදය අවලංගු කාසියක් බවට පත් නොකර ගැනීමට බුද්ධිමත් වීම සුබයි.

 

ප්‍රවීණ ඡ්‍යොතිෂවේදී

දේශබන්ධු

ටී. හෙන්රි බෙම්මුල්ල

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.