ඇතැම් ගැහැනු දරුවන් වැඩිවියට පත්වීම ප්‍රමාද වන්නේ ඇයි?

අප්‍රේල් 29, 2022
සාමාන්‍යයෙන් ගැහැනු දරුවකුගේ වැඩිවිය පැමිණීම ලෙස හඳුන්වනුයේ, ප්‍රථම ආර්තවය සිදුවීම වශයෙන් හඳුන්වා දිය හැකියි. නමුත් මෙය වෛද්‍ය විද්‍යාවට අනූව නම් ඊට හාත්පසින් වෙනස්, සංකීර්ණ ක්‍රියාවලියකි. මෙහිදී, අප සාමාන්‍යයෙන් හඳුනාගන්නා පළමු ආර්තවය යනු සම්පූර්ණ ආර්තව ක්‍රියාවලියේ එක් අවස්ථාවක් වන අතර, එය තවත් ක්‍රියාවලි ගණනාවක් සමඟ බැඳී පවතී.
 
වයස් සීමාවන්වල බලපෑම
 
සාමාන්‍යයෙන් දැරියක් වැඩිවියට පත්වෙතැයි අපේක්ෂා කරන වයස් සීමාව අවුරුදු 12 – 14 දක්වා කාල පරාසයක පවතී. පසුගිය වසර සියයක පමණ කාලය සලකා බැලුවහොත් ලෝකයේ ගැහැනු දරුවන් වැඩිවියට පත්වීමේ වයස ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බව පැහැදිලි කරුණකි. මෙයට හේතුව ලෙස වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ දරුවන්ගේ ආහාර රටාවේ ඇති වූ ප්‍රබල වෙනස්කම් නිසා පෝෂණයේ ඇතිවන වෙනස්කම් හේතුවෙන් මෙවැන්නක් සිදුවී ඇති බවයි. අධිපෝෂණයෙන් යුතු සකස් කළ ආහාර පාන හා කුකුල් මස් වලින් ද, කෘත්‍රිම වර්ධක හෝමෝන භාවිතයෙන්,වෙළඳපොළට එන ආහාර බහුලව ආහරයට ගැනීම මීට එක් හේතුවකි.
 
ශරීරයේ සිදුවන වෙනස්වීම්
 
වැඩිවියට පත්වීමේදී දැරියකගේ ශරීරය විවිධ වෙනස්කම් රැසකට භාජනය වෙයි. මේ නිසා මෙය එක් අතකින් සංක්‍රාන්ති සමයක් ලෙස ද හඳුන්වා දිය හැකිය. මුල් අවස්ථාවේ දරුවාගේ උස වැඩිවීම සිදුවන අතර ඒ සමඟම පියයුරු වර්ධනය, ලිංගික ප්‍රදේශ ආශ්‍රිතව හා අත්යට රෝම වර්ධනය, ශරීරය මනාව පිරුණු ස්වභාවයක් ගැනීම ද සිදුවේ. මෙහි අවසාන ප්‍රතිඵලය ලෙස ආර්තවය (මාසික ඔසප්වීම) සිදුවේ. දැරියකට සිදුවන මෙම පළමු “ රුධිරය පිටවීම ” ගැමි සමාජය විසින් වැඩිවියට පත්වීම ලෙස හඳුන්වයි.
 
වැඩිවිය පැමිණීම ප්‍රමාද කරවන හේතු
 
සමහර දැරියන් කිසිදු රෝගාබාධයක් නොමැතිව, ස්වාභාවිකව අන් දැරියන්ට වඩා මඳක් පසු වී වැඩිවියට පත්වනු දැකිය හැකිය. සාමාන්‍යයෙන් එම දැරියගේ මව, සහෝදරිය ආදී වශයෙන් වූ පවුලේ සමීප ඥාතීන් වැඩිවියට පත්ව ඇත්තේ තරමක් ප්‍රමාද වී නම් බොහෝ විට එවැනි ගැහැනු දරුවන් ද තරමක් ප්‍රමාද වී වැඩිවියට පැමිණීම සිදුවීම දැක ගත හැකියි. මෙහිදී සඳහන් කළ යුතු විශේෂිත කාරණය වන්නේ දරුවාගේ සිරුරේ පියයුරු වර්ධනය, රෝම වර්ධනය, උස යෑම නිසිලෙස සිදුවේ නම් වයස අවුරුදු 16 පමණ වනතෙක් ආර්තවය ප්‍රමාද වීම ගැන එතරම් කලබල වීම අවශ්‍ය නොවන බවයි.
හෝමෝන
අසමතුලිතතාවය
දැරියක් වැඩිවියට පත් වීමට ශරීරයේ යම්කිසි ප්‍රශස්ත බරක් තිබීම ඉතා වැදගත් වේ. නමුත් යම්කිසි දරුවකු බෙහෙවින් කෙට්ටු නම්, එසේම ක්‍රීඩාවල නිතර යෙදෙනවා නම් එවැනි දැරියන්ගේ ද පළමු ආර්තවය මඳක් ප්‍රමාද වීම සුලබව සිදුවිය හැකිය. එමෙන්ම දැරියකගේ වැඩිවිය පැමිණීමට හයිපොතැලමස, පිටියුටරි ග්‍රන්ථිය, ඩිම්බකෝෂ යන අවයවයන්ගෙන් ස්‍රාවය වන හෝර්මෝන අතිශයින් වැදගත් වේ. මෙම හෝර්මෝනවල යම්කිසි අසමතුලිතතාවක් පැවතීම ද දැරියකගේ වැඩිවිය ප්‍රමාද වීමට බලපායි. ඊට අමතරව කාන්තා ප්‍රජනක පද්ධතියේ පවතින අසාමාන්‍යතා හා සංකූලතා නිසාත්, පළමු ආර්තවය සිදුවීම ප්‍රමාද වීමට ඉඩ ඇත. එමෙන්ම සමහර රෝගාබාධ එනම්, අධික ස්ථූලතාව, දියවැඩියාව, තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත රෝග තත්ත්ව සහ ශරීරයේ පවතින වෙනත් රෝගී තත්ත්ව ද දරුවකු වැඩිවියට පත්වීම ප්‍රමාද කළ හැකි සාධක වේ.
 
වෛද්‍ය උපදෙස් ලැබිය යුතු අවස්ථා
 
මේ සාධක හැරුණු විට බොහෝ දැරියන් වැඩිවියට පත්වීම ප්‍රමාද වීමට තහවුරු කරගත නොහැකි හේතු සාධක ද බලපෑ හැකිය. හඳුනා නොගත්, මඳක් අසාමාන්‍ය මෙවැනි තත්ත්වයන් වලදී සමවයසේ අනිකුත් ගැහැනු දරුවන් වැඩිවියට පත්වී තමා පමණක් වැඩිවියට පත් නොවීම පිළිබඳව දැරියක තුළ විශාල මානසික කම්පනයක් ඇති කළ හැකි වේ. එනිසා මෙවැනි පසුබිමක් තුළ සිටින දරුවන්ට මවුපියන්ගේ නොමඳ අවධානය හා සහාය නිරතුරුවම අවශ්‍ය වනු ඇත.
දියණියට වඩාත් සමීප වී කටයුතු කිරීම මෙන්ම අවබෝධයෙන් මේ අවධියේදී කටයුතු කිරීම අතිශයින් වැදගත් වේ. මේ කරුණු සියල්ල සැලකිල්ලට ගනිමින් දැරියක වයස අවුරුදු 14ක් පමණ පසුවීත් වැඩිවිය පැමිණීම සිදුවී නැත්නම් හෝ එම දැරිය වැඩිවිය පැමිණීම මේ කාලවකවානුව තුළ සිදු නොවන බවක් පෙනී යනවා නම් ප්‍රසව හා නාරිවේදය පිළිබඳ වෛද්‍යවරයකු හමුවීමෙන් ඒ පිළිබඳ ඊට බලපාන හේතු සහ ඒ සඳහා කළහැකි පිළියම් ගැන සාකච්ඡා කර අවශ්‍ය ප්‍රතිකාර ලබාගත හැකියි.
 
(ඩ්ඥපචතඤ ර්‍ණජ් ඩ්ඥචතබඩ ඇසුරිණි)     කීර්ති එස්. කුමාර
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.