කඳසුරිඳුට හරියටම පූජාව තියන්නේ ‍මෙහෙමයි

අප්‍රේල් 29, 2022

ලෝකවාසී බැතිමතුන්ගේ සර්ව ආගමික කේන්ද්‍රස්ථානයක් වු රුහුණු මහා කතරගම දේවාලය මුල් කරගෙන බෞද්ධ හින්දු බැතිමතුන් කතරගමට පැමිණ දෙවියන්ගේ ආශීර්වාදය ප්‍රාර්ථනා කරගනු ලබයි.

කතරගම දෙවියන් යනු යුද්ධයට අධිපති දෙවි‍යෙකි. සිංහල යාතිකාවල සඳහන් වන පරිදි ,‘මේ ශ්‍රී ලංකාද්වීපයට යහතින් බැල්ම දිවැස් හෙළන මුහුණු සයක් මවාගෙන මුහුණු සයට සමාන වු අත් දොළොසක් මවාගෙන රන මයුර වාහනය පිට නැගී තාරකා සුර අසුර සංහාරයක් කර දේව සේනාධිපති පදවියක් දරා ගෙන රුහුණු මහා කතරගම දේවාලයට බැල්ම දිවැස් හෙළන මහේ ශාක්‍ය කතරගම දෙවි හාමුදුරුවනේ‘යනුවෙන් දෙවියන් වෙනුවෙන් පුද පුජා තබන පිරිස් කතරගම දෙවියන් ආමන්ත්‍රණය කරති.

නිවැරදිව දෙවියන්ට පූජා පවත්වමු

කතරගම යන එන බැතිමතුන් දේවාලයක් වෙත ගොස් තබන පලතුරු පුජාවන් තුළ තැබීය යුතු පලතුරු මොනවා දැ යි කියා දන්නේ ඉතාම සුඑ පිරිසකි. කතරගම දෙවියන්ට තබන පුජා සම්බන්ධවයි මෙම සටහන.

පලතුරු පුජාවේ, සෙත් පුජාවේ පලතුරු වෙන් වශයෙන් ද වස් පුජාවේ පලතුරු වෙන් වශයෙන් ද හඳුන්වයි. පලතුරු යනු තුරේ පලයි. හෙවත් ගහේ ගෙඩියයි. එවිට වැලේ පල හෝ පඳුරේ පලතුරු නොවේ.

මෙහි දී සෙත් සඳහා සෙත් පුජා පලතුරු තෝරා ගත යුතුවේ. අවැඩ සඳහා වස් පුජා පලතුරු තෝරාගත යුතුය. නාමාවලියේ සඳහන් වන්නේ මදුල සහිත පලතුරු පිදීම වඩා වැදගත් බවයි. නොඑසේ නම් ඒ තැන ගඩාදෙහි වලට දීමේ වරදක් නොමැති බව ග්‍රන්ථ වල සඳහන්වේ.

සෙත් පුජාවේ පලතුරු

වැළ වරකා, වැලි අනෝදා, කටු අනෝදා, දුරියන්, සැපතිල්ලා, බෙලි, අඹ, දෙළුම්, ගිරිතිල්ල, පේර,වෙරළු, උගුරැස්ස, කරඹ, ජමනාරං, පැණි දොඩම්, ජම්බු, කජු පුහුලන්, වීරපලු, මොර, කිරල, මැංගුස්

වස් පුජාවේ පලතුරු

සිදරන්, දිවුල්, ඇඹුල් පේර, නාරං, අන්නාසි, කාමරංගා, රඹුටන්, කිරිල්ල, යකිනාරන්, රඹුටන්, පැපොල්, ඇඹිල්ල, ගල් අන්නාසි, ජම්බෝල, ඇඹුල් පේර, ඇඹුල් දොඩම් වේ.

සෙත් පුජාව සඳහා ගන්නා කෙසෙල් වර්ග

රත් කෙසෙල්,සුදු කෙසෙල්, කෝලිකුට්ටු, ඇඹුල් ,හොඬරවාලු, සුවදැල් ,ඇම්බුම් ආනමාලු ,සීනි කෙසෙල්ය.

වස් පුජාව සඳහා ගන්නා කෙසෙල් වර්ග

ඇට කෙසෙල්, ඇටී කෙසෙල්, අලු කෙසෙල්ය.

දේව පුජා සඳහා පැනි කොමඩු, සීනි කැකිරි, වැනි දේ ද තබනු ලබයි. ඒවා එළවළු ගණයට අයත් වේ. එමෙන්ම අන්නාසි තැබීම නිතර සිදු වුවත් ඒ පුජාවෙන් සෙතක් නොවේ. සුනියම් කැපීමට ගන්නා ද්‍රව්‍ය අතර අහු,අන්නාසි, ජම්බෝල, සිදරන්, කාමරංගා, පුහුල් මුලිකත්වයක් ගනු ලබන ද්‍රව්‍යයන්වේ.

දෙවියන්ගේ පුජාව සඳහා අවශ්‍ය දේවල්

සෙත් පලතුරු වර්ග 07ක්, තැඹිලි ගෙඩි 01ක්, පොල් ගෙඩි 01, උක් ගස් කැබැල්ලක්, කෙසෙල් ඇවරියක්,කපුරු, බුලත්,හඳුන්කූරු,සුවඳ හමන ස්වාභාවික මල් මාලයක්, පිරිසිදු පොල් තෙල්,දෙවියන්ගේ පුජාව සඳහා අවශ්‍ය ද්‍රව්‍යයන් වේ.

කතරගම දෙවියන් හා බැඳුණු දේවාල

කතරගම දෙවියන් සිව දෙවියන්ගේ හා පාර්වති දෙවඟනගේ පුතකු වන අතර නුවණට අධිපති ගණ ‍දෙවියන්ගේ සහෝදරයා ලෙස දේව පුරාණයේ සඳහන් වේ.

මෙයට වසර 10000කට පමණ පෙර ලොව සිදු වු දරුණුම යුද්ධය සුර අසුර යුද්ධය ලෙස දේව පුරාණයේ සඳහන් වේ. අසුරයින් පැරදවීම පිණිස දෙවියන්ගේ ප්‍රධානියා වු ශිව දෙවියන් මහා විෂ්ණු දෙවියන් එක් ව සුබ්‍රමනියම් දෙවියන් (කතරගම දෙවියන්) ඕප පාතිකව ඉන්දියාවේ මදුරාසි දිස්ත්‍රික්කයේ පිහිටි සරවනපේයිහෝ විල (සරවනවිල) තුළ උප්පත්තිය ලැබු බව කතරගම දෙවියන් ගැන කියැවෙන කථාවන් හි සඳහන් වේ.

තාරක,ගජමුඛ, සිංහමුඛ, යන අසුරයන් නසා දෙවියන් අතර යුද සේනාධිති ලෙස පත් වූ කතරගම දෙවියන් නම් රැසකින් හඳුන්වයි.

ස්කන්ද, සුබ්‍රමනියම්, කර්තිකේය, මුරුගා, කන්දේ යකා, කන්දස්වාමි, යන විවිධ වු නම් වලින් හඳුන්වන කතරගම දෙවියන් සතු ප්‍රධානම දේවාල 07ක් මෙරට පිහිටා තිබේ. ලක්දිව පිහිටි ප්‍රධානම දේවාලය වන්නේ රුහුණු මහා කතරගම දේවාලයයි.

කතරගම දෙවියන් උප්පත්තිය ලැබුවේ කුජ දින (අගහරුවාදා) දෙනත නැකතින්ය. ලේ හදිසි අනතුරු වැනි දේවල් සිදු කරන මෙම කුජ ග්‍රහයාගෙන් උප්පත්තිය ලැබු ස්කන්ද කුමාරයා වෙනුවෙන් පුඳ පුජා තබන කෙම්මුර දෙකකි. ඉන් ප්‍රධාන දිනය වන්නේ කුජ (අඟහරුවාදා) දිනයයි. අනිත් දිනය වන්නේ සිකුරාදා දිනයයි. යුද්ධයට අධිපති දෙවියන්ගේ පාට (වර්ණය) වන්නේ රතු පාටවේ.

අප රටේ ජනයා බුදුන් පළමු කොට ගෙන දෙවනුව වැඳුම් පිදුම් සිදු කරන දෙවියන් වන්නේ කතරගම දෙවියන් වේ. කුඹුරක ගොයම පාගා බුදුන් වෙත පුජා කර කතරගම දෙවියන් වෙත අලුත් සහල් වෙන් කර තබන ගොවි ජනයා එය කතරගම දේවාලයට රැගෙනවිත් දෙවියන්ට පුජා කරති.

ගොවිපොළක අලුත් එළවලු පලතුරු හටගත් විට කතරගම දෙවියන්ට පලතුරු කඩා ගෙනවිත් පුද පුජා තබයි.

අලුතින් රථ වාහනයක් ගත් විට දී රථයේ ප්‍රථම ගමන වන්නේ කතරගමයි. පොල් මලක් රථයේ ඉදිරියේ ගසා ගෙන විත් කතරගම දේවාලයේ දී පඬුරු ගැටගසා ආශීර්වාදය ප්‍රර්ථනා කර ගැනීම සිදුවේ.

මෙයට අමතරව රෝගී වු අවස්ථාවක දී අනතුරක් වු විට දී මුලින්ම සිහිකරන දෙවියන් වන්නේ කතරගම දෙවියන් වේ.

කතරගම දෙවියන් වල්ලිමාතාව සමඟ විවාහ වීම පිණිස මෙයට වසර 2000කට වැඩි කාලයක දී රුහුණට පැමිණි විට දී දුටුගැමුණු මහා රජතුමා හමුවීමේ සංකේතයක් ලෙස කතරගම දේවාලය ඉදිවිය.

රජතුමා කතරගම දෙවියන් හමුවේ ඉටු කළ යුතු බාරයක් විය. එළාර රජු පරදවා යුද්ධය දිනවා දෙන ලෙස කරන ලද අරමුණ ඉටු වීමෙන් පසුව අද පවතින කතරගම මහා දේවාලය ඉදි කර ඉරහඳ පවතිනා තුරා කතරගම දෙවියන් වෙනුවෙන් පුජා වාර 03ක් දෛනිකව සිදු කිරීම පිණිස රජුට අයත් නින්දගම් ගොඩමඩ, ඉඩම් අක්කර 95000ක් පුජා කිරීම සිදුවිය.

එදා සිට දේවාලයේ පුඳ පුජාවන් සිදු කිරීම පිණිස උසස් කුලවලින් පැවත එන කපු පිරිසක් ද රාජකාරි ඉටු කිරීමට 552ක් නිල පංගු ප්‍රවේණි පංගු වශයෙන් වෙන් කළ පිරිසක් ද පත් කර කතරගම දේවාලයේ පුද පුජා පවත් වන ලෙස රජතුමා රාජ්‍ය අණක් නිකුත් කරන ලදී. එදා සිට අද දක්වා කතරගම දේවාලයේ පුද පුජා අඛණ්ඩව පවත්වා ගෙන යනු ලබයි.

මෙයට අමතරව ලංකාවේ රජවරුන් විසින් ඉදි කළ දේවාල රැසක් ද පවති.

 

කතරගම දෙවියන්ට අයත් ප්‍රාදේශීය දේවාල

1. බදුල්ල කතරගම දේවාලය

2. කොටබෝව දේවාලය

3. අලුත් නුවර කතරගම දේවාලය

4. ඇම්බැක්ක කතරගම දේවාලය

5. මහනුවර කතරගම දේවාලය

6. වතුගාගොඩ කතරගම දේවාල

7. කෑගල්ල කතරගම දේවාලය

8. පානම ඔකඳ කතරගම දේවාලය

මෙයට අමතරව වසර සිය ගණනාවක අතීතයකට උරුමකම් කියා පාන කතරගම දෙවියන් පුදනු ලබන ප්‍රධාන දේවාල (කෝවිල්) 06 ක් ඉන්දියාවේ ද පිහිටා තිබේ.

ඉන්දියාවට යනවා නම් ඔබ යායුතුම දේවාල

තිරුතන්නී

මෙම කෝවිල විශේෂ ගල්වලින් නිමවා ඇති අපූරු ස්ථානයකි. කඳ කුමරුන් වල්ලි දෙවඟන ලක්බිමෙන් භාරත දේශයට රැගෙන ගොස් කඳ කුමරුන්ගේ ඥාතීන්ට අලුත් ශී‍්‍ර ලාංකීය බිරිය පෙන් වු ස්ථානය ලෙස මෙම තිරුතන්නී කෝවිල හැඳින්වේ.මෙම ස්ථානයේ ද දෛනිකව පූජා 3ක් පැවැත් වේ.

තිරිචන්දූර්

මෙම කෝවිල ඉන්දියාවේ තූත්තුක්කුඩි පළාතේ තිරුත්තන්දූර් නගරයේ මුහුද අසල පිහිටි කෝවිලකි. කඳ කුමරුන්ගේ ඉන්දීය බිරිය තේවානි අම්මා විවාහ කරගත් ස්ථානය ලෙස මෙම ස්ථානය හින්දුන් අදහන අතර මෙම ස්ථානය ද වැද පුදා ගැනීමට බොහෝ පිරිසක් නිතර පැමිණිම සිදුවේ.

කදිරමලේ කන්ද

මෙම කෝවිල ඉන්දියාවේ මාදුරේ පිහිටා ඇත. උස් කඳු මුදුනක පිහිටි මෙම කෝවිල කඳ කුමරුන් වෙනුවෙන් පිහිටි පුදබිමකි. මුනිවරුන් (සාමිවරුන්) 18 දෙනා අතරින් එක් අයෙක් කඳ කුමරුවන් දර්ශනය වේවා යැයි පතමින් උපවාසයක් සිදු කරනු ලැබූහ. ස්කන්ධ ශක්ති උපවාසය ලෙස මෙය හැඳීන්වේ. පුරා දින 21ක් ගිය පසුව කඳ කුමරුන් මෙම මුනිවරයාට දර්ශනය වූ බව කියවේ. එම නිසා මෙම කදිරමලේ කන්ද කතරගම දෙවියන් වෙනුවෙන් පිහිටි ප්‍රධාන කෝවිලක් ලෙස ජනයා පුද පූජා කරමින් දෙවියන්ට ගෞරව පූජා සිදු කරති.

ස්වාමි මලේ කෝවිල

මෙම කෝවිල ලොව ඇති සිද්ධස්ථාන අතරින් විශේෂයක් ගනු ලබයි. යන්ත්‍ර මන්ත්‍ර හා දේව ස්තෝත්‍රවල දී මුලින් භාවිතා කරනු ලබන ඕම්(π) පූජා මන්ත්‍රය සම්බන්ධව කිසිවෙක් දැන නොසිටියහ. මේ සම්බන්ධව ඇති රහස දැන සිටියේ කුඩා ස්කන්ධ කුමරු පමණි. මේ බව දැනගත් ශිව දෙවියන් තම පුත්‍රයාගෙන් මෙම ඕම් කාරයේ සත්‍ය ගැන අසන ලදී. එවිට මෙම රහස මා කිසිවකුට නොකියන බැවින් තම පියාට පමණක් මෙම රහස පැවසීමට හැකි බව පවසා ශිව දෙවියන්ගේ කනට මුමුණා ඕම් කාරයේ රහස පවසන්නට විය. මෙම ඕම් කාරය ආරම්භ වු ස්ථානය ලෙස ස්වාමිමලේ කෝවිල හැඳීන්වේ.

පලනි මලේ

මෙම කෝවිල ද ඉන්දියාවේ ඇති කතරගම දෙවියන්ට අයත් ප්‍රධාන පුදබිමකි. නාරද ඉසිවරයා අඹ ගෙඩියක් ගෙන ස්කන්ධ කුමරුන්ට හා ගණදෙවියන්ට ප්‍රධානය කරනු ලැබීය. මෙම එක් අඹ ගෙඩිය බෙදා ගැනීම සඳහා ස්කන්ධ කුමරු හා ගණදෙවියන් අතර රංඩුවක් සිදුවිය. පසුව මෙම සිද්ධිය පාර්වති මව වෙත දැන්වීය. තම පුතුන් දෙදෙනාගේ මෙම අර්බුදය විසඳීම සඳහා ශිව දෙවියන්ගේ උපදෙස් මත පාර්වති දේවිය උපායක් යොදනු ලැබීය. තම පුතුන් දෙදෙනා කැඳවා මෙම අඹ ගෙඩිය ලබා ගැනීමට නම් ලෝකය වටේ ගොස් ඉක්මනින් පැමිණෙන අයට මෙම අඹ ගෙඩිය ලබා දෙන බව දන්වනු ලැබීය. ස්කන්ධ කුමරු තම මොනර වාහනේ පිට නැඟී ලොව වටා යෑමට පිටත් විය.

නුවණින් අධිපති ගණදෙවියන් මේ ලෝකයේ ඇති එකම සම්පත තම දෙමවුපියන් බව වටහා ගෙන තම දෙමවුපියන් වටා රවුමක් ගොස් ජයග්‍රහණය කරනු ලැබීය. ඒ අනුව ගණදෙවියන්ට අඹ ගෙඩිය හිමිවිය.

තරගයට එක් ව ලොව වටා ගොස් මහන්සි වී පැමිණි කඳ කුමරුට දැක ගැනීමට හැකි වූයේ අඹ ගෙඩිය කමින් සිටි තම සොහොයුරාය. මේ පිළිබඳව දුකක් දැනුණු ස්කන්ධ කුමරු සිය ඇඳුම් ඉවත් කර අමුඩයක් ගසාගෙන පලනි මලේ කන්දට ගොස් උපවාසයේ යෙදෙන ලදී. ආහාර ගැනීමෙන් තොරව උපවාසයේ යෙදෙමින් ශරිරයට දුක්දෙමින් ස්කන්ධ කුමරු පලනි මලේ කන්දේ පුරා සතියක් උපවාසයේ යෙදිණි. ස්කන්ධ ශක්ති උපවාසය ආරම්භ වු ස්ථානය ලෙස ද මෙම කෝවිල හැඳීන්වේ. මෙයට අමතරව ස්කන්ධ කුමරු වෙනුවෙන් නටන කාවඩි නැටුම ආරම්භ වුයේ මෙම පලනි කන්දේ සිට බව ඉන්දියානුවන් සඳහන් කරයි.

සරවන පෙයිහේ (සරවන විල)

ස්කන්ධ කුමරුවන් උපත ලද සරවන විල මෙහි පිහිටා තිබේ. ඉන්දියාවේ මදුරෙයි දිස්ත්‍රික්කයේ තිරිපුරකුන්ඩම් නගරයේ මෙම විල පිහිටා ඇත. අක්කර 52ක විශාල ගල් පර්වතයක් අසල මෙම විල පවතී. මෙම විල කඳ කුමරුවන් උපත ලැබු සරවනවිල ලෙස භාරත ජනයා හඳුන්වයි. වසර 7500ක් තරම් පැරණි පූජනීය ස්ථානයක් බවට ඒ රට පුරාවිද්‍යා ආයතන මෙම ස්ථානය සම්බන්ධව කරන ලද පරික්ෂණවලින් අනාවරණය කර ගෙන තිබේ. පැරණි පූජනීය ස්ථානයක් බවට හඳුන්වන මෙම ගල් තලාවේ යට ස්කන්ධ කුමරුන්ට අයත් කෝවිල පිහිටා ඇති අතර මෙහි යන අය මෙම විලේ දිය නා ගෙන ගල්ලෙන තුළ ඇති කඳකුමරුන්ගේ කුඩා කල ප්‍රතිමා ඇති කෝවිල වැඳ පුදා ගනිති. කතරගම කඳ කුමරුවන් ලොව සිටින ජනයාගෙන් විශාල ප්‍රමාණයක් අදහන දෙවියකු වීම නිසා ලොව විවිධ රටවල කතරගම දෙවියන් නමින් දේවාල කෝවිල් රැසක් පවති.

කේ. ඩී. දේවප්‍රිය

කතරගම සුනියම් ගම්භාර දේවාලය

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.