නිතර ඇතිවන හිසරදය

අප්‍රේල් 29, 2022

මෙරට බහුලව ඇතිවන හිසරදය හේතු රැසක් නිසා හටගනී. වාතය, පිත සහ සෙම යන තුන්දොස් වෙන් වෙන්ව හෝ තුනම එකතු වී කෝපවීම නිසාත්, රක්තජ (ලේ කෝපවීම නිසා) ක්‍රිමිජ (කුඩා ජීවීන් නිසාත්) හිසරදය හටගනී. තවද සූර්යයා වර්ත (ඉරුවාරදය) අනන්තවාත, අර්ධාවභෙදක සහ ශංඛක යනුවෙන් ද හිසරදය ඇතිවන රෝග දැක්වේ.

වාතයෙන් ඇතිවන හිසරදය රාත්‍රියට වැඩිවේ. හිස වටා වෙළුමක් දැමීමෙන් හෝ තැවීමෙන් වේදනාව අඩුවේ. පිතෙන් ඇතිවන විට, හිසේ දැවිල්ල, හිසෙන් දුම් පිට වන්නාක් වැනි බව, හටගනී. සෙම නිසා ඇතිවන විට, හිසේ සහ උගුරේ සෙම පිරීම, ශීතල දැනීම, ඇස් යට ඉදිමීම, හිසේ බර බව, හිස සෙලවීම අපහසු වීම යන ලක්ෂණ හටගනී. තුන්දොස් කෝපවීමෙන් ඇතිවන හිසරදය එම දොස්වලට අයත් ලක්ෂණ මිශ්‍රවීමක් පෙන්නුම් කරයි. පිතෙන් ඇතිවන ලක්ෂණ සහ ස්පර්ශ අසහත්වය (තද කළ විට ඇතිවන වේදනාව - බඥදඤඥපදඥඵඵ) හටගනී.

රක්තජ හෙවත් ලේ කෝපවීම නිසා ක්ෂයජ හිසරදය පුද්ගලයාගේ ලේ වසා, සෙම සහ වාතය අඩු වී හටගනී. මෙහිදී වේදනාව දැඩිය. තැවීම, වමනය, ධූම පානය නස්‍ය කර්ම සහ ලේ හැරීම, යෙදීමෙන් වැඩිවේ. කුඩා ජීවීන් නිසා ඇතිවන කෘමිජ හිසරදය ඉඳිකටුවකින් හෝ කෘමීන් විදින්නාක් වැනි වේදනාව, සැරවා සහිත ලේ නාසයෙන් පිටවීම, යන ලක්ෂණ හටගනී. සූර්යයා වර්ත රෝගයේ දී ඇහිබැමට ඉහළින් වේදනාව හටගනී. හිරු උදාව සමඟ ඇතිවී වැඩිවී හිරු බැසයාම සමඟ අඩුවේ. සිසිල් ප්‍රතිකාර මෙන්ම උණුසුම නිසාද අඩුවේ.

අනතවාත රෝගයේ දී තුන්දොස් කෝප වී ගෙල දෙපස සහ උගුරේ ද තදබල වේදනාව හටගනී. දෙකපොල, සහ ඇස්වල වේදනාව සහ දෑලවර ගැස්ම හටගනී. අර්ධාවභේදක හිසරදය (ර්ඪඨපචඪදඥ) රූක්ෂ ආහාර, කෑ පිට කෑම, නැඟෙනහිරින් හමන සුළඟ, අධික කාමසේවනයේ යෙදීම, මල මුත්‍රාදිය පිට කිරීම අවශ්‍ය වූ විට එසේ නොකිරීම, අධිකව ව්‍යායාම කිරීම, නිසා වාතය කිපී, සෙම සහිතව හිසේ අර්ධයක වේදනාව ඇති කරයි. බෙල්ල දෙපස, ඇහිබැම, හකු, කන, ඇස්, නළල යන තැන්වල අධික, ශාස්ත්‍රයකින් කපන්නාක් වැනි හෝ ගිනිගන්නාක් වැනි තදබල වේදනාව හටගනී. ශංඛක වර්ගයේ දී හකුවල තිව්‍ර වේදනාව දැවිල්ල, රතුවන් ඉදිමුමක් වහා ඇතිවේ. හිස ද ගෙල ද තදින් පීඩාකර රෝගියා තෙදිනකින් මියයයි.

හිසරදයට හේතුවන කරුණු කෙරෙහි අවධානය යොමු කිරීමෙන් නස්‍යකර්ම, විරේචන කර්ම, අභ්‍යංග ශිරෝධාරා, ශිරොවස්ති, ධූමපාන වමනකර්ම යනාදී ප්‍රතිකාර යෙදේ. සෙම අධිකව පිට නොවන විට, තෙල්, කොළ ඉස්ම චූර්ණ (කුඩු) යනාදිය යොදමින් නස්‍ය කර්ම යෙදේ. සාමාන්‍යයෙන් උදේ හිස්බඩ නස්‍යය යෙදේ. පළපුරුද්ද ඇති වෛද්‍යවරයකු විසින් නොකළහොත් මෙහිදී අතුරු ආබාධ හටගත හැකිය.

අභ්‍යංග යනු හිසේ තෙල් ගල්වා හොඳින් මසාජ් කිරීමයි. මෙහිදී ත්‍රිඵලා, නිර්ගුණ්ඩී, මහා නාරායනය, පීනස් තෙල් වැනි සුදුසු තෙලක් යෙදේ. උදය වරුවේ පමණක් මෙම ප්‍රතිකාරය යෙදේ. කලක් පවතින හිසරදයට ශිරොධාරා ප්‍රතිකාරය ඉතා සාර්ථකව යෙදේ. තෙල් බෝතලයක් ගෙන මද උණුසුම්ව හිසට වත්කරමින් පිරිමැදීම දින 1 - 7 ක් සිදුකෙරේ. රෝගියා ගේ මොළයේ අර්බුදයක් (බභථධභප / ජචදජඥප) නොමැති බව මෙහිදී නිශ්චය කරගත යුතුය. ඇතැම් අර්බුද වහා ශල්‍යකර්ම කළ යුතු ඒවා වන හෙයිනි. ශිරෝධාරා ප්‍රතිකාරය ද උදේ වරුවේ කළ යුතු ය. ශිරොවස්ති යනු සම් තොප්පියක් හිසට සවිකර ඒ තුළට තෙල් දමා තැබීමයි. මෙයද දින 1 - 7 ක් යෙදේ. තදින් හිසරදය ඇති විට සුවඳකොට්ටම්, වියළි ඉඟුරු, සුදු හඳුන් කුඩු කර තනන ලද ආලේප නළලට යෙදේ. ඔසු වර්ග ගිනි කබලකට දමා දුම් ඇල්ලීම ද, ඔසු දුම්වැටි පානය කිරීම ද සෙම බුරුල්කිරීමට සමත් වේ. වමනකර්ම කිරීමෙන් ද තදබල සෙම ඇති රෝගීන්ගේ සෙම් ඉවත් කෙරේ. ඉතා කෘශ, දුර්වල රෝගීන්ට වෘංහණය කිරීම සඳහා අමුක්කරා අල, කිරිබදු අල, චවනප්‍රාශාව ලේහය, කුෂ්මාණ්ඩ රසායනය, අශ්වගන්ධ ලේහය වැනි ධාතු පෝෂක රසායන ඖෂධ යෙදේ.

 

විශේෂඥ ආයුර්වේද වෛද්‍ය

ලක්ෂ්මී සේනාරත්න

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.