නියපොත්තෙන් කියැවෙන චරිත කතා

මැයි 6, 2022

 

“නිය පොත්තෙන් කඩන්න තිබුණ වැඩේ පොරවෙන් කපන්න බලා ඉන්න එපා.” යන කියමන අපේ ජන සමායේ බෙහෙවින් ප්‍රචලිත වූවක්. එහි නියපොත්ත සුළු දෙයකි. “ඒක මං නිය පොත්තෙන් උඩට ගන්නෙ නෑ” එතැන නියපොත්ත පහළමය. සුළු දෙයක්, පහළ දෙයක් ලෙස සලකන නියපොත්ත ඔබ ගැන බොහෝ දෑ කියන බව ඔබ දන්නවා ද?

අත් පාවල ඇඟිලි කෙළවර දක්නට ලැබෙන නිරතුරු වැඩෙන නියපොත්ත ජීවිත කාලය පුරාම වැඩෙයි. නියපොත්තේ මුල කොටස තබා මුල - නිය මුල සමෙන් වැසී ඇත. සෞඛ්‍යමය වශයෙන් නියපොතු ඉතා පිරිසුදුව තිබිය යුතු ය. නියපොතු තුළ කුණු ඉක්මණින් බැඳෙන අතර ඒවා පිරිසුදු කර ගැනීම වැදගත් ය. නොඑසේ නම් ආහාර ගැනීමේ දී එම විෂබීජ ශරීරගතව නන්විධ රෝග හට ගනී.

වනිතා පක්ෂය නියපොතු ගැන වඩාත් සැලකිලිමත් වෙති. විවිධ වර්ණ කරමින් විවිධ හැඩයට නියපොතු කපති. උල් කරති. දික් කරති.

අපේ දේශීය වෛද්‍යවරු රෝගියා පරීක්ෂා කරන විට නියපොතු ද පරීක්ෂා කරයි. ඒ ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙයි. නිදසුන් ලෙස නියපොතු කහ පැහැ නම් අපේ වෙද මහතා සෙංගමාල රෝගයේ ලක්ෂණයක් සේ දකියි. පරම්පරාගත රෝග නියපොත්තේ ස්වභාවය මත දැන ගනියි. දේහ ලක්ෂණ ශාස්ත්‍රඥයකු ඒ ඒ පුද්ගලයින්ගේ චරිත ස්වභාවය නියපොතු පරීක්ෂා කරමින් නියපොත්තේ දිගු බව, කෙටි බව, වටකුරු බව, රළු බව, ඝන බව, තුනී බව ආදී විවිධ ස්වභාවයන් මත ඔහුගේ හෝ ඇයගේ චරිත ස්වභාවය පෙන්වා දෙයි.

දිග නිය

දිගු නියපොතු ඇත්තෝ බොහෝ දුරට කලබලකාරී ස්වරූපයක් නොදක්වයි. තම අභිමතාර්ථය වෙත හෙමින් හෙමින් පියවර තබයි. ශරීර ශක්තිය සාමාන්‍යයෙන් එතරම් ප්‍රබල නැත. කලාත්මක හැඟීම්වලින් යුක්ත වෙයි.

දිගු වක්‍ර නිය

දිගු මෙන්ම තරමක් වක්‍ර ලෙසින් නිය පිහිටා ඇත්නම් එම කාන්තාව දොඩමලු, වාචාල තොරතෝංචියක් නැතිව නිතරම කථා කරන්නීය. මේ කතා කිරීමේ ස්වභාවය නිසාම අන්‍යයින් අතර නොරුස්නා චරිතයකි. අන්‍යයන් අතර පි‍්‍රයශීලි නොවෙයි. හපෝ ඔය ගෑනි කතාවට අහුවුණොත් බේරුමක් නෑ. මම යනවා යයි යන හැඟීම් අනිකා තුළ ජනිත කරවන අන්දමේ චරිතයකි. අන්‍යයන්ට උදව් පදව් නොකරනවා මෙන්ම තමන් අන්‍යයින්ගෙන් උදව් පදව් ගැනීමට ඉතා සූක්ෂම ලෙස දන්නියකි. එසේ උදවු පදව් ගත්ත ද එසේ කළා යයි කට ඇර කියන්නට නොකැළඹේ. ප්‍රතිඋපකාර කිරීම් නොදන්නා සේ ය.

සුදුමැලි දිගු නිය

නිය දිගු අතර එහි සුදුමැලි ස්වභාවයක් වේ නම් ක්ෂය රෝග ලක්ෂණයක් සේ සැලකේ. මලානික කහ පැහැනම් සෙංගමාල ලක්ෂණය. නිල්වන් පැහැනම් බරපතල රෝගයනට ලක්වන චරිතයක් සේ අදහස් කරයි. සුදු වර්ණ නම් එබඳු කාන්තාව ඉතා නිහතමානී නිරහංකාර, සදාචාර ගතිගුණවලින් හෙබි කාන්තාවකි.

කෙටි නිය

කෙටි නියපොතු ඇත්තෝ අන්‍යයින්ගේ ගුණදොස් හොයන්නෙකි. හේතු ඇතිව හෝ නැතිව අන්‍යයන් විවේචනය කිරීමේ ස්වභාවයෙන් පසුවෙයි. සුළු දෙයකටත් කෝපයෙන් පුපුරන අතර එම ක්ෂණික කෝපය ඔස්සේ බැණ ගැනීම් සිදුවන අයහපත් චරිතයකි.

කෙටි වටකුරු නිය

කෙටි නමුත් වටකුරු හැඩය යුතු නියපොතු ඇත්තෝ ශ්වාසනාල හා සම්බන්ධිත රෝගයන්ට ගොදුරුවෙති.

කෙටි එහෙත් සමතලා යන මසට කා වැදුණ ස්වරූපයක් නම් ස්නායු රෝගවලට ගොදුරු වන්නියකි.

 

පළල නිය

සමහර කාන්තාවන්ගේ නියපොතු දෙස බලන කල දිග නැත. එහෙත් පළල විශාලය. මෙබඳු නිය ස්වභාව ඇත්තෝ ඉතා දුර දිග බලා නිවැරැදි තීරණ ගන්නෝ ය. එම තීරණ යළි කිසිවෙකුට තර්ක විතර්ක කොට පරාජය කළ හැකි නොවේ. මධ්‍යස්ථ සාධාරණ යුක්ති යුක්ත අපක්ෂපාතී තීන්දු තීරණය. නීතිය පිළිබඳ වැදගත් චරිතය. ඕනෑම කෙනෙකුගේ මතයක් ඉතා බුද්ධිමත්ව ඉවසිලිවන්තව අසා සිටීමේ චරිතයකින් හෙබිය.

වටකුරු නිය

වටකුරු නිය ඇත්නම් ඇය අන්‍යයින් වෙනුවෙන් සිත උණුවන කරුණා, දයා මුදු මොළොක් ගතිගුණයෙන් හෙබියේ ය.

වටකුරු නමුත් නියපොතු රළු ලෙස වේ නම් ඇය අධම චරිත ලක්ෂණ පෙන්නුම් කරන්නියකි. කරන කියන හැම දෙයින්ම පෙන්නුම් කරන්නේ පහත් ස්වභාවයයි. මෙබඳු ස්ත්‍රිය ඉතා සුළු දේට පවා මහත් සේ කිපේ.

සිනිඳු පබළු නිය

වක්‍රාකාරව සිනිඳු බව, පබළු ලෙස නිය පිහිටියේ නම් එබඳු ඇත්තෝ සන්තුෂ්ටිජනක ජීවිත ගෙන යති. ඉතා සැහැල්ලු ජීවිත ගෙන යන මෙබඳු අය අන්‍යයිනට උදව් පදවු උපකාර කිරීමේ විශිෂ්ට ගුණයෙන් හෙබිය. ඇසුරු කරන කාගේත් ප්‍රසාදයට පාත්‍ර යහගුණ චරිතය.

වළගැසුණු නිය

සමහර කාන්තාවන්ගේ නියපොතු මදක් වළ ගැසුණ ස්වභාවයේ වෙයි. මෙබඳු කාන්තාව ජීවිතය ගෙන යෑම විවිධ දුක් ගැහැට ප්‍රශ්න ඔස්සේ වන්නේ ය. කෙසේ වුවත් ඒ කිසිවකින් නොපසුබටව ධෛර්යවන්ත ක්‍රියාකිරීමේ ලක්ෂණ පෙන්වයි.

කුඩා නිය

සමහර කාන්තාවන්ට ඇත්තේ ඉතා කුඩා නියපොතු ය. ඒවායේ පැහැය ඉතා දුර්වර්ණ නම් නිතරම අන්‍යයින් රවටා කටයුතු කරන්නියකි. ප්‍රයෝගයෙහි සමත්ය. මොනම හෝ සටකපටකම් කරමින් තමන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරගනියි.

සමහරුනට ඇත්තේ ඉතා තුනී නිය පොතු ය. අන්‍යයින්ගේ විපත්තිවලදී පුදුමාකාර ලෙස උණුවන හදවතක් වන්නේ ය. එබඳු තැන මහත් සේ සංවේදීවන අතර කළ හැකි උපකාර කරයි.

 

සුදු නිය

පළල් මෙන්ම සුදු නිය ඇත්තන් ජන සමාජයේ සියලු දෙනාගේ සිත් සතන් තමන් වෙත ඇද ගැනීමට සමත් වන්නේ ය. තැන්පත් ගතිගුණයෙන් හෙබිය. සංවරශීලි ඇවතුම් පැවතුම් ඇත්තේ ය.

 

විශාල නිය

නියපොතු ඉතා විශාලව, දුර්වර්ණව පිහිටා ඇත්නම් එබඳු කාන්තාව සුදන චරිතයක් ලොවට පාමින් මහා පහත් ක්‍රියාවන්හි යෙදෙන්නීය.

හතරැස් නිය

නිය පොතු හතරැස් ආකාරයේ නම් එබඳු පුද්ගලයෝ මහා පෞරුෂයෙන් හෙබිය. කා අතරත් කැපී පෙනෙන පිළිගැනෙන චරිතයකි.

තුන් හුලස් නිය

තුන්හුලස් ආකාරයේ නිය ඇත්නම් ඔවුහු කාමාධිකය. සිය කාමාශාවන් සංතෘප්ත කර ගැනීමට අපමණ මායම් දක්වති.

රළු නිය

රළු මෙන්ම දික් වූ, වක්‍ර වූ නිය ඇත්තෝ ධනයට උරුමකම් ඇත්තෝ ය. ධනලාභී ඔවුහු පරාර්ථයට කටයුතු කරති. මහජන ප්‍රසාදයට ලක්වන්නෝ ය. සාමාන්‍යයෙන් නියපොතු ඝන නම් ඔහුගේ අදහස් මුදු නැත. රළුය.

පැලුණු නිය

නිය පොතු සමහරවිට පැලුණ ස්වභාවයේ පවතී. එබඳු තැනැත්තෝ ඉතා දුප්පත් වෙති. අන්‍යයින්ගේ පිහිට පතන්නෝ ය.

මැදින් එබුණ නිය

නියපොතු මැදින් එබුණ ස්වභාවය වන්නේ නම් එය ද දුප්පත් බවේ ලක්ෂණය.

වටකුරු නිය

වටකුරු සහ රක්ත වර්ණයෙන් යුතු නිය පිහිටා ඇති ස්ත්‍රීහු සාර්ථක පවුල් ජීවිත ගෙන යා හැකි සැබෑ භාර්යාවෝ ය. තම ස්වාමි පුරුෂයාට ඉතා ආදරයෙන් පති භක්තියෙන් ක්‍රියා කරන මෙබඳු ස්ත්‍රීහු භාර්යාලෝකයට ආදර්ශමත් ය. ඇයගේ මෙම ගති ස්වභාවය නිසාම ස්වාමියාගේ මහත් ප්‍රසාදයට පත්වෙයි.

ඔහුගේ ජීවිතය වාසනාවන්ත කරන ඇය ඇසුරු කරන සැමගේම ගෞරවයට ප්‍රශංසාවට ලක්වෙයි.

සමහර ස්ත්‍රීන්ගේ නිය සිත් ගත් පැහැයෙන් යුතු ය. ඉතා ගුණ යහපත් උතුම් කාන්තාවක් වන මොවුහු ජන සමාජයේ ගෞරවය ලබති. කතා බහට දක්ෂ ය.

නිය පොත්ත කුඩා නමුත් මනුෂ්‍යයකුගේ චරිත ස්වභාවය ගැන බොහෝ කරුණු පෙන්වන්නේ ය. නියපොත්තේ දිග, කෙටි, රවුම්, වටකුරු, ඝන, තුනී, තුන් හුලස්, හතරැස් පැහැය ආදිය ඔස්සේ මෙබඳු චරිත ස්වභාවයන් දේහ ලක්ෂණ ශාස්ත්‍රඥයෝ පෙන්වා දෙන අතර නියපොත්තේ දක්නා ලප, නියමල් ආදී තවත් ලක්ෂණ ඔස්සේ ද තව තවත් කරුණු දක්වයි.

 

කලාභූෂණ, ශාසන දීපන,

සාහිත්‍ය කීර්ති,

ආචාර්ය සිරිපාල මාදුවගේ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.