පූජාසනය මත ඇති පොල්ගෙඩිය වාලම්පුරියකට වඩා වටිනවා

මැයි 6, 2022

 

දෙවියන්ට පුද පුජා තබන විට දී අනිවාර්යනේම තැබිය යුතු ද්‍රව්‍ය අතර අත්‍යවශ්‍ය දෙයක් වන්නේ, පොල් ගෙඩියකි.

ගණ දෙවියන් මුල් කරගෙන පොල් ගෙඩියක් පූජාවට තබන බව දේවාල හා කෝවිල්වල සිටින පුජකවරු හා කපුමහත්වරු පවසති.

දේවාලයට තබන පලතුරු වට්ටියේ ඇති පොල් ගෙඩිය බිඳ ඉන් බෑයක් දෙවියන්ට කැප කර ඉතුරු බෑය බැතිමතුන්ට ලබා දෙන අයුරු අප දැක ඇත.

දේවාල වෙත එන බැතිමතුන් පුද පුජා තබා අවසන් වී සිය වස් දොස් දුරුවීම පිණිස පොල් ගෙඩියක් හිස මත කරකවා, පොල්ගෙඩිය ගලක ගසා දොස් දුරු කරගන්නවා මෙන්ම තවත් පිරිසක් තමන්ට යම් ගැටලුවක් වු විටත් සතුරු කරදරයක් වු විගසත් තම දුක දෙවියන්ට කන්නලව් කිරීමත් පොල් ගෙඩියක් ගසා වර්තමානයේ දැකිය හැකිය.

මෙම පොල් ලාංකිකයන්ට ද නැතිවම බැරි දෙයකි. සුභ නැකතකට වැඩ අල්ලන විටදීත් උත්සව අවස්ථාවලත් කිරිබත් පිළියෙල කිරීමට ද පොල් කිරි අවශ්‍යය. එමෙන්ම කිරි ඉතිරවීමක දී ද අප රටේ වැඩි පිරිසක් පොල් කිරි භාවිතා කරති.

කෙනකුට වසක් විසක් කැවුණු විට දී පොල් කිරි පෙවීමට පැරණි වෛද්‍යවරුන් ක්‍රියා කළ අතර පිරිතට තොවිලයට ද පොල් මල, ගොක් අත්ත අනිවාර්ය දේවල් විය.

පොල් ගෙඩියක් පුජාසනයක් මත වැජඹෙන විට දී එය වාලම්පුරියකට වඩා අගනේය.

දේව දානයට පොල් නැතිවම බැරිය. ලොව ඇති නොඉඳුල් පිරිසිදුම ඔසු පැන් ඇත්තේ පොල් ගෙඩියේය.

 

කතරගම සුනියමි ගමිබාර දේවාලයේ

තේවා බාර කපු මහතා

කේ. ඩී. දේවප්‍රිය

 

----------------------

පොල් ගෙඩියේ උපත

 

පුරාණ කාලයේ එක්‌ රටක රජ කෙනෙක්‌ සිටියා. කලකදී යම් හේතුවක්‌ නිසා මොහු රෝගාතුර වුණා. ඊට පසු මොහුට යාගයක්‌ කිරීමට නක්‍ෂත්‍රකරුවකු උපදෙස්‌ දුන්නා. රජුගේ අවසර අනුව මේ උපදෙස්‌ දුන් නක්‍ෂස්‌ත්‍රකරුම මේ යාගය කිරීමට ඉදිරිපත් වුණා. එසේ ඔහු ඉදිරිපත් වුණේ ඔහුගේ යටි හිතේ තිබූ යම් රහස්‌ අදහසක්‌ ඉටුකර ගැනීම සඳහායි. බැරි වෙලාවත් රජතුමා මරුමුවට පත්වුවහොත් රජකම මොහුට ලැබෙන බව ඔහු දැනගෙන සිටි නිසා. දිනක්‌ රජුගේ අවසර ඇතිව නක්‍ෂස්‌ත්‍රකරු යාගය කරගෙන යන විට ඔහුගේ යටි හිතෙහි ඇතුළේ ඇති අදහස රජතුමාට දැනුණා. රජු ද ශාන්ති කර්මය කරවා ගැනීමෙන් පසු මොහුට කරන දේ යටි හිතෙන් හිතාගෙන යාගය කරන්නට ඉඩ සැලැස්‌සුවා.

යාගය අවසන් වූ විට රජු මියයන බව දැන සිටි නක්‍ෂත්‍රකරු යාගය කරගෙන ගියා. යාගය හොඳීන් කරවා ගැනීමේ අදහසින් රජු යාගය අවසන් වන තුරු මහත් ඉවසිල්ලෙන්, කල්පනාවෙන් සිට යාගය අවසන් කරනවාත් සමඟම ළඟ තිබුණු කඩුව අතටගෙන නක්‍ෂත්‍රකරුගේ හිස වෙන් වෙන්නම කපා මරා දැමුවා. මන්ත්‍ර බලයෙන් ජීව ප්‍රාණ පිහිටුවාගෙන සිටි නක්‍ෂත්‍රකරුගේ කඳීන් වෙන්වුණු හිස කතාකර මෙසේ කීවා. “මා මියගිය පසු කරන සෑම ශාන්ති කර්මයකදී හෝ යාගයකදී මම නැතිව එය පිහිටන්නේ නැති බව මතක තබා ගන්න” යැයි පැවසුවා.

ටික කලකදී මොහු වැළලූ තැනින් පුදුම ගසක්‌ පැළ වුණා. එහි පලගත් ගෙඩිය ලෙලි ගසා ඉවත් කළ පසු කඳීන් වෙන්කළ නක්‍ෂත්‍රකරුගේ හිසට සමාන බව පෙණුනා. එය දුටුව රජු ඔහුගේ අපල දුරු වූයේ මේ නක්‍ෂත්‍රකරුගේ හිස ගසා දැමීමෙන් පසු බව දැන තව වරක්‌ මගේ සියලු අපල දුරුවේවායි සිතා නැවත ගෙඩිය අතට ගෙන පොළවේ ගැසුවා. එදා සිට අපල දුරු කර ගැනීමට හා සියලු සුබ වැඩ කිරීමට පෙර පොල් ගෙඩියක්‌ ගහන බව ඉතිහාස කතාවෙන් කියැවෙනවා. වෙනත් විවිධ මතයන් ද මේ පිළිබඳ තිබෙන්නට පුළුවන.

පොල් ගෙඩියේ යම් ගුප්ත බලයක්‌ ඇත. පොල් පිළිබඳ පැරැණි මතයන් අනුව පොල් වර්ග පහක්‌ ඇති බවත්, ඒවා රන්තැඹිලි, ගොන් තැඹිලි, රත්තැඹිලි, නවසි, බෝදිලි යනුවෙන් හඳුන්වා ඇත. මේවා අතීතයේ පැවති කුල ගෝත්‍ර අනුව වර්ග කර ඇති බව පෙනේ. රජ කුලයට අයත් අය රන් තැඹිලි ද, බමුණු කුලයට ගොන් තැඹිලි ද සාමාන්‍ය කුලවලට අනිකුත් පොල් ද කියා වෙන්කොට ඇත.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.