වියපත්වූ විට දරුවන් ඔබට සලකාවිද? කේන්ද්‍රයේ පස්වැන්නෙන් බලාගන්න

මැයි 13, 2022

මවුපියන්ට දරුවන් තරම් උතුම් සම්පතක් තවත් නැත. මේනිසා ම දරුවන්ගේ අනාගත දියුණුව සඳහා මවුපියන් මොනතරම් කැපවීමක් කරනවා ද? එහෙත් ඒ මහඟු ගුණ ගැන සලකා දරුවන් මවුපියන් වෙනුවෙන් ඉටුකළයුතු යුතුකම් ඉටුකරන්නේ කීයෙන් කීදෙනා ද, මෙය කෙනකුගේ කේන්දරයේ පස්වැන්නාධිපති, පස්වැන්නේ ඇති ග්‍රහයින් හා ඒවාට ඇති ග්‍රහ දෘෂ්ටි සහ ලග්නය හා යෙදී ඇති යෝගවලින් මනාව පෙන්නුම් කරයි. දරුවන්ගේ තත්ත්වය පැහැදිලි කරන්නේ කේන්දරයේ පස්වෙනි රාශිය හෙවත් පුත්‍ර ස්ථානයයි.

 

 

මෙය හොඳින් පරීක්ෂා කිරීමෙන් තමාට දරුවන් හොඳින් සලකාවි ද යන්න දැනගත හැකිය. එමෙන්ම උපදින දරුවා මවුපියන් වියපත් වූ විට සලකන කෙනෙක්දැ’යි දරුවාගේ කේන්ද්‍රයේ බන්දු ස්ථානය හෙවත් හතරවන රාශිය බැලීමෙන් දැනගත හැකිය. එය ඔවුන්ගේ දෙමාපියන්ගේ තත්ත්වය හා නෑදෑයන්ගේ තත්ත්වය පැහැදිලි කරන ස්ථානයයි.

දරුවන්ගෙන් මාපියන්ට මෙන්ම මාපියන්ගේ දරුවන්ට ගෙනදෙන පල අපල ද කේන්ද්‍රයේ මනාව සටහන් වෙයි. ජන්ම පත්‍රයක පියා 9 වෙනි කොටුව සහ රවිගෙන් ද මව 4 වෙනි කොටුව හා සඳුගෙන් ද නියෝජනය වෙයි. දහවල උපදින අයට සිකුරු මවුවෙයි. මෙම කොටුවල ග්‍රහයන් බලවත් නම් මවුපියන්ට ශීඝ්‍ර දියුණුවක් අත්වෙයි. තවද එම භාවයන් පාප ග්‍රහයන්ගෙන් පීඩිත වී සිටියොත් මවුපියන්ට පීඩා ගෙනදෙයි. කේන්දරයක ලග්නාධිපති බෙලහීනව 5 වැන්නේ සිටියොත් දරුවන් අඩුවන අතර, එම දරුවන්ට ද ඉතා අපලය.

තුන්වැන්නාධිපති පස්වැන්නේ සිටින අයට දරුවන්ගෙන් උදව් උපකාර ලැබිය හැකි නොවේ. හතරවැන්නාධිපති පස්වැන්නේ නම් එම දරුවා මවට ඉතා ආදරය කරයි. පස්වැන්නාධිපති පස්වැන්නේ උච්චව හෝ ස්වක්ෂේත්‍රවීම සහ යහපත් ග්‍රහයකු නීච නොවීම නිසා තමාගෙන් දරුවන්ට අපල නොවන අතර, ඔවුන්ට දරුවන්ගෙන් සැප ලැබිය හැකි වෙයි. එමෙන්ම අට අධිපති පස්වැන්නේ සිටීමෙන් බුද්ධිමත් දියණියක් ලැබීමට හැකි වෙයි. තවද 9, 10, 11 අධිපතින් පස්වෙනි භාවයේ සිටීමෙන් ධනයෙන් මෙන්ම යහපත් දරුවන් ද ලැබීමට හේතු වෙයි. පස්වැන්නාධිපති රවි සමඟ හෝ ගුරු සමඟ යෝග වීමෙන් ද උගත් දරුවෝ බිහි වෙති. සිකුරු එහි සිටීමෙන් රූමත් ගුණවත් දරුවන් හිමිවේ. පස්වැන්නාධිපති සහ ලග්නාධිපති පස්වැන්නේ ග්‍රහයින් ලග්නාධිපති හා මිත්‍ර නම් දරුවෝ මවුපියන්ට සලකති. ලග්නාධිපති හා පස්වැන්නාධිපතිට පරිවර්තන යෝගයක් පිහිටා ඇත්නම් ද තත්ත්වය එසේමය. මෙම ග්‍රහයන් එකිනෙකට ත්‍රිකෝණ ගතවුවද සුබ පල අත්කරයි.

ගුරු සඳු පස්වැන්නේ, බුධ තමාගේම රාශියේ, රවි පළමුවැන්නේ හතරවැන්න, පස්වැන්නේ, නම වැන්නේ සහ එකොළොස්වැන්නේ අශුභ දෘෂ්ටි සම්බන්ධයක් නොමැතිව පිහිටා ඇත්නම් ලැබෙන දරුවන් අකීකරුය.

පස්වැන්නේ කුජ, ශනි, රාහු හෝ කේතු සිටීම අකීකරු මාපියන්ට නොසලකන දරු උපත් ගෙන දෙයි. පස්වැන්න ඔවුන්ගේ රාශියේ නම් දරුවන් මාපියන් හා කෝලාහල නොකර ද එකිනෙකා අවබෝධයෙන් තොරව කටයුතු කරනු ඇත. මෙම ග්‍රහයන් පස්වැන්නේ වක්‍ර වී ඇත්නම් හෝ තවත් අශුභ ග්‍රහයන් හා සම්බන්ධ වී ඇත්නම් හෝ දෘෂ්ටියට ලක්වී ඇත්නම් හෝ දරුවන්ගෙන් මවුපියන්ට කරදර ඇති වේ. ඔවුන් මාවුපියන්ට නොසලකනු ඇත.

රවි පස්වැන්නේ සිටින විටදී, ස්වල්ප වශයෙන් දරුවන් ලැබීමට හෝ නොලැබීමට ද ඉඩ ඇත. චන්ද්‍රයා පස්වැන්නේ නම් බොහෝ දරුවන් ලැබෙනු ඇත. කුජ පස්වැන්නේ නම් උපදින දරුවන් අකීකරුය. බුධ පස්වැන්නේ, නම් ඔහුගේ දරුවන් ඔහුට හිතවත් ය. ඔහුගේ මවුපියන් ද ඔහුට ලැදියාවක් දක්වන අතර, හයවැන්නේ නම් නෑදෑයන්ට විරුද්ධය. සිකුරු පස්වැන්නේ නම් ලස්සන දරුවන් උපදී. සෙනසුරු හෙවත් ශනි පහේ නම් දරුවන් අඩුය. රාහු හතේ නම් එසේමය. කේතු හතේ නම් දරුවන්ට අපල ද ගුරු හතේ සිටී නම් මවුපියන්ට කීකරු පිරිමි දරුවන් ද වැඩියෙන් උපදියි.

පස්වැන්නේ බලවත් වූ ග්‍රහයෙක් පිහිටීම පස්වැන්නාධිපතියා බලවත්වීම ද උසස් දරුවන් ලැබීමට හේතුවකි. පහ බලවත් වී ගුරු උච්චවීමෙන් ද දරුවන් බොහෝ දියුණුවට පත්වීමට හේතුවන පිහිටීමක් වෙයි. ගුරු නීචව සිටීමෙන් හා වෙනස් ආකාරයකින් දුර්වලවීමෙන් දරුවන් අඩු වේ. ගුරුගේ දුර්වලතාවය දරුවන් පිළිබඳව කරදර පෙන්වීම සැලකිය යුතු ය.

පුත්‍රස්ථානාධිපතියාත්, ලග්නාධිපතියාත්, ගුරු එක්ව සිටීමෙන් පියාගේ හැඩරුව හා ගතිගුණ ඇති දරුවෝ ලැබෙති. පියාගේ චරිතය ආදර්ශයට ගෙන ඔහු ගිය මඟ ඔස්සේ ගමන් කරන මොවුන් හා පියා අතර දිවි පවත්නා තුරු නොකැඩෙන සමීප සම්බන්ධතාවයක් පවතී.

භාග්‍යස්ථානයේ ගුරු, සිකුරු සඳු ආදී ග්‍රහයන් බලවත්ව සිටීමෙන් බොහෝ දියුණුවට පත්වෙන දරුවන් ලැබෙන අතර මවුපියන්ට දරුවන්ගෙන් ජීවිතයට සැප ලැබීමේ වාසනාව හිමි වෙයි. කීකරු, විනීත ධර්මයට ලැදි දරුවන් ලැබීම විශේෂ ලක්ෂණයකි. මොවුන් සමාජයට රටට ඉතා වැඩදායක ජීවිත ගෙවන අය වීමත්, ලෝකයාගේ ගරු බුහුමන් ලැබීමටත් හේතු වෙයි.

පස්වැන්නාධිපතියා නවයේ හෝ දහයේ නම් දරුවෝ ඉතා උසස් වෙති. එසේම දරුවන් ද අධික වේ. විශේෂයෙන්ම ස්වකීය වංශය බබළවන උසස් ඥානවන්ත දරුවෝ ලැබෙති. දහයේ නම් තේජවන්ත අය වෙති.

පස්වැන්නාධිපතියා එකොළහේ නම් ද ඉතා යහපත් වේ. බොහෝ දරුවන් ලැබෙන අතර, ඔවුන් ද උසස් අය වෙති.

 

හිඹුටානේ

පියතිලක ද අල්විස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.