වෙසක් මංගල්‍යයත් සමඟ කතරගම පෙරහැර චාරිත්‍ර ඇරැෙඹන්නේ මෙහෙමයි

මැයි 13, 2022

සිංහල බෞද්ධයෝ අතීතයේ සිටම පවත්වා ගෙන එනු ලබන සම්ප්‍රදායික චාරිත්‍ර රැසක් සිදු කරනු ලබන පුදබිමක් ලෙස කතරගම පුදබිම හැඳීන්විය හැකිය. බුදුන්වහන්සේ තෙවන වතාවට ලක්දිවට වඬින්නේ රුහුණු කතරගම පුදබිමටය. ක්‍රි.පූ. 580දී බුදුන්වහන්සේගේ තුන්වන සහ අවසන් ලංකාගමනයේ දී කතරගම ප්‍රදේශය පාලනය කළ මහාසේන නම් රජු බුදුන්වහන්සේ මුණගැසී බුද්ධ දේශනාවට සවන් දී ඊට කළගුණ සැලකීමේ සංකේතයක් ලෙස මෙම කිරිවෙහෙර දාගැබ ඉදිකර ඇති බව සඳහන් ය. මෙලෙස කතරගම පුරවරය බුදුන්වහන්සේගේ පහසින් පවිත්‍රත්වයට පත්විය. දැනට හමුවී ඇති පුරාවිද්‍යා සාක්ෂි වලට අනුව “කිරි වෙහෙර” ක්‍රි.පූ.1 වන සියවසේදී පමණ ඉදිකර ඇති බවත් පසුව මහාසේන රජතුමා විසින් දැනට පවතින තත්ත්වයට ප්‍රතිසංස්කරණය කොට ඇති බව සඳහන්ය. මෙම ප්‍රදේශයේ විශාල වශයෙන් නටඹුන් පවතින අතර ශිලා ලේඛන ද හමු වී ඇත. එතැන් පටන් මෙරට බෞද්ධාගමික ජනතාවගේ වැඳුම්පිදුම් ලබන ප්‍රධාන පින්බිමක් ලෙස මෙය හැඳීන්විය හැකිය.

 

කතරගම ස්කන්ද කුමාර දෙවියන් හා කිරිවෙහෙර කරවූ මහාසේන දෙවියන් දෙදෙනෙක් බවට ද එක් අයෙක් බවට ද මත පවතී. මේ මහාසේන දෙවියන් ලෙස හඳුන්වන්නේ බුදුරජාණන් වහන්සේ කතරගම කිරිවෙහෙර භූමියට වැඬ බොහෝ දෙවියන්ට ධර්මය දේශනා කළ පසු එම ස්ථානයේ ස්ථූපයක් කරවූ මහාඝෝෂ හෙවත් මහාසේන දිව්‍ය රාජයා ලෙස ද පිළිගැනේ.

 

නමුත් කතරගම මහාසේන දෙවියන් හා ස්කන්දකුමාර දෙවියන් එක් අයකු බව හඳුනාගැනීමට විවිධ සාක්ෂි අප සාහිත්‍ය මුලාශ්‍රවල ගැබ්වී තිබේ. කෝට්ටේ යුගයේ ෂඩ් භාෂා පරමේශ්වර තොටගමුවේ සිරි රහල් හිමි රචිත සැළලිහිණි සන්දේශයේ කතරගම දෙවියන් පිළිබඳ සඳහන් වේ.

මේ ඇරැඹෙන වෙසක් මාසයත් සමඟ කතරගම පුදබිමේ වෙසක් උත්සවය වෙනුවෙන් බොහෝ කටයුතු සංවිධානය කෙරේ. එලෙසම කතරගම දෙවියන් වෙනුවෙන් ඉදිරියට සිදු කරන මංගල්‍යයන් සංවිධානය කිරීමට මුල් වන්නේ ද වෙසක් මාසයයි. බුදුන් වහන්සේගේ උතුම් තෙමඟුල සිහිකරන වෙසක් මංගල්‍යයෙන් පසුව මෙම කටයුතු ක්‍රමාණුකූලව සිදුවේ. මේ ඒ පිළිබඳ සටහනකි.

රුහුණේ බොදුණු උත්සව සමය ආරම්භ කරමින් වෙසක් පෝයෙන් පසුව සිතුල්පව්ව රජමහා විහාරයේ පෙරහැර, තිස්සමහාරාම විහාරයේ පෙරහැර ඇතුළු පෙරහැර සංවිධාන කටයුතු ආරම්භවීම මේ වකවානුවේ සිදුවේ. වෙසක් පොහොය අරඹයා කතරගම කිරිවෙහෙර පුදබිමේ පිංබර ධාතු ප්‍රදර්ශනයක් මෙන්ම, සිල් සමාදන්වීමේ වැඩසටහන් රැසක් ද ක්‍රියාත්මක වීමට නියමිතය. ඊට අමතරව විශේෂ අෂ්ටඵල බෝධිපූජා ද පැවැත්වේ. මේ වන විට වෙසක් පොහොය නිමිත්තෙන් විචිත්‍රවත් මංගල්‍යයන් රැසක් පැවැත්වීමට ද කටයුතු සම්පාදනය වෙමින් පවතී. වාර්ෂිකව දහස් සංඛ්‍යාත සැදැවතුන්ගෙන් පිරී ඉතිරීයන කතරගම කිරිවෙහෙරත්, කතරගම පුදබිමත් අපට ගෙන එන්නේ වටිනාකම් රැසකි.

වෙසක් පෝය ගෙවීයත්ම එළැඹෙන පොසොන් පෝය වන විට කතරගම දෙවියන් උදෙසා සිදුකරනු ලබන ඇසළ උත්සවයට කප් සිටුවීමේ මංගල්‍යය සිදු කරන අතර ලංකාවේ පැවැත්වෙන පැරණිතම පෙරහැර වන්නේ කතරගම පෙරහැරයි.

හෙළයේ සම්ප්‍රදායික සිරිත් විරිත් අතීතයේ සිට අඛණ්ඩව පවත්වා ගෙන යන පුදබිමක් වන කතරගම පුදබිම ලෝකය නවීකරණය වෙමින් සම්ප්‍රදායික ක්‍රම වෙනස් වෙමින් පැවතිය ද අතීතයේ ශ්‍රී විභුතිය එදා මෙන් අදටත් රැක ගෙන දේශීයත්වයට මුල් තැන දෙන පුදබිමක් ලෙස සැළකිය හැකිය.

 

ඉල් මහා පෙරහැර, අවුරුදු මංගල්‍යය,ඇසළ මංගල්‍යය

අලුත් අවුරුදු උත්සවයට කතරගම දේවාලයේ චාරිත්‍ර රැසක් ඉටුවන්නේ බුදුන්ගේ තෙමඟුල සිහිකරන වෙසක් උත්සවයෙන් පසුව දේවාලයේ පැවැත්වෙන පෙරහැර මංගල්‍යයන් සාර්ථකව සිදු කිරීම උදෙසාය. ඒ අතරින් ඉල් මහා පෙරහැර, අවුරුදු මංගල්‍යය,ඇසළ මංගල්‍යය යන මංගල්‍යයන් කඳ කුමරු වෙනුවෙන් පැවැත් වෙන උත්සවයන් අතර ප්‍රධාන වේ.

අවුරුදු මංගල්‍යය වෙනුවෙන් කතරගම දේවාලයේ ද කිරි ඉතිරවීමේ උත්සවයක් පැවැත්වේ. පුණ්‍ය කාලය ලැබීමට පෙර දේවාලය ඉදිරිපිට ලොකු ගල් දෙකක් තනා දර දමා ගිනි දල්වන අතර දේවාලයේ කපු මහත්වරු මැණික් ගඟට ගොස් පිරිසිදු ස්ථානයකින් ජලය රැගෙන එනු ලබති. දේවාලයේ රාජකාරි ඌලිය පංගුවකරු, රාජකාරිකරුවා විසින් පොල් ගා කිරි සකස් කරනු ලබයි. සුබ හෝරාව පැමිණි පසුව කපු මහතා ලිපෙහි ඇති මුට්ටියට කිරි දමා කිරි ඉතිරවීමේ මංගල්‍යය සිදුකරයි.

මෙම ඉතිර වූ කිරි රැගෙන යෑමට ගමේ කවුරුත් සැදී පේ වී සිටිති. බෝතල් තුළට කිරි ගෙන සිය නිවෙස් වෙත ගොස් දරුවන්ගේ හා පවුලේ අයගේ හිසේ ගෑම සිදු කරනුයේ කතරගම ජනයා දැඩි භක්තියකිනි.

මෙම කිරි ඉතිරවීමේ මංගල්‍යයෙන් පසුව දේවාලය අවුරුදු උදාව වන තෙක් වසා තබයි. නව අලුත් අවුරුදු උදාව එළැඹීමෙන් පසුව දේවාලය සුබ නැකතින් බස්නායක නිලමේ හා කපු මහත්වරු පැමිණ දේවාලය විවෘත කරනු ලබති.

අනතුරුව නව වසරේ දේවාලයට පැමිණි බැතිමතුන්ගේ පුඳ පුජා භාර ගැනීම සිදු කර රාත්‍රි කඳ කුමරුවන් වැඩමවා ගෙන අවුරුදු මංගල්‍යය අලි ඇතුන්, කාවාඩි නැටුම් ඇතුළු උඩරට පහත රට නැටුම් අංග එක් කරමින් අවුරුදු පෙරහැර පවත්වයි.

කිරිවෙහෙර රජමහා විහාරය හා සම්බන්ධ පෞරාණික චාරිත්‍ර විධි පිළිබඳ නියමයන් ‘දේවාල සීට්ටුව‘ නමැති ඓතිහාසික ලේඛනයෙහි අදට ද ලේඛන ගතව තිබේ. බුද්ධ පූජාව සහ දේවාලය තුළ පිරිත් සජ්ඣායනා කිරිම ඒවා අතර මුල් තැනක් ගනී. කතරගමට පැමිණෙන බැතිමතුන් පළමුව කිරිවෙහෙරට ගොස් තෙරුවන් වැඳපුදා ගෙන පූජා කටයුතු සඳහා දේවාලයට පැමිණෙයි.

 

වෙසක් මංගල්‍යයෙන් පසු පැවැත්වෙන ඇසළ මංගල්‍යය

කතරගම දේවාලයේ සිදුවන චාරිත්‍ර අතර ජනතාවට නොපෙනෙන චාරිත්‍ර රැසක් පවති. මේ එම චාරිත්‍ර අතර ප්‍රධානම ස්ථානයක් ගන්නා චාරිත්‍ර විදි කීපයකි. වෙසක් මාසය ගෙවී යාමත් සමඟම ඇසළ මස කතරගම පෙරහැර පැවැත්වීමට කටයුතු සූදානම් වේ. පෙරහැර පැවැත්වීමට පෙර සවස දේවාලයේ ඉඩම්වල එළවළු, පලතුරු,පැණි, හකුරු ආදිය රිදී බන්දේසියක තබා කත් නිලය දරන රාජකාරිකරුවා විසින් බස්නායක නිලමේවරයාගේ නිල නිවෙසට රැගෙන යන අතර එහි දී බස්නායක නිලමේ මෙම ද්‍රව්‍ය අධීක්‍ෂණය කර කත්නිල රාජකාරිකරුවා අතින් දේවාලයේ දෙවියන්ගේ මුළුතැන් පූජාව සිදුකරන මුළුතැන් ගෙයට රැගෙන ගොස් ලබා දීම සිදු කරයි. නව අවුරුද්ද උදාවීමෙන් පසුව පවත්වන ප්‍රථම දේව දානය සඳහා අලුත් සහල් හා අලුත් එළවළු සමඟ දානය පිළියෙල කරන අතර මේ දින කැවුම් කිරිබත් ආදි විශේෂ දේවල් ද දේව දානය සඳහා පිළියෙල කර කතරගම දෙවියන්ට පූජා කිරීම සිදු කරයි. අප රටේ ජීවත් වෙන ජනයා සිය ජීවිකාව රැගෙන යන්නට කුමන හෝ රැකියාවක නිතර වෙමින් සිටිති. මෙසේ ජීවත්වෙන ජනයාගේ ජීවන වියදම් දිනෙන් දින වැඩි වු විට ලැබෙන පඩි මුදල අඩු බව පවසා පවතින රජයට එරෙහිව රජයේ සේවකයින් උද්ඝෝෂණ සිදුකරනු ලබයි. අතීතයෙත් වර්තමානයෙත් ජනයා සිය සේවා වෙනුවෙන් වැඩි පඩි ඉල්ලා අරගලවල නිරත වු අවස්ථා නිතර අපට අසන්නට ලැබේ.මෙම අරගල ආණ්ඩු පවා පෙරළීමට සමත් වු අවස්ථා අප දැක ඇත. මෙසේ වැඩි පඩි ඉල්ලා අරගල සිදුකරන අපේ රටේ, රුපියල් දෙකයි ශත අසූ දෙකට වසරක් සේවය කරන පිරිස් සිටිනවා යැයි පැවසුවොත් ඔබ මවිතයට පත් වෙනු ඇත. කිසිදු අයුරකින් මෙම පිරිස සිය සේවා වැටුප වැඩි කර දෙන ලෙස ඉල්ලා උද්ඝෝෂණ කිරීමක් සිදු නොකරති.

අතීතයේ දී පතාපහක් ගත් මෙම පිරිස අද වර්තමානයේ ඇති මුදලින් රුපියල් දෙකයි ශත අසූ දෙකක මුදලක් ගෙන වසරක් සේවය කරනු ලබන්නේ උතුම් වු කතරගම කඳසුරිදුන්හට පුඳ පූජා කරනු ලබන පාරම්පරික කපු පරපුරත් බස්නායක නිලමේ ඇතුළු රාජකාරිකරුවන්ය.

 

කතරගම පෙරහැර සමඟ බැදුණු චාරිත්‍ර

කතරගම දේවාලයේ සිදු කරනු ලබන සෑම ක්‍රියාවක්ම චාරිත්‍රයක් අනුව සිදුවේ. ලොව නවීකරණය වී ඇතත් කතරගම පුදබිමේ පවතින කිසිදු චාරිත්‍ර සම්ප්‍රදායක් කිසිඳු අයුරකින් වෙනස් කරන්නට කිසිවකු මේ දක්වා ක්‍රියානොකරන්නේ දුටුගැමුණු රජතුමාගේ නියෝගයන් අනුවත් මහානුභාව සම්පන්න කතරගම දෙවියන්ගේ පවතින අනුහස් මතයි.

කතරගම දේවාලය සාදවා දෙවියන්ට පූජා කළ දුටුගැමුණු රජතුමා දේවාලයේ පැවැත්මට ගොඩ මඩ ඉඩකඩම් රැසක් පවරා දේවාලයේ රාජකාරි කිරීමට කපු පරපුරක් ද දෙවියන්ගේ පූජාව සිදු කිරීමට සහයකයින් ලෙස රාජකාරිකරුවන් 18 කු ද ඇතුළුව රාජකාරි 552ක් කිරීමට පිරිසක් පත් කරනු ලැබීය.

මෙම පිරිස් වෙත රජුගේ නියෝගය පරිදි නිල වැටුපක් ලබා දෙන අතර මෙයට වසර 2244ක ට පෙර දී දේවාලයේ රාජකාරි සිදු කළ කපු මහතුන් ඇතුළු රාජකාරිකරුවන්ට පතා පහක් වශයෙන් ගෙවනු ලැබු බව කියවේ.

මේ වන විට අතීතයේ පැවති පතා නමින් හඳුන්වනු ලබන මුදල් අද භාවිතයට නොමැති නිසා අද වර්තමානයේ රුපියල් ලෙස මෙම සම්ප්‍රදායික වැටුප ගෙවනු ලබන්නේ රුපියල් වලින්ය.

කතරගම දේවාලයේ ඇසළ පෙරහැර මංගල්‍යය අවසන් වී දිය කැපීමෙන් පසු දේවාලයේ සියලුම රාජකාරිකරුවන් වෙත මෙම ඓතිහාසික වැටුප ලබාදීමට බස්නායක නිලමේතුමා හා දේවාලයේ ලේකම් මහබෙත්මේ අධිකාරම්තුමාත් ක්‍රියා කරනු ලබති. දවස් තේවාවේ කපු රාළට ( දිනපතාම පූජාව සිදු කරනු ලබන) රුපියල් දෙකයි සත අසූ දෙකක් ගෙවනු ලබයි. තේවාවේ කපුරාළ , (පෙරහැර සිදු කරනු ලබන චාරිත්‍රවලට අයත් කපුවරුන්) සඳහා ද මේ දින මෙම වැටුප ගෙවනු ලබන අතර පෙරහැර බැලීමේ රාළහට තේවා දෙකක් සිදු කිරීම වෙනුවෙන් රුපියල් හතරයි ශත පනහක් (රු.4 ශත 50) ගෙවනු ලබන අතර බස්නායක නිලමේවරයාට ද රුපියල් දෙකයි ශත අසූදෙකක වැටුපක් ගෙවනු ලබයි. මෙයට අමතරව ආලත්ති අම්මලා 12 දෙනාට ද තවලම් මුහන්දිරම්ට අයත් කුඩා බෙත්මේ තවලම් මුහන්දිරම්, මහාබෙත්මේ තවලම් මුහදන්දිරම්, ඌලිය, පංගුවකරු, පණිවුඩකරු, රිදීපන්දම්කරු, රිදීකුඩකරු, කත් නිලයා, හේනයා, යන අයට ද මේ දින රු.2 ශත 82 වැටුප ගෙවන අතර දේවාලයේ කපු පරපුරේ අය වන ප්‍රධාන කපු මහතාට, පෙරහැර බලන රාළ, ගබඩා භාරකරු,තේවේ කපුරාළලා වෙත ද රාජකාරි මණ්ඩලයේ මහාබෙත්මේ පිළේ ගොටුමහන්නා, දවල්කාර මුහන්දිරම්, උඩුවියන් අල්ලන්නා ,හක්ගෙඩි පිඹින්නා, මුහන්දිරම් පන්දම් අල්ලන්නා, පාවඩකරු, හොරණෑවා යන අයට ද මෙම ඓතිහාසික පඬුරු වැටුප හිමි වේ. ප්‍රධාන නිලය වන බස්නායක නිලමේ, අධිකාරම් නිලමේ, දිය කපනරාළ, මහාබෙත්මේ ලේකම්, කුඩා බෙත්මේ ලේකම්, ගම්පහේ විදානේ රාළ, නැකැත්රාළ, යන රාජකාරිකරුවන් සැමටම ඇසළ මංගල්‍යය අවසන් වු දින සවස මෙම වැටුප ලබා දෙනු ලබයි. මෙම රුපියල් දෙකයි ශත අසු දෙක වැටුප ලබා නොගන්නා කිසිදු රාජකාරිකරුවෙකුට නැවත දේවාලයේ සේවය කිරීමට නොලැබෙන බැවින් සියලුම රාජකාරිකරුවන් දැඩි කැපවීමකින්, දැඩි භක්තියකින් යුතුව කතරගම දෙවියන්ගේ රාජකාරි කිරීමට මෙම වැටුප ලබාගනු ලබයි.

මෙම වැටුප ලබා ගන්නා පිරිස ඉල් මහා මංගල්‍යය ,අවුරුදු මංගල්‍යය , ඇසළ මංගල්‍යය පෙරහැරට අමතරව කනු කැපීමේ මංගල්‍යය, කිරි ඉතිරවීමේ මංගල්‍යයන් සඳහා ද දෛනිකව දේවාලයේ සිදු කරනු ලබන පූජාවන් තුනට ද එක්ව සේවය කිරීමට කැපවේ.

මේ පිළිබදව අදහස් දැක් වූ පෙරහැර බලන රාළ වන සරත් සේපාල රත්නායක මහතා ‘‘1980 දී මෙම දේවාලයට ගෙවදීම සිදු වුණා. එදා සිට අද දක්වා දේවාලයේ පූජාව කිරීම සඳහා ද පෙරහැර බලනරාළ ලෙස ද සේවය කිරීම වෙනුවෙන් වැටුප් දෙකක් රුපියල් හතරයි පනහක් ගන්නවා. මමත් මගේ තාත්තාත් සීයලත් මේ වැටුප අරගෙන දෙවියන්ට සේවය කර තිබෙනවා. යැයි සරත් සේපාල ටී රත්නායක කපු මහතා පවසයි. කතරගම දේවාලයේ මාස් තේවාවේ කපු රාළ වන ආනන්ද ටී රත්නායක මහතා පැවසුවේ මෙවැන්නකි. ‘‘ අපි පරම්පරාවෙන් පැවත එන පිරිසක්. අතීතයේ පරිදිම අදත් මේ වැටුප අපි ගන්නේ දැඩි භක්තියකින් දෙවියන්ට සිදු කරනු ලබන පූජාව අපි කිසිදු අඩු පාඩුවක් නොකර ගෞරවාන්විතව සිදු කරනු ලබනවා. කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතා වන සොමීපාල ටී රත්නායක මහතා පැවසුවේ, එදා පතා පහක් කියන්නේ අද රුපියල් දහක් වගේ මුදලක්. දුටුගැමුණු රජ දවසේ පටන්ම මෙම මුදල් ගෙව්වා. අද වර්තමානයේ පවතින්නේ රුපියල් නිසා මෙම මුදලින් අදත් මේ චාරිත්‍රය ඉටු කරමින් රාජකාරි වැටුප ලබා දෙනවා. මේ වැටුප ගෙවන්නේ වසරක් දේවාලයේ රාජකාරි කිරීම පිණිස බවයි.

 

ඇසළ මාසයෙන් ඇරැඹෙන කතරගම දින කැලැන්ඩරය

කතරගම දේවාලයේ වසරේ ප්‍රථම දින කැලැන්ඩරය ඇසළ පෙරහැර මාසයෙන් ආරම්භ වන අතර මේ දින කතරගම දේවාලයේ කපු මහතුන්ට වසරේ සේවය කිරීම සඳහා මාස ලබා දීමේ තුණුඩු ඇ¼දීම ද බස්නායක නිලමේතුමන් විසින් සිදු කෙරෙයි.

කතරගම දේවාලයේ වාර්ෂික අයවැය ඉදිරිපත් කිරීම ද ඉතාම සිත් ගත් එකකි. මෙය දැකුම් කියවීම ලෙස හඳුන්වනු ලබන චාරිත්‍රයකි.

රටේ බව බෝග අස්වැන්න සරු වීමෙන් පසු ලැබෙන අලුත් සහල්වලින් දේව දානය පිළියෙල කර කිරි ඉතිරවීමෙන් පසු දේවාලය වසා තබා අලුත් අවුරුද්දට සුබ නැකැතින් දේවාලය විවෘත කර අවුරුදු මංගල්‍ය සිදු කරනු ලබයි. පෙරහැර අවසන් කර දේවාලයේ පූජාවට ප්‍රථම මෙම දැකුම් කියවීම හෙවත් අයවැය ඉදිරිපත් කිරීම සිදුවේ .

දෙවියන්ට වැ¼දීම සිදු කරනු ලබන ඉහළම වැදීම ලෙස සඳහන් වන නව වැඳීම මෙහිදී කපු මහතුන් දොත් මුදුන් දී නව පාරක් බිම දිගාවී වැඳීම සිදු කරමින් දෙවියන්ගෙන් අවසරය ගනු ලබති.

මෙම අවස්ථාවට දේවාලයේ ප්‍රධාන නිලය වන බස්නායක නිලමේවරයා දේවාලයේ මහබෙත්මේ ලේකම් ඇතුළු සියලුම රාජකාරි කරුවන් හා ආලාත්ති අම්මලා හා සියලුම නිල රාජකාරිකරුවන් එක් වෙන අතර දේවාලයේ කපු මහතා පෞරාණික වටිනාකමක් ඇති මාල රැසක් තැබු බන්දේසියක් රැගෙන දේව මාලිගයෙන් ඉදිරියට පැමිණ දේවාලයේ පණිවුඩකරු කැඳවා සියලුම නිලයන්වලට අයත් පිරිස් පැමිණ ඇත්දැයි විමසීමක් කරයි. එවිට සියලුම දෙනා පැමිණ ඇති බව පණිවුඩකරු පවසන අතර අයවැය කියවන කපු මහතා විසින් මේ කියන දේවල් ලියා ගන්නා ලෙස පණිවුඩකරුට කියයි. එවිට පොතක් පතක් නොමැතිව ලියන පරිදි මෙම පණිවුඩකරු හොඳයි ලියා ගත්තා යනුවෙන් පවසයි.

රිදී බන්දේසියක ප්‍රදර්ශනය කර ඇති රන් මාල පෙන්වන කපු මහතා මෙසේ පවසයි. “මම මේ කියන්නේ රුහුණු කතරගම මහා දේවාලයට මෙම වසරේදී ලැබුණු දේවල් පිළිබඳවයි. පුසා වර්ණ රන්දම් ඇටමාල 1000යි. සළුපට මාල 1000යි. රන් දම්වැල් මාල 1000යි. යනුවෙන් පවසන කපු මහතා. මෙසේ ද පවසයි. කතරගම දේවාලයට ලැබුණු පුඳ පඬුරු වලින් දේවාලයේ මාලිගය පිරි ඉතිරුණා. පස්සේ ඒවා එළියේ පිට මණ්ඩප්පයට ඇද්දා. පස්සේ එතනත් මුදලින් පිරුණා. පස්සේ රාජකාරිකරුවන් එක්ක දේවාලයේ මළුවේ ඇද්දා. එතනත් පඬුරුවලින් පිරුණා. පස්සේ එම පඬුරු බස්නායක නිලමේ ගේ වලව්වට ඇද්දා. එතනත් පිරුණා. පස්සේ දහයියා තොටුපොළෙන් මැණික් ගඟට උදලු ගෙනත් කපලා ඇදලා පඬුරු ගඟට දැම්මා. ඊට පස්සේ තමයි යන්තම් අද දේවාලේ පුජාව කරන්න ඉඩ ගත්තේ. යනුවෙන් කපු මහතා පවසන අතර පසුව පැමිණි සියලුම බැතිමතුන්ට ද ශ්‍රී ලංකා වාසී සියලුම ජනයාට ලැබු කිරියෙන් පැණියෙන් ඉතිරුණු සුභම සුභ අලුත් අවුරුද්දකට දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා යැයි පවසමින් කපු මහතා අය වැය කියවීම අවසන් කරයි. ඉන් අනතුරුව කපුමහතා දෙවියන්ගේ තේවා පූජාව සිදු කර නව වසරට දේව ආශිර්වාදය රටට,ජනයාට ලබා දෙනු ලබයි.

 

කතරගම සිද්ධ සූනියම් ගම්භර දේවාලයේ

තේවාබාර කපු මහතා

කේ. ඩි. දේවප්‍රිය

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.